-සංජය දසනායක ලියයි
(ලංකා ඊ නිව්ස් -2026.ජන.25, ප.ව.11.20) පසුගිය ආණ්ඩු කාලයේ සිදුවූ අපරාධ හා සුවිශේෂී නඩු කටයුතු වලදී නීතිපතිවරයාගේ පක්ෂපාතී හැසිරීමත්, අධිකරණ ඇමතිවරයාගේ නිද්‍රාශීලී හා ජනතා අභිලාෂයන්ට පිටුපා කටයුතු කිරීමත්, පිළිබඳ විවෘත කථිකාවක්, සමාජ මාධ්‍ය ඔස්සේ දැන්, දැන් දිගහැරෙමින් පවතී.
NPP ආණ්ඩුවේ අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරට අනුව සමාජ මාධ්‍ය හරහා නීතිපතිවරයා පිළිබඳ කියවෙන තොරතුරු පිළිබඳ විශ්වාසනීයත්වයක් ඔහුට නොමැත. අධිකරණ කටයුතු හෝ නීතිපතිවරයා හා නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳ ඔහුගෙන් විමසුවහොත් ඔහු ලබා දෙන්නේ උද්ධච්ච පිළිතුරුය. ඔහුට අනුව නීතිපතිගේ වරදක් ඔහු දකින්නේ නැත.
සමාජ මාධ්‍ය මෙහෙයුමක් නිසා බලයට ආ NPP රජයක තමන් අධිකරණ ඇමති ධුරය දරණ බව හර්ෂණ නානායක්කාරට දැන් අමතකව ගොස් ඇති සෙයක් පෙනේ. වාමාංශිකයෙකු වුවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ඔඩොක්කුවට වැටී ඔහුගේ දුෂණ හා අපරාධ වලින් පිරුණු ආණ්ඩු වල කොටස් කරුවෙකු වූ වාසුදේව නානායක්කාරගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙකු වන ඔහුට 2022 වසරේ සිදුවූ ජනතා අරගලයකින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමීමෙන් පසු, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ NPP රජයක් බිහිවීමට අඩිතාලම වැටුනු බව අමතක වී ඇති බව පෙනේ.
නීතිපතිවරයා යනු මුළු නීතිපති දෙපාර්තමේන්තුවේම ක්‍රියාකාරකම් වලට වග කිවයුතු පුද්ගලයා වේ. නීතිපති දෙපාර්තමේන්තුව හා එහි වර්තමාන නීතිපතිවරයා වන පාරින්ද රණසිංහ විසින් සමහර විශේෂිත නඩු වලදී හැසිරෙන ආකාරය ජනාධිපති අනුර දිසානායක ඇතුළු වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුවට ඉතා අහිතකර බව NPP ආණ්ඩුවට ඡන්දය දුන් බහුතරයක් දැන් ප්‍රකාශ කරයි.
පසුගිය ජනාධිපතිවරණයට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රාජ්‍ය පාලන කාලය තුල සිදුවූ බරපතල ඝනයේ මිනී මැරුම්, අතුරුදන් කිරීම්, වංචා දුෂණ ඇතුළු බරපතල අපරාධ වලට නිසි දඬුවම් දෙන බවට ජනතාව ඉදිරියේ පොරොන්දු දීමත්, මෙරට ජනතාව එය ඉහලින්ම අනුමත කිරීමත් නිසා 2/3 කට අධික පාර්ලිමේන්තු බලයක් සහිත ආණ්ඩුවක් මෙරට ජනතාව විසින් ජාතික ජන බලවේගයට ලබා දුන් බව නොරහසකි.
එහෙත් වර්තමාන නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන පොරොන්දුව වන රාජපක්ෂ රෙජීමයේ අපරාධ, දුෂණ හා වංචා වලට නිසි දඬුවම් දීම යන කාරණය ඉටුකිරීමට පවා නොහැකිවන තත්ත්වයක් උදාවෙමින් පවතින බව මේ වනවිට ආණ්ඩුවට නොවැටහීම පිළිබඳ සැකයක් දැන් ජනතාව තුල මතුවෙමින් පවතී.
වර්තමාන නීතිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන පොරොන්දුව ඉටු කිරීමට අකුල් හෙලන බවටත්, රාජපක්ෂලා හා ඔවුන්ට ඉතා සමීප පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම හා ඔවුන්ට විරුද්ධව නීති මගින් කටයුතු නොකිරීමත් පිළිබඳව උදාහරණ කීපයක් පමනක් පහත දැක්වේ.
ගෝඨාභය රාජපක්ෂ 2022 ජුලි 14 දින ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු වැඩබලන ජනාධිපති ධුරයටත්, පසුව 2022 ජුලි 20 වැනි දින ශ්‍රී ලංකාවේ 9වැනි ජනාධිපතිවරයා ලෙසත් පත්වූ රනිල් වික්‍රමසිංහ 2024 සැප්තැම්බර් 21 අනුර කුමාර දිසානායක මෙරට 10 වැනි විධායක ජනාධිපති ලෙස පත්වනතුරු ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස කටයුතු කළේය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ කාලය තුළ විදේශ සංචාර 23ක් සිදුකර ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 600කට වඩා (ඩොලර් මිලියන 2; පවුම් මිලියන 1.4) වැය කර තිබේ. ඒ වනවිටත් ශ්‍රී ලංකාව නිල වශයෙන් බංකොලොත් රාජ්‍යක් ලෙස ප්‍රකාශයට පත්කර තිබිණි.
2023 අගෝස්තු මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ පැවති එක්සත් ජාතීන්ගේ සැසි වාරයකටත්, කියුබාවේ නිල සංචාරයකටත් ගොස් ආපසු එන අතරමග එංගලන්තයට පැමිණ සිය බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහගේ ගෞරව උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වී තිබේ. එහි දින 02ක දී බ්‍රිතාන්‍ය පවුම් 42000ක් හෙවත් රුපියල් මිලියන 16.4ක් ශ්‍රී ලංකා මහජන මුදල් සිය පුද්ගලික ගමනක් සඳහා වියදම් කිරීම වික්‍රමසිංහට ඇති චෝදනාව වේ.
පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) යනු රනිල් ජනාධිපති වූ වහාම මහින්ද රාජපක්ෂ කඳවුර නියෝජනය කළ මහජන ආරක්ෂක ඇමති වූ ටිරාන් අලස්ගේ ඉල්ලීම මත පත්කළ නීතිපතිවරයා ය. ටිරාන් අලස් යනු රාජපක්ෂ කල්ලිය ආරක්ෂා කිරීම සඳහා රනිල්ගේ කැබිනට් මණ්ඩලයට ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීම මත පත්කළ නියෝජිතයා ය. ජනාධිපති රනිල් විසින් රාජපක්ෂ කල්ලියේ අවශ්‍යතාවයට පාරින්ද රණසිංහ 2022 ජුලි 12 වැනිදා නීතිපති ලෙස පත්කළේ ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ, අවංක, සෘජු නිළධාරිනියක් ලෙස ප්‍රචලිතව සිටි අයේෂා ජිනසේන කපා දමාය.
මේ නිසා රනිල් වික්‍රමසිංහට විරුද්ධව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ පැවරු නඩුව ඉදිරියට ගෙනයාමට නීතිපතිවරයා මැලිකමක් දක්වන බව නීතිපති දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එහෙත් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් එංගලන්තයට ගොස් කළ විමර්ශන වලදී රනිල් වික්‍රමසිංහගේ එංගලන්ත ගමනට බ්‍රිතාන්‍ය රජයේ නිල ආරාධනාවක් තිබී නැති බව තහවුරු වී තිබේ. නීතිපති කුමක් පැවසුවත් රනිල්ගේ මීළඟ නඩු දිනයේදී නීතිපති ඉන්නේ කාගේ පැත්තේද යන ප්‍රශ්ණයට පිළිතුරක් ලැබෙනු ඇත.
2023 නොවැම්බර් 25 වැනිදා C D වික්‍රමරත්න පොලිස්පති ධුරයෙන් විශ්‍රාම යාමෙන් පසු, රාජපක්ෂලාගේ වුවමනාව මත ටිරාන් අලස් විසින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කරන්නැයි රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේය.
රාජපක්ෂලාගේ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් අල්ලේ නැටවූ රූකඩයක් වූ ජනාධිපති රනිල්, දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පති ලෙස පත් කළේ පොලිස්පති ධුරයට සුදුසුකම් ලබා සිටි ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කීප දෙනෙකුම සිටිය දී ය.
රාජපක්ෂලාට හා තමන්ට එරෙහිව පවතින චෝදනාවලින් ගැලවීමට නම් නීතිපති මෙන්ම පොලිස්පතිද තමන්ට අවනත අයෙකු විය යුතු බව රනිල් ඉදිරියට දමා ආණ්ඩුව මෙහෙයවූ පාර රාජ්‍ය කල්ලිය තේරුම් ගත්තේය. ඒ නිසාම තමන්ගේ කීකරු දඩ බල්ලා වූ දේශබන්දු පොලිස්පති බවට පත්කර ගත් නමුත් ටිරාන් අලස්ගේ පුද්ගලික කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමට ගිය දේශබන්දුගේ CCD කල්ලිය වැලිගම W15 හෝටලයට වෙඩිතබා අනාගත්තේය.
පසුව රිමාන්ඩ් භාරයේ සිටි දේශබන්දු ඇප ලබා උසාවියෙන් පිටත්වුයේ අධිකරණයට අපහාස කරමිනි. එවකට මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නීතිපති දෙපාර්තමේන්තුවට නියෝගයක් දුන්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අභියාචනාධිකරණය ඉදිරියේ දේශබන්දුට විරුද්ධව වෙනම නඩුවක් ගොනු කරන ලෙසයි. එහෙත් මේ වනතෙක් නීතිපතිවරයා මාතර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය ඉටු කර නැත.
W15 නඩුවේදී මාතර මහේස්ත්‍රාත්වරයා හිටපු පොලිස්පති දේශබන්දු, එවකට මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් හා වෙඩි තැබීමට සහභාගී වූ CCD නිලධාරීන් අතර එම සිදුවීමට අදාල සබඳතා සොයා බලා අධිකරණයට වාර්තා කරන ලෙසද නියෝග කළේය.
මෙම සිද්ධියේ සත්‍ය සිදුවීම වී තිබුනේ W15 හෝටල් ජාලයට ආණ්ඩුව විසින් ආයෝජනයක් සඳහා ලබා දී තිබු මරදානේ ඩාලි පාරේ පිහිටි ඉඩමක පලහිලව්වකි. W15 හෝටල් ජාලයට ලබා දී තිබු මෙම ඉඩම එවකට මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් රාජ්‍ය බලය යොදවා නැවත පවරා ගැනීමට කළ උත්සාහයක් නිසා W15 හිමිකරු හාඩි ජමාල්ඩීන් හා ටිරාන් අලස් අතර පුද්ගලික කෝන්තරයක් හටගෙන තිබුණි.
මේ අතර දේශබන්දු තෙන්නකෝන් පොලිස් සේවයේ සිටියදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ආරක්ෂක උපදේශකයෙකු ලෙස වැටුප් ලබා ගත්තේ යයි එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයෙකුව සිටි W15 හෝටලයේ හිමිකරු හාඩි ජමල්දීන් පිටතට තොරතුරු ලබා දුන්නේ යැයි දේශබන්දු සැක කිරීම නිසා දේශබන්දු හා ජමාල්ඩීන් අතරද ආරවුලක් හටගෙන තිබුණි. මේ නිසා ටිරාන්-දේශබන්දු දෙදෙනාගේ අවශ්‍යතාවය මත කොළඹ අපරාධ කොට්ඨාශයේ කණ්ඩායමක් යොදවා මෙම ප්‍රහාරය සිදු කළ බවට තොරතුරු හෙලිවී තිබේ.
දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව එල්ලවූ චෝදනා පරීක්ෂා කර බැලීම සඳහා පැවති පාර්ලිමේන්තු කොමිෂන් සභාව ඉදිරියේ එවකට වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කල වර්තමාන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය සාක්ෂි දෙමින් පැවසුවේ W15 වෙඩි තැබීම ටිරාන්-දේශබන්දු දෙදෙනා එක්ව කළ ක්‍රියාවක් බවයි. එහෙත් ටිරාන් අලස් ගැන නීතිපති දෙපාර්තමේන්තුව හෝ ප්‍රියන්ත වීරසුරියගේ පොලිසිය මේ වනතුරු කිසිදු පියවරක් ගෙන නැත.
2005 ජනාධිපතිවරනයේදී රනිල් වික්‍රමසිංහ පරාජය කර මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා උතුරු-නැගෙනහිර ඡන්ද වර්ජනය කිරීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂගේ අනුදැනුම මත බැසිල් රාජපක්ෂ විසින් අල්ලස් ලෙස LTTE සංවිධානයට රුපියල් මිලියන සිය ගණනක් ලබා දුන් බව ප්‍රසිද්ධියේ පැවසුවේ මංගල සමරවීර, ශ්‍රීපති සුරියආරච්චි හා ටිරාන් අලස් යන තිදෙනාය. මින් මංගල හා ශ්‍රීපති දැන් ජීවතුන් අතර නැතත් ටිරාන් ඉතිරිව සිටී.
LTTE යට රාජ්‍ය මුදල් ලබා දීම සඳහා ස්ථාපිත කරන ලද RADA ආයතනයේ සභාපති වුයේ ටිරාන් අලස්ය. මේ පිළිබඳ මහාධිකරණයේ විභාග වූ නඩුව ඉල්ලා අස්කර ගත්තේ නීතිපති දෙපාර්තමේන්තුවයි. නීතිපති නඩුව ඉදිරියට ගෙන නොයන බව අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කිරීමෙන් ටිරාන් අලස් ප්‍රමුඛ සැකකරුවන් නිදහස් කරන්නට මහාධිකරණයට සිදුවිය. එහෙත් මේ නඩුව නැවත කැඳවන්නට නීතිපති දෙපාර්තමේන්තුවට ඕනෑතරම් ඉඩ තිබුණත් නීතිපතිවරයා ටිරාන් අලස් හෝ රාජපක්ෂලාට එරෙහිව මෙතෙක් පියවරක් ගෙන නොමැත.
දැනගන්නට ඇති පරිදි යහපාලන ආණ්ඩු කාලය තුල කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් රුපියල් කෝටි ගණනක මුදලකට කුලියට ගත්, ප්‍රසිද්ධ නිළියක වන සබීතා පෙරේරාට අයත් යැයි කියන රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල පිළිබඳ විමර්ෂණයක් සිදුවෙමින් පවතී.
එහෙත් ටිරාන් අලස් මහජන ආරක්ෂක ඇමති ලෙස සිදුකරන ලද සුප්‍රසිද්ධ E-VISA ගණුදෙනුව පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හෝ අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමෙන් මෙතෙක් ආරම්භ කර ඇති බවක් දැනගන්නට නැත. මෙයටද නීතිපති දෙපාර්තමේන්තුවේ සම්බන්ධයක් නැතැයි කිව නොහැක.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම පිළිබඳව හමුදා බුද්ධි අංශ නිළධාරීන් 09 දෙනෙකුට විරුද්ධව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වෙමින් පවතින නඩුව දැන් එක තැන පල්වෙමින් පවතින ගතියක් මතුවෙමින් පවතී. මේ නඩුව අවසන් වරට පසුගිය දෙසැම්බර් 19වැනිදා විභාගයට ගන්නට තිබී ඇත. එහෙත් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පසුගියදා මේ පිළිබඳව සිය face-book ගිණුමේ මෙලෙස සටහනක් තබා ඇත. (උපුටා ගැනීම)
''ප්‍රගීත්, අද 2026 ජනවාරි 14වෙනිදා. හරියටම තව දවස් දහයකින්, අපෙන් උදුරාගෙන, දාසය වෙනි අවුරුද්ද සම්පූර්ණ වෙනවා. 2025. අවුරුද්ද පටන් ගත්තට වඩා බොහොම අභියෝග සහිතව තමා 2026 පටන් ගන්තෙ සහ මේ දින කිහිපය ගෙවුනෙ.
2025 ආරම්භ වෙද්දි කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ තියෙන නඩුවේ විනිසුරු මඩුල්ල සම්පූර්ණ වෙලා අධිකරණ කටයුතු සාර්ථකව, සතුටුදායක ලෙස කෙරුනා. ඉතින් බොහෝම බලාපොරොත්තුවෙන් තමා ඒ අවුරුද්ද පටන් ගත්තේ.
ඒත් 2025 අවසන් කාර්තුව වෙද්දි නැවතත් විනිසුරුවරුන්ගේ පුරප්පාඩුව මත අධිකරණයේ කටයුතු අඩාල වුනා. ස්ථිර ත්‍රිපුද්ගල අධිකරණයේ 2025 වසරේ අවසන් නඩු දවස වුනේ දෙසැම්බර් 19. එදිනත් විනිසුරුවරුන් පත් කරල තිබුණෙ නැහැ. මම ශෝකයට සහ විශ්මයට පත් වුනා. පහුගිය කාලය පුරාම මාධ්‍ය මගින් දැක්කෙ වර්තමාන අග්‍රවිනිශ්චයකාර තුමාගෙ දක්ෂ, නීතිගරුකභාවය සම්බන්ධව. පුදුමයි එතුමාටත් අපිව මගහැරිල.'' (උපුටා ගැනීම අවසන්)
අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන මහින්ද සමයවර්ධන හා එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ‘’අධිකරණ සේවා කොමිසම’’ විසින් නම් කරන විනිසුරුවන් ජනාධිපතිවරයාගේ අනුමැතියෙන් මහාධිකරණ සඳහා නම් කිරීම දැනට පවතින ක්‍රමවේදයයි. මෙහි පමාව ඇත්තේ කොතනදැයි සෙවීම අධිකරණ ඇමතිවරයාගේ රාජකාරිය වුවත් ඔහුට මෙවැනි සුවිශේෂී නඩු ප්‍රමාද වෙන්නේ ඇයිද යන්න සොයා බැලීමට වුවමනාවක් නැති බව පෙනේ..
NPP ආණ්ඩුව බලයට පත්වීමට පෙර වසීම් තාජුඩීන් ඝාතකයන් හෙළිදරව් කරන බවට දස, දහස් වාරයකටත් වඩා මැතිවරණ වේදිකාවලදී පොරොන්දු දී ඇතත්, තාජුඩීන් මරණය කලින් කලට ප්‍රවෘත්ති මැවීමේ මාතෘකාවක් පමණක් බවට දැන් පත්වී ඇති බව පෙනේ.
රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරීමට පෙර ඔහුගේ වාහනය පසුපස හඹා ගිය වාහනයේ මිද්දෙනිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරන ලද "කජ්ජා" හෙවත් අනුර විදානගමගේ සිටි බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කළේය. ‘කජ්ජා’ ඝාතනය සැලසුම් කළ බවට සැක කෙරෙන රාජපක්ෂලාගේ පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘බැකෝ සමන්’ගෙන් ප්‍රශ්න කිරීමෙන් සහ කජ්ජාගේ වැන්දඹු බිරිඳ විසින් ලබා දුන් ප්‍රකාශයකින් පසුව මෙම තොරතුරු අනාවරණය වූ බව ද පොලිසිය ප්‍රකාශ කළේය.
එහෙත් මෙම තොරතුරු කිසිවක් අද වනතුරු අධිකරණයක් ඉදිරියට පැමිණ නැත. මේවා හුදෙක් ජනතාව මුලා කිරීමට ගොතන ලද ප්‍රවෘත්ති, නිර්මාණ නොවේ නම් තාජුඩීන් ඝාතන පරීක්ෂන වල ප්‍රගතිය රටට හෙළි කළ යුතුය. තමා තාජුඩීන් ඝාතන කල්ලියේ අවසන් පුරුක බව මියයාමට වසරකට පමණ පෙර 'කජ්ජා' හෙවත් අනුර විදානගම මාධ්‍යවේදියෙකු හා හෙළිකළත්, එම තොරතුරු පිළිබඳ නීතිය ආරක්ෂා කළ යුතු අය කිසිදු අවධානයක් යොමු නොකළේ කජ්ජාගේ ජීවිතය තාජුඩීන්ගේ මරණය අපේක්ෂා කළවුන් විසින් ඉතා ඉක්මනින් අවසන් කරන බව දන්නා නිසා බව සිතිය හැක.
මේ වනවිට මෙම ඝාතනය සිදුකළ සියළු දෙනා අභිරහස් ලෙස මිය ගොසිනි. එමෙන්ම රාජපක්ෂලාගේ වුවමනාව මත තාජුඩීන් ඝාතනය පිළිබඳ තොරතුරු අතුරුදන් කළ සියළු පොලිස් නිලධාරීන් රටින් පලා ගොසිනි.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයද NPP මැතිවරණ වේදිකාවේ රැව් පිළිරැව් දුන් මාතෘකාවකි. 2009 ජනවාරි 08 වැනිදා යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් විසින් සිදුකළ මෙම ඝාතනයට සැකපිට 2017 දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ විමර්ශනයකින් පසු යුද හමුදා බුද්ධි නිලධාරීන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.
යුද හමුදා බුද්ධි අංශය භාවිතා කළ කොළඹ ට්‍රිපොලි කඳවුරට අනුයුක්තව ඔවුන් සේවය කර තිබු අතර මෙම යුද හමුදා විශේෂ ට්‍රිපොලි ඒකකය එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සෘජු අධීක්ෂණය යටතේ පැවති බව එවකට හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා ප්‍රසිද්ධියේ පවසා තිබුණි.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සෘජුව අණදුන් කොළඹ ට්‍රිපොලි කඳවුරේ සාමාජිකයින් මාධ්‍යවේදීන්ට පහරදීම්, පැහැර ගැනීම් හා මරා දැමීම්, මාධ්‍ය ආයතන ගිනි තැබීම් වැනි බරපතල අපරාධ රැසකට සම්බන්ධ වී ඇති බව පසු කාලීනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගත්තේය. මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම, රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දීම, මාධ්‍යවේදී පෝද්දල ජයන්තට පහරදීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම ඉන් ප්‍රධාන අපරාධ වේ.
2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ පසු මරණ තර්ජන එල්ලවී රටින් පලාගිය, ලසන්ත ඝාතනය පිළිබඳව විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් පවසා සිටියේ ඝාතනය පිටුපස සෘජුවම ආරක්ෂක ලේකම් ගෝඨාභය සිටින බවයි.
දූෂිත මිග් යානා ගනු දෙනුව පිළිබඳව හෙළි කිරීම නිසා ආරක්ෂක ලේකම්වරයාට පැහැදිලිවම ලසන්ත ඝාතනය සඳහා උවමනාවක් තිබුණු බව ඔහු සඳහන් කළේය. එහෙත් ලසන්ත ඝාතකයන්ට දඬුවම් දෙන බවට සපථ කළ අනුර දිසානායකගේ රජය යටතේද මේ වනතෙක් ලසන්ත ඝාතකයා බවට සැක එහෙත් මේ වනතෙක් කිසිදු අපරාධයකට සැක කර අත්අඩංගුවට ගන්නවා තියා ප්‍රකාශයක් ලබා දීමට පොලීසියකට හෝ අධිකරණයකට කැඳවා නැති ගෝඨාභය රාජපක්ෂ, මයිලකටවත් හානියක් නොවී විශ්‍රාම සුවෙන් පසු වීම ඔහුගේ අණ මත ඝාතනය වූ හා අතුරුදන් වූවන්ට සිදු කරන බලවත් අසාධාරණයකි.
88-89 භීෂණ අවධියේදී මරා දැමුනු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් ලෙස සැලකෙන පුද්ගලයන් 155 දෙනෙකුගේ ඇටසැකිලි මාතලේ රෝහල් භුමියේ සමුහ මිනී වලක තිබී 2013 වසරේදී සොයා ගන්නා ලදී.
මාතලේ ජනතාවගෙන් ලැබුනු සාක්ෂි වලින් හා C A චන්ද්‍රප්‍රේම මාධ්‍යවේදියා විසින් ගෝඨාභය රාජපක්ෂගේ අනුමැතිය සහිතව ලියන ලද 'Gota's War' නම් කෘතියෙන් 88-89 භීෂණ සමයේ මාතලේ ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීම සඳහා කර්නල් ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් 1 වැනි ගජබා රෙජිමේන්තුව සාර්ථක මෙහෙයුමක් සිදු කළ බව ලියා ඇත. ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් එය ප්‍රතික්ෂේප කර නැත.
එහෙත් එවකට ගෝඨාභය යටතේ පැවති රහස් පොලිසිය මැදිහත්වී මෙම ඇටසැකිලි 88-89 භීෂණ සමයට අයත් නොවන බවට සාවද්‍ය ලෙස අධිකරණයට කරුණු වාර්තා කර එම සිදුවීම යටගසා දැමුවේය. එහෙත් පුදුමය නම් ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් බලයට පත්වී තිබියදී තවදුරටත් ගෝඨාභය නිදහස් සුව විඳිමින් පසුවීමයි.
ශිරන්ති රාජපක්ෂගේ සුප්‍රසිද්ධ ''සිරිලිය-සවිය'' ගිණුම ගැන ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවේදී පමනක් කතා කරයි. ඉන් එහාට වෙන දෙයක් නොමැත. ශිරන්ති රාජපක්ෂ සුපුරුදු සුවෙන් නාමල්ගේ දරුවන්ගේ 'නැනී' කටයුතු සිදු කරයි. ශිරන්ති රාජපක්ෂ ''අද ගන්නවා - හෙට ඇතුලට දානවා'' යයි හොරුන්ට දඬුවම් අපේක්ෂාවෙන් සිටින ජනතාවට ජවිපෙට සමීප සමාජ මාධ්‍ය ආතල් දෙයි. අනුර දිසානායක එදා විපක්ෂයේ සිට රාජපක්ෂලාට කුඩුවෙන්න ගැහුවත් අද ජනාධිපති අනුරගේ ආණ්ඩුව යටතේ රාජපක්ෂලා සුපුරුදු දේශපාලනය කරමින් රට වටේ යයි.
මහින්ද රාජපක්ෂ හා ගෝඨාභයගේ ආණ්ඩු තුල ආර්ථික සංවර්ධන හා මුදල් ඇමැති ධුර දරමින් මෙරට මහජන මුදල් බිලියන ගණන් සොරකම් කළ බැසිල් රාජපක්ෂට විරුද්ධව එක නඩුවක් දැන් ඇසෙමින් තිබේ. මාතර බ්‍රවුන්ස්හිල්හි ඉඩමක් රුපියල් මිලියන 50 කට මිලදී ගැනීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව පවරා ඇති මෙම නඩුව ව්‍යාජ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් ඇමරිකාවේ සිටින බැසිල් ශ්‍රී ලංකාවට පැමිණීම මගහරිමින් සිටියි. එමෙන්ම මේ නඩුවත් ඇසෙන්නේ වසරකට දෙවරක් හෝ තුන් වරකි. එසේ කැඳවන්නේද නඩුව කල් දමන්නටය.
පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබු බැසිල් රාජපක්ෂට අයත් රුපියල් මිලියන 60ක් වටිනා අක්කර 16ක් විශාල ඉඩමේ රුපියල් මිලියන 240ක වියදමෙන් තනා තිබු මල්වානේ මහා මන්දිරය පිලිබඳ නඩුවේදී නිවසට අයිතිවාසිකම් කියන්නට කිසිවෙක් ඉදිරිපත් නොවීය.
මෙම මන්දිරය ඉදිකිරීම භාරව සිටි මුදිත ජයකොඩි නම් ගෘහ නිර්මාණ ශිල්පියා මෙම නිවස ඉදිකිරීමට තම ගිණුමට මුදල් බැර කළේ වෙනත් අයෙකු බවත් මුදල් තමන්ට අයත් නොවන බවත් අධිකරණයට පැවසීය. මන්දිරය ඉදිකරන අවධියේ බැසිල්ගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ එහි පැමින නිතර නිතර ඉදිකිරීම් පරීක්ෂා කර තිබේ. එහෙත් නඩුව නිසා බැසිල් මන්දිරය අතහැර දැම්මේ එය තමන්ගේ නොවන බව පවසමිනි. අධිකරණය ඉන් එහාට ගියේ නැති අතර මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේ මන්දිරය වෙන්දේසි කරන්නටය.
මේ ඉඩම හා මන්දිරය පිලිබඳ නඩුව නැවත අහන්නට ඕනෑතරම් සාක්ෂි තිබුනත් නීතිපති දෙපාර්තමේන්තුවට හෝ NPP ආණ්ඩුවට බැසිල් රාජපක්ෂ අමාරුවේ දැමීමට වුවමනාවක් නැති බව පෙනේ.
2025 පෙබරවාරි මාසයේදී නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන 98 හැවිරිදි යයි කියන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ යන අයට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන ලදී. මෙම දෙදෙනාට අයත් රුපියල් මිලියන 59 ක ඒකාබද්ධ ගිණුමකට අදාළව එය සිදු කරන ලදී.
2016 සිට කරන ලද පරීක්ෂණවලින් පසුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂට අරමුදල් සම්බන්ධයෙන් සතුටුදායක පැහැදිලි කිරීම් ලබා දීමට නොහැකි වූ බව සොයා ගැනීමෙන් පසු, මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිසිය දෙදෙනාටම එරෙහිව චෝදනා ගොනු කර ඇති නමුත් දැන් අධිකරණයේදී ප්‍රකාශ වෙන්නේ යෝෂිත රාජපක්ෂගේ මිත්තනිය 'ඩිමෙන්ෂියා' නම් අමතක වීමේ රෝග තත්ත්වයට මුහුණ දී ඇති බවයි. මේ නිසා ඇගේ රෝග තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් මහේස්ත්‍රාත්වරයා විසින් කැඳවා ඇත. මේ නිසා තව ටික දිනකින් යෝෂිත රාජපක්ෂද නඩුවෙන් ගොඩ යාමට නියමිතය.
වෙනත් සාමාන්‍ය පුද්ගලයෙකුට මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරුවහොත් චුදිතයින්ට අයත් දේපොළ තාවකාලික තහනමකට ලක් කළත් යෝෂිතගේ දේපොළ තහනමට ලක් කර නොමැත.
ගෝඨාභය රාජපක්ෂ නමට කතරගම, ඩිපෝ පාර, වනරාජ පෙදෙස යන ලිපිනයේ මැණික් ගඟ ඉවුරේ ඉදිකර ඇති කාමර 15කින් යුත් අති විශාල සුඛෝපභෝගී නිවස පිළිබඳ මීට මාස කීපයකට පෙර මහා ආන්දෝලනයක් ඇති විය. මෙම නිවස පිළිබඳ යෝෂිත රාජපක්ෂගෙන්ද, කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයාගෙන්ද, මෙහි ආරක්ෂාවට සිටි නාවික හමුදා සෙබළුන්ගෙන්ද පොලීසිය සාක්ෂි ගත් අතර යුද හමුදා සෙබළුන් යොදා ඉදිකරන ලද මෙම නිවසටද අයිතිවාසිකම් කියන්නට කිසිවෙකු නොවීය.
ජල බිල්පතේ නම සඳහන් ජී. රාජපක්ෂ තමා නොවන බවත් එම නිවස තමාගේ නොවන බවටත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. පුදුමයකට මෙන් මේ රජය යටතේද පරීක්ෂණ එතැනින්ම නැවතිණි. නිවස පිළිබඳ ගෝඨාභයම නිවේදනයක් නිකුත් කරන තුරු පොලිසිය හෝ ආණ්ඩුවේ කිසිදු නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් ගෝඨාභය රාජපක්ෂගෙන් කතරගම නිවස ගැන වචනයක් හෝ ඇසුවේ නැත. පොලිසිය ඇතුළු විමර්ශන ආයතන වලට තමන් අත පොවන්නේ නැති බව ජනාධිපතිවරයා හා අදාල ඇමතිවරුන් කියත්දී විමර්ශකයන්ද අපුරුවට වැඩේ කරගෙන යන බව පෙනේ.
නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුල්වීමට පෙර එංගලන්තයේ සිටි යුනිවර්සිටි නම් ආයතනයකින් LLB උපාධියක් ලබාගත් බවට ඉදිරිපත් කළ තොරතුරු සාවද්‍ය බවත් ඔහු නීති විද්‍යාලයට ඇතුළුවුයේ අයුරු වංචාකාරී ලෙස බලය අයුතු ලෙස පාවිච්චි කරමින් බව මාධ්‍යවේදිනියක් වන නිර්මලා කන්නංගර මීට මාස දෙකකට පමණ පෙර හෙළි කළාය. එහෙත් මේ පිළිබඳව විමර්ශනයක් යන බව දැනගන්නට නැත.
මීට අමතරව නාමල් රාජපක්ෂ නීති විද්‍යාල අවසන් විභාගය ලියුවේ තනිව පරිගණක පහසුකම් ඇති කාමරයක දී බව ඔහු සමග නීති අවසන් විභාගය ලියු තුෂාර ජයරත්න චෝදනා කළේය. මේ පිළිබඳව කිසිදු කිසිදු විමර්ශනයක් සිදුවී නැත.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් සොයාගත් කරුණු වලට අදාලව වගකිව යුතු පුද්ගලයන් හට නඩු පවරන ලෙස නීතිපතිවරයා වෙත කෙරුණු නිර්දේශ ක්‍රියාත්මක කිරීම මෙතෙක් නීතිපති දෙපාර්තමේන්තුව මග හැර ඇත. මීට අමතරව පාස්කු ප්‍රහාරයට අදාළ නඩු පැවරීමේ බොහෝ කරුණු වලදී නීතිපති දෙපාර්තමේන්තුව ඉතා සෙමින් වැඩ කරන තත්ත්වයක් පවතින බව විමර්ශකයන්ගේ මතයයි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම සමුද්‍ර ව්‍යසනය සහ දැවැන්ත සමුද්‍ර ප්ලාස්ටික් කාන්දුවකට හේතු වූ 2021 දී ගිනි ගැනීමෙන් පසු කොළඹ මුහුදේදී ගිලී ගිය MV X-Press Pearl නෞකාවේ හිමිකරුවන් සහ දේශීය නියෝජිතයින් හට ශ්‍රී ලංකාව වෙත ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
පාරිසරික යුක්ති කේන්ද්‍රය අදාල නැව් සමාගමට එරෙහිව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද මෙම නඩුවේදී හිටපු නීතිපති සංජය රාජරත්නම් විසින් එක්ස්ප්‍රස් පර්ල් නැව් සමාගමට විරුද්ධව මෙරටදී නඩු පවරනු වෙනුවට, සිංගප්පුරුවේදී නඩු පැවරීමට ගත් තීරණය වැරදි බව ශේෂ්ඨාධිකරණය තීරණය කළේය.
මෙම තීරණය පිටුපස විශාල දුෂණයක් හෝ අල්ලසක් තිබිය හැකි බවත්, එම නිසා නීතිපතිවරයාට විරුද්ධව අපරාධ විමර්ශනයක් සිදු කරන ලෙසත් නියෝග කළේය. වර්තමාන නීතිපති පාරින්ද රණසිංහ මෙම නිර්දේශ තවමත් ක්‍රියාත්මක කර නැත.
NPP රජයක් යටතේ අපරාධකරුවන්ට එරෙහිව නඩු පැවරීම හා නඩු පවත්වාගෙන යාම සඳහා ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවන බවට වූ පොරොන්දුව තවමත් සිහිනයක්ම පමණක් වී ඇත. මෙම යෝජනාවට මුලින්ම විරුද්ධ වී ඇත්තේ නීතිපති හා නීතිපති දෙපාර්තමේන්තුවයි.
මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත් රටේ නඩු කටයුතු පිලිබඳ නීතිපති දෙපාර්තමේන්තුව සතු ඒකාධිකාරය ගිලිහී යන නිසා ඔවුන් මෙම යෝජනාවට විරුද්ධ වී තිබේ. ස්වාධීන අභිචෝදක කාර්යාල යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර පත්කළ නීතිපති හා නීතීඥ සංගමයේ නියෝජිත මෙම යෝජනාවට විරුද්ධවීම නිසා මෙම යෝජනාව තවදුරටත් සිහිනයක්ම වී ඇත.
ඉහතින් දැක්වූ උදාහරණ කීපයට අමතරව පසුගිය ආණ්ඩු කාලයේ සිදුකර ඇතැයි කියන වංචා දුෂණ හා මහා පරිමාණ අපාරාධ පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ සිරවී ඇති ෆයිල් ප්‍රමාණය 28000 ක් බව ජනාධිපති අනුර දිසානායක වරක් නොව දහස් වතාවක් පවසා තිබේ. ඒ අතර විශේෂ ඝනයේ වංචා දුෂණ පිළිබඳ ෆයිල් 400 කට වඩා තමන් සතු බවද සඳහන් කළේය. මේවාට ඉක්මනින් යුක්තිය ඉටු වනවා දැකීම ජනතාවගේ අභිලාෂයයි.
සමාජ මාධ්‍ය හරහා අධිකරණ ඇමැතිවරයාට හා නීතිපති දෙපර්හාමේන්තුවට එල්ලවූ විවේචන වලට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තුවේදී පැවසුවේ තමන්ට නීතිපති හා නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු පිලිබඳ අවිශ්වාසයක් නොමැති බවයි. ඒ නිසාම සමාජ මාධ්‍ය වලින් එල්ල වන චෝදනා පිළිබඳව තමන් එතරම් තැකීමක් නොකරන බවත් පැවසු ඔහු, තමන්ට ඇමතිකම් දුන්නේ සමාජ මාධ්‍යකරුවන් නොව ජනාධිපති අනුර බවත්, තමන්ගේ කටයුතු පිළිබඳ ඔහු විසින් තීරණයක් ගනු ඇති බවත් පැවසීය.
අනුර දිසානායක ශ්‍රී ලංකාවේ ජනාධිපති බවට පත් කරන්නට සමාජ මාධ්‍ය කළ කාර්යභාරය NPP ආණ්ඩුව පත්වී වසරක් ගතවෙත්දී හර්ෂණ නානායක්කාරට අමතක වී ඇති බව පෙනේ. ජනතාවගේ හද ගැස්මට, සැමට නීතිය එක ලෙස ක්‍රියාත්මක වෙන රටක් දැකීමේ සිහිනයට ඔහු පයින් ගසා තිබේ. නමුත් මුල අමතක නොකරන ජනතා හද ගැස්ම හඳුනන ජනාධිපතිවරයෙක් අපට තවමත් සිටින බව අපි විශ්වාස කරමු.
---------------------------
by (2026-01-25 20:11:06)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි