~

මාධ්‍යවේදී එක්නැලිගොඩ ඝාතකයෙකුට ජනතාවාදී මාලිමා ආණ්ඩුවෙනුත් උසස් වීමක්..!

-සංජය දසනායක ලියයි

(ලංකා ඊ නිව්ස් -2026.ජන.11, ප.ව‍.11.30) මීට වසර 16කට පෙර පැහැරගෙන ගොස් අතුරුදන් කළ ''ලංකා ඊ නිව්ස්'' මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් මරා දැමීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ අධිචෝදනා ලබා සිටින යුද හමුදා කර්නල් වරයෙකුට ජනාධිපති අනුර දිසානායක යටතේ ඇති ශ්‍රී ලංකා යුද හමුදාව විසින් 'තාවකාලික බ්‍රිගේඩියර්' තනතුරක් සඳහා උසස් වීමක් ලබා දී තිබේ.

යුද හමුදා මූලස්ථානයෙන් නිකුත් කර ඇති අතිශය රහසිගත ලේඛනයකට අනුව, 2026 ජනවාරි 11 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ කර්නල් වරුන්  සිව්දෙනෙකුට Temporary Brigadier ධුරයට උසස්වීම් ලබා දී ඇති අතර ජනාධිපතිවරයා සේනාධිනායකයා ලෙස මෙම උසස් වීම් අනුමත කර ඇත.

ශ්‍රී ලංකා යුද හමුදා ලේකම් මේජර් ජෙනරල් බී.ජී.එන්. ප්‍රනාන්දුගේ අත්සනින් නිකුත් කර ඇති මෙම රහසිගත ලේඛනයට අනුව ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් මරා දැමීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ 9 වැනි විත්තිකරු වන කර්නල් ටී.ඊ.ආර්. පීරිස් (O/64454) හෙවත් ලුතිනන් කර්නල් එරන්ත රදීෂ් පීරිස් ඇතුළු සිව් දෙනෙකු මෙසේ තාවකාලික බ්‍රිගේඩියර් තනතුරු සඳහා නිර්දේශ කර ඇත.

අපරාධ කරන්නට හමුදාවලට දී තිබු මුක්තිය…

බරපතල අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරෙන වෙනත් ඕනෑම රාජ්‍ය සේවකයෙකු වැඩ තහනමට ලක්වන නමුත් ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් නඩු අවසන් වනතෙක් සක්‍රීය රාජකාරියේ තබාගන්නා සම්ප්‍රදායක් රකිමින් පසුගිය ආණ්ඩු කටයුතු කලාක් මෙන් ජනතාවාදී මාලිමා ආණ්ඩුව ද එම සම්ප්‍රදාය රැකීම මෙහි ඇති අතිශය බරපතල කාරණයයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස පත්වූ යහපාලන ආණ්ඩුව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විධිමත් පරීක්ෂණවලදී හෙළි වූ තොරතුරු අනුව, එරන්ත පීරිස් 2008 සිට 2012 දක්වා කාලය තුළ ගිරිතලේ කඳවුරේ සේවය කර ඇත. ප්‍රගීත්ගේ පැහැර ගැනීම් දෙකටම (2009 අගෝස්තු සහ 2010 ජනවාරි) මෙම කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන් සෘජුවම සම්බන්ධ බවට සාක්ෂි තහවුරු වී ඇත.

මේජර් පීරිස් ගේ ජංගම දුරකථනයෙන් හෙලිවූ රහස්... 

එවකට මේජර් එරන්ත පීරිස් මෙම අපරාධයට සම්බන්ධ බවට CIDය සතුව ඇති ප්‍රබලතම සාක්ෂිය වන්නේ ඔහුගේ 0773451352 දුරකථන දත්ත විශ්ලේෂණයයි. මෙම ජංගම  දුරකථනය අංක 87, බෞද්ධාලෝක මාවත, කොළඹ 7 යන ව්‍යාජ ලිපිනයක් යටතේ යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ඩයලොග් සමාගමෙන් ලබාගෙන ඇති අතර එම අංකය භාවිතා කර ඇත්තේ මේජර් එරන්ත පීරිස් බව තහවුරු වී තිබේ.

මෙම අංකය මේජර් එරන්ත පීරිස් භාවිතා කළ බවට හිටපු බුද්ධි අංශ සැරයන් රන්බණ්ඩා (රජයේ සාක්ෂිකරු) විසින් සාක්ෂි ලබා දී තිබේ. ඊට අමතරව  කුකුලේගම හමුදා පුහුණු කඳවුරේ 2012 වසරේ නාම ලේඛනයක එරන්ත පීරිස්ගේ නම ඉදිරියෙන් මෙම අංකය සටහන්ව තිබීමෙන් එය තවදුරටත් තහවුරු කර ගන්නට CID ය සමත්ව ඇත,

එමෙන්ම රහස් පොලිසිය කළ විමර්ශනයක දී, මෙම අංකයෙන් රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ ලංකා බෙල් දුරකථනයකට නිතර ඇමතුම් ලබාගෙන ඇති බව සොයා ගැනුණි. එම නිවස මේජර්වරයා පදිංචිව සිටි නිවසක් වන අතර එම නිවසට ගොස් විමර්ශකයන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ බිරිඳ පොලිසියට ප්‍රකාශ පවසා ඇත්තේ අදාළ ඩයලොග් අංකය තම සැමියාගේ බවයි.

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ හෙළිවී ඇති සාක්ෂි වලට අනුව මේජර් එරන්ත රදීෂ් පීරිස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සිදු කළ ගිරිතලේ යුද හමුදා බුද්ධි අංශ කණ්ඩායමේ සාමාජිකයෙකු බව තහවුරු කරන්නට විමර්ශකයන් සමත්ව ඇත.

ජනාධිපතිවරයාගේ පොරොන්දු හා පාර රාජ්‍ය...

ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වීමට පෙර වේදිකාවල නැඟූ ප්‍රධාන තර්කයක් වූයේ රාජපක්ෂ පාලනය විසින් ගොඩනගන ලද “පාර රාජ්‍යය” හෙවත් නීතියට පිටින් ක්‍රියාත්මක වන ඝාතක කල්ලි සහ බුද්ධි අංශ ජාලය විනාශ කරන බවයි. එක්නැළිගොඩ ඝාතනය, ලසන්ත ඝාතනය සහ වසීම් තාජුඩීන් ඝාතනය වැනි අපරාධවලට යුක්තිය ඉටු කරන බව ඔවුන්ගේ මැතිවරණ පොරොන්දුවල මුලින්ම තිබුණි.

පාර රාජ්‍යයක් පවතින්නේ නීතියට පිටින් අපරාධ සිදුකළ ගිරිතලේ හමුදා කඳවුරේ කණ්ඩායම වැනි කණ්ඩායම්වල දායකත්වයෙනි. එය විනාශ කර දැමීම මිස එවැනි නිලධාරීන්ට උසස්වීම් ලබා දීම සිදු නොකළ යුතුය.

එහෙත්, අද සිදුව ඇත්තේ කුමක්ද? ප්‍රගීත් එක්නැළිගොඩ නඩුවේ විත්තිකරුවන්ට විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට නීතිපතිවරයා විසින් තීරණය කර, මහාධිකරණයේ නඩු පවරා තිබියදීත්, එම විත්තිකරුවන්ම ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක් වත්මන් රජයද අනුගමනය කරමින් සිටීමද ?

මීට පෙර ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී ද මෙම නඩුවේ පළමු විත්තිකරු වන ෂම්මි කුමාරරත්නට උසස්වීම් ලබා දීම සහ සේවයේ පිහිටුවීම සිදු විය. එවක විපක්ෂයේ සිටි අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස ඊට එරෙහිව දැඩිව හඬ නැගූහ. නමුත් අද ආරක්ෂක ඇමතිවරයා සහ සේනාධිනායකයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අත්සන් තබන්නේ එම නඩුවේම තවත් ප්‍රධාන විත්තිකරුවෙකු වන එරන්ත පීරිස්ව කර්නල් තනතුරේ සිට බ්‍රිගේඩියර් (තාවකාලික) දක්වා උසස් කිරීමේ ලියවිල්ලටය.

මෙම නඩුවේ ප්‍රධාන චූදිතයන් වන්නේ ලුතිනන් කර්නල් ෂම්මි අර්ජුන් කුමාරරත්න, ආර්.එම්.පී.කේ. රාජපක්ෂ නොහොත් නාදන්, ඩබ්ලිව්.වී.ප්‍රියන්ත දිලංජන් උපසේන හෙවත් සුරේෂ්, සෙනෙවිරත්න මුදියන්සේලාගේ රවීන්ද්‍ර රූපසේන හෙවත් රංජි, යාපා මුදියන්සේලාගේ චමින්ද කුමාර අබේරත්න, සෙනෙවිරත්න මුදියන්සේලාගේ කණිෂ්ක ගුණරත්න, අයියසාමි ටී බාලසුබ්‍රමනියම්, මේජර් ඩී.ටී.ඊ.ආර්. පීරිස් ය.

-සංජය දසනායක විසිනි

---------------------------
by     (2026-01-11 20:02:06)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links