-ආනුභාවනන්ද ලියයි
(ලංකා ඊ නිව්ස් -2026.පෙබ.16, ප.ව.11.45) අස්ගිරි, මල්වතු ඇතුළු මහනායක හිමිවරුන් මූලික වගකීම වන්නේ මෙරට බෞද්ධ ජනතාවට බුදුරජාණන් වහන්සේගේ නිර්මල දහම අවබෝධකරදීමට මැදිහත්වීම සහ තමන් යටතේ පවතින භික්ෂු සංස්ථාව නිසියාකාරව පාලනය කිරීමය. එහෙත් අවාසනාවකට ඔවුන් විසින් ඉටු නොකරන්නේ මේ වගකීම් ය. බල්ලාගේ වැඩේ බූරුවා කිරීමට යනවා සේ, ඔවුහු රාජ්‍ය පාලනයට අතපෙවීමට උත්සාහ කරති. අද මෙරට සිටින බෞද්ධ භික්ෂුන්ගෙන් සැළකිය යුතු පිරිසක් ගණින්නාන්සේලා ය. ඔවුන්ගේ එදිනෙදා පැවැත්ම ඇත්තේ ගිහියන්ට වඩා නරක තැනකය. වනචාරීන් සිටින්නේ මහියංගනේ පමණක් නොවෙයි. ලාල් කාන්ත පැහැදිලි කළ ආකාරයේ කහකඩ වනචාරියෝ රට පුරාම සිටිති. ඔවුන්ට එල්ල වන චෝදනා සදාචාර සීමා හේතුවෙන් මෙහි සටහන් කිරීමට පවා නොහැකිය.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු වාර්තාවන්ට අනුව වසර 2024 වන විට එම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබූ පන්සල් සංඛ්‍යාව 12,235 කි. ඒවායේ බෞද්ධ භික්ෂුහු 42,122ක් වැඩ වාසය කළහ. ලියාපදිංචි දසසිල් මාතා මධ්‍යස්ථාන ගණන 743කි. වසර 2024 වන විට අපේ රටේ සමස්ත ජනගහනය මිලියන 22ක් බවට ඇස්තමේන්තු කර තිබිණි. ඒ අනුව සමස්ත ජනගහනයෙන් මෙරට සිටින භික්ෂු සංස්ථාව සියයට 0.002 කි. සරල අංක ගණිතය අනුව මේ අගය නොසැලකිය හැකි තරම් කුඩාය. එවැනි කුඩා කණ්ඩායමක් පාලනය කර ගැනීමට නොහැකි අස්ගිරි, මල්වතු ඇතුළු මහනායක හිමිවරුන් රාජ්‍ය පාලනයට උපදෙස්දීමට ඉදිරිපත්වීම ඉල ඇදෙන විහිළුවකි.
තමා ඉදිරියේ ඇති කුඩා වපසරිය කළමනාකරණය කරගත නොහැකි චරිත, මිලියන විසිදෙකක් වන පුරවැසියන්ගේ අනාගත සම්බන්ධයෙන් මැදිහත්වීමට උත්සාහ කිරීම ඉතා භයානක ප්‍රවේශයකි. රාජ්‍ය පාලනය ජනතාව සිය ඡන්දයෙන් තෝරාගත් මහජන නියෝජිතයන්ට භාරදී, බෞද්ධ ආගම සහ සංඝ සංස්ථාව කළමනාකරණය කිරීමට මහනාහිමිවරු මැදිහත්විය යුතු බව අපේ විශ්වාසයයි. ඔවුන් වහාම කහකඩ වනචාරී ගණින්නාන්සේලා මෙන්ම “සංඝ පාතාලය” පාලනය කර ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදුදහමට සිදුවන විනාශය වැළැක්විය යුතුය. අපේ රටේ බෞද්ධාගම සහ බෞද්ධ සාසනය විනාශ කරන්නේ, එයට අවමාන කරන්නේ ගිහියෝ නොවෙති. ඒ විනාශය කරන්නේ රාජපක්ෂ නිකායේ කහකඩයන්, වනචාරී ගණින්නාන්සේලා සහ “සංඝ පාතාලය” විසිනි.
පසුගිය වසර ගණනාවක සිට අපේ රටේ බුද්ධිමත් බෞද්ධයෝ රාජපක්ෂ නිකායේ චීවරධාරීන්, ගණින්නාන්සේලාගේ සහ “සංඝ පාතාලයේ” මතුවීම දැඩි කලකිරීමකින් යුතුව බලා සිටියහ. “සිවුර”ට ගෞරව කරන්නේ යැයි කියමින් ගණින්නාන්සේලාගේ බෞද්ධ විරෝධි කටයුතු ඉවසීමට තවදුරටත් බෞද්ධ ගිහියෝ සූදානම් නැත. ඔවුහු තවදුරටත් “සිවුර”ට ගෞරව නොකරති. ඔවුන් දැන් ගරු කරන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මයේ හැසිරෙන සිල්වත් භික්ෂුන් වහන්සේලාට පමණි. තමන්ට ජනතාව ගෞරව නොකරන බව කියමින් රාජපක්ෂ නිකායේ කුප්‍රකට මුරුත්තෙට්ටුවේ ආනන්ද ඇතුළු කහකඩ ගණින්නාන්සේලා දැන් ‘ඤාව් ඤාව්’ ගාති. ඔවුහු දැන් තමන් වැපිරූ දෙයෙහි අස්වැන්න නෙළා ගනිමින් සිටිති. බුද්ධ පුත්‍රයෙකුට තිබිය යුතු සංයමය, හික්මීම, කරුණාව සහ අවිහිංසාව වෙනුවට පාතාලයේ මැරයන් ලෙස හැසිරෙන වනචාරී ගණින්නාන්සේලා කෙරෙහි ගිහියන් තුළ ගෞරවයක් නිර්මාණය වන්නේ නැත. එම ගෞරවය බලෙන් ලබා ගැනීමට ද නොහැකි බව මුරුත්තෙට්ටුවේ ආනන්ද ඇතුළු රාජපක්ෂ නිකායේ චීවරධාරීන්ට පෙන්වාදීමට කැමැත්තෙමු. බෞද්ධ ධර්මයේ මූලික හරය වන හේතු ඵල වාදය පිළිබඳ සරල අවබෝධයක් තිබේ නම් මේ යථාර්ථය ඔවුන්ට අවබෝධ කර ගත හැකි වනු ඇත.
පසුගිය සති කිහිපය පුරා ලොව අවධානය සහ ආදරය දිනාගත්තේ ඇමරිකාවේ පඤ්ඤාකර නාහිමියෝ ඇතුළු බෞද්ධ භික්ෂුන් වහන්සේ දහනම දෙනෙකු සහ “ආලෝක” නම් ආදරණීය සුනඛ මිතුරාය. ඔවුහු “සාමය සඳහා වූ පා ගමන” (The Walk for Peace) වෙනුවෙන් මාස තුනකට අධික කාලයක් සැතපුම් දෙදහස් තුන්සීයක් ඇවිද ගියහ. ඇමරිකාවේ ටෙක්සාස් හි ෆෝර්ට් වර්ත් හි හුං ඩෝ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිට වොෂින්ටන් ඩී.සී. දක්වා මේ පාගමන විහිදී තිබිණි. මේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් ආරම්භ කරන ලද දිගු පා ගමන පුරාම ඔවුන්ව පිළිගැනීමට, ආදරය සහ සහයෝගය පල කිරීමට ඇමරිකානුවෝ දසදහස් ගණනින් මඟ දෙපස ඒකරාශී වූහ. ඔවුහු බෞද්ධයෝ නොවූහ. එසේ නම් මෙවැනි ආදරයක්, ගෞරවයක් අන්‍යාගමිකයන්ගෙන් ලබා ගැනීමට පඤ්ඤාකර නාහිමියෝ ඇතුළු බෞද්ධ භික්ෂු කණ්ඩායමට හැකි වූයේ කෙසේ ද? පිළිතුර ඔවුන් ලොවට ලබා දුන් පණිවිඩයයි. ඉතා දැඩි ශීත දේශගුණ තත්ත්වයක් යටතේ මේ බෞද්ධ භික්ෂු කණ්ඩායම දෙපතුල් වලින් ලේ ගලමින් දුෂ්කර පාගමනක නිරත වූයේ සාමය, කරුණාව, මෛත්‍රීය සහ අවිහිංසාව ප්‍රවර්ධනය කිරීම සඳහා ය. ඔවුහු “ආප්ප”, “ගල් ලෝඩ්” වැනි වනචර කථා නොකීහ. අන්‍යාගමිකයන්ට තර්ජනය නොකළහ. පරාජිත දේශපාලන බලවේග යළි බලයට ගෙන ඒම සඳහා කුමන්ත්‍රණ සංවිධානය නොකළහ. දේශපාලඥයන් වෙනුවෙන් සට්ටැඹි සේවයේ නොයෙදුනාහ. ඔවුහු බුද්ධ වචනය පොදු ජනතාවට සමීප කිරීමට ක්‍රියා කළහ. පඤ්ඤාකර නාහිමියෝ ඇතුළු බෞද්ධ භික්ෂු කණ්ඩායමට ලොව පුරා ගෞරවය, ආදරය සහ දැවැන්ත පිලිගැනීමක් ලැබෙන්නේ ඔවුන් ලොවට ආදරය, කරුණාව, මෛත්‍රීය, අවිහිංසාව බෙදාදුන් බැවිනි.
දැන් අපි රාජපක්ෂ නිකායේ කුප්‍රකට මුරුත්තෙට්ටුවේ ආනන්ද ඇතුළු කහකඩ ගණින්නාන්සේලාගේ අඳෝනා “පාගමන” දෙසට හැරෙමු. මේ “පාගමන”ට හේතු වූ සාධක කිහිපයකි:
* තමන්ට එල්ල කරන විවේචන, චෝදනා සහ අපහාස;
* මාලිමා ආණ්ඩුව මුරුත්තෙට්ටුවේ ආනන්දලාගෙන් අනුශාසනා නොගැනීම;
* බෞද්ධාගමට තර්ජන එල්ලවීම.
පළමුව මුරුත්තෙට්ටුවේ ආනන්ද ඇතුළු කණ්ඩායම හඳුනාගනිමු. මඩකළපුවේ වනචාරියා ඉතා පැහැදිලිය අර්ථ දැක්වූ ආකාරයට මුරුත්තෙට්ටුවේ ආනන්ද ඇතුළු කණ්ඩායම යනු “යකෝ අපි රාජපක්ෂ නිකායේ මහණ වුණ උන්” ය. ඔවුහු බුද්ධ පුත්‍රයෝ නොවෙති. ඔවුහු රාජපක්ෂලාගෙන් වැටුප් ලබන සට්ටැඹියෝ වෙති. මුරුත්තෙට්ටුවේ ආනන්ද ඇතුළු කණ්ඩායම දේශනා කරන්නේ ජාතිවාදය, වර්ගවාදය, සහ වෛරය වපුරන රාජපක්ෂ බයිවාදයයි. ඔවුහු දේශපාලන පක්ෂයක ප්‍රචාරක ප්‍රධානීන් පිරිසක් වෙති. එමෙන්ම ඔවුහු දේශපාලන භික්ෂුහු වෙති.
ඔවුන්ට එල්ල කරන විවේචන, චෝදනා සහ අපහාස එල්ල වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය ප්‍රචාරය කිරීමේ දී ද? නැත, සැබැවින් එම ප්‍රතිචාර ලැබෙන්නේ ඔවුන්ගේ රාජපක්ෂ බයිවාදයේ ප්‍රචාරක කටයුතුවලට ප්‍රතික්‍රියා වශයෙනි.
දේශපාලන පොරපිටියේ විවේචන, චෝදනා, අවලාද සහ අපහාස සාමාන්‍ය තත්ත්වයකි. මිහින්තලේ කහකඩයා “ආප්ප”, “ගල් ලෝඩ්” වැනි අසභ්‍ය වදන් පවසමින් අගමැතිනිය ඉලක්ක කරගත් ලිංගවාදී දේශපාලන ප්‍රහාර එල්ල කරන විට ලාල්කාන්ත ඇමතිවරයා මිහින්තලේ වනචාරියෙකු ගැන හෙළි කරමින් ප්‍රතිප්‍රහාරයක් එල්ල කළේ ය. ඒ ප්‍රතිප්‍රහාරයෙන් මිහින්තලේ කහකඩයාට ‘ඌයියාවීමට’ දෙයක් නැත. දේශපාලනයේ ස්වභාවය එයයි. තමන්ට දේශපාලන ප්‍රහාර එල්ල වන විට සිවුරෙන් බංකර නිර්මාණය කර එහි සැඟවීමට නොහැකිය. දොන් නම් දොන් සිමන් නම් සිමන් ය. දොන් සිමන් දෙකක් බැරි බව රාජපක්ෂ නිකායේ කුප්‍රකට මුරුත්තෙට්ටුවේ ආනන්ද ඇතුළු කණ්ඩායම තේරුම් ගත යුතුය. දෙවනුව, මාලිමා ආණ්ඩුව මුරුත්තෙට්ටුවේ ආනන්දලාගෙන් අනුශාසනා ලබා ගැනීමට ඔවුහු බුද්ධ පුත්‍රයෝ නොවෙති. තමන්ට ප්‍රතිවිරුද්ධ දේශපාලන කණ්ඩායමකින් අනුශාසනා ලබා ගැනීමට තරම් මාලිමා නායකන්ගේ මොලය අවුල්වී නැත. අප දන්නා තරමට රාජපක්ෂලා පවා මුරුත්තෙට්ටුවේ ආනන්දලාගෙන් අවවාද, අනුශාසනා ලබා ගත්තේ නැත. ඔවුහු රාජපක්ෂලාගෙන් වැටුප් සහ වරදාන ලබාගත් සට්ටැඹියන්ගේ භූමිකාව පමණක් රඟදැක්වූහ.
මුරුත්තෙට්ටුවේ ආනන්දලා ඉදිරිපත් කරන බැරෑරුම් චෝදනාවක් වන්නේ බෞද්ධාගමට එල්ලවී ඇති තර්ජනයන්ය. එම චෝදනාව අපි ද පිලිගනිමු. එහෙත් මේ තර්ජන එල්ලවී ඇත්තේ බාහිරින් නොවෙයි. මේ තර්ජන එල්ල වන්නේ භික්ෂු සංස්ථාව තුළිනි. රාජපක්ෂ නිකායේ කහකඩයෝ, වනචාරී ගණින්නාන්සේලා සහ “සංඝ පාතාලය” ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය විනාශ කරමින් සිටිති. බෞද්ධාගම බේරා ගැනීමට නම් මේ කණ්ඩායම් සාසනයෙන් නෙරපා දැමීමට මහනායක හිමිවරු මැදිහත් විය යුතුව ඇත්තාහ. එසේ නොමැති නම් මේ බෞද්ධ විරෝධී කණ්ඩායම් පුනරුත්ථාපනය කර ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාසනයේ යළි පැවිදි කළ යුතුය. රාජපක්ෂ නිකායේ කුප්‍රකට මුරුත්තෙට්ටුවේ ආනන්ද ඇතුළු කහකඩ ගණින්නාන්සේලාට අපට කීමට ඇත්තේ “පාගමන්” යමින් “සඟ සමුළු” පවත්වමින් තවදුරටත් රටට විහිළු සැපයීමෙන් වළකින ලෙසය. ජෝකර් චරිත රඟදැක්වීමෙන් බෞද්ධාගම විනාශ නොකරන්න. පළමුව සැබෑ බුද්ධ පුත්‍රයෙකුවී ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන්න. “ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලැබේ” යන්න බුද්ධ වචනයයි. එවිට දැනට මතුව තිබෙන ගුද-රුදා සියල්ල නිට්ටාවට සුවවනු ඇත.
“ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං, ඡත්තං මහන්තං යථ වස්සකාලෙ;
එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ, න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී'ති"
"ධර්මයෙහි හැසිරෙන පුඟුල්හු රක්නේය, වැසිකලැ මහත් වූ ඡත්‍රය එය ධරන්නහු යම්සේ රකීද එමෙනි, ධර්මය මොනොවට පරිචිත කල්හි තෙල අනුසස වෙයි. ධර්මචාරී පුද්ගල අපායාදි දුගතියට නොයේ යයි."
(ඛුද්‌දක නිකාය, නෙත්තිප්පකරණ, පටිනිද්දේසවාරය, විභඞ්ග, චතුබ්‍යුහහාරවිභඞ්ගය)
පලි:
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන ඉතාම සිල්වත් ගුණගරුක භික්ෂුන් වහන්සේලා දහස් ගණනක් තවමත් අපේ රටේ වැඩවෙසෙති. ඔවුන් පිළිබඳ ඉමහත් ගෞරවයක් භක්තියක් අප තුළ තිබේ. එම භික්ෂුන් වහන්සේලාගෙන් අපි නමස්කාර පූර්වක ඉල්ලා සිටින්නේ රාජපක්ෂ නිකායේ කහකඩයෝ, වනචාරී ගණින්නාන්සේලා සහ “සංඝ පාතාලය” නිර්මල බුද්ධ ධර්මයට සිදුකරන ඉමහත් විනාශ නැවැත්වීමට මැදිහත් වන ලෙසය. ඔබ වහන්සේලා තවදුරටත් නිහඬව නොසිට මේ විනාශය වැළැක්වීමට අප්‍රමාදව කටයුතු කළ යුතුය.
ආනුභාවනන්දගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33
---------------------------
by (2026-02-16 21:44:21)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි