~

භාණ්ඩාගාරයේ මිලියන 2.5ක ගනුදෙනුව සහ සයිබර් ප්‍රහාරයකට එහා ගිය දේශපාලන සහ තාක්ෂණික කුමන්ත්‍රණයක සුලමුල

සම්පත් දිල්ලිමුණි විසිනි

(ලංකා ඊ නිව්ස් -2026.අප්‍රේල්.26, ප.ව.7.00)  මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් ගිණුමකට බැර වීමේ සිදුවීම වත්මන් රජයට එරෙහිව එල්ල කරන දේශපාලන අවියක් කර ගැනීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටිති. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ ආණ්ඩුකාර ධූරයක් දැරූ රංජිත් කීර්ති තෙන්නකෝන් සහ මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ලෙස කටයුතු කරන ලද මෛත්‍රී ගුණරත්න මේ චෝදනාව හිස මුදුනේ තබා ගෙන යමින් ආණ්ඩුවට පහරදෙමින් සිටී.

ඔවුන් දෙදෙනාම රනිල් වික්‍රමසිංහගේ සුවචම ගෝලයන් වෙති, රනිල් ට විරුද්ධව රජයේ මුදල් අවභාවිතා කීරිමේ නඩුවේදී  පොලවේ පස් කන තරමටම මෛත්‍රී ගුණරත්න, රනිල් වෙනුවෙන් පෙනී සිටියහ. අද මෛත්‍රී ගුණරත්න මේ සිදුවීම කරේ තබාගෙන යාමේදී මේ දෙදෙනා ගැනද  ඕනෑම අයෙකුට දැඩි සැකයක් ඇති වීම සාධාරණය.

මෙම සිදුවීමේ සුලමුල පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ, මෙය හුදු පරිපාලන වැරැද්දක් සේම වසර ගණනාවක් තිස්සේ පද්ධතිය තුළ සැඟවී සිටි 'ඩිජිටල් මීයන්' සහ යල් පැන ගිය තාක්ෂණික ව්‍යුහයන් මත දියත් වූ මහා පරිමාණ කුමන්ත්‍රණයක් බවයි.

ලිපි ගොනුව භාරව කටයුතු කරන  නිලධාරියා  සහ බිස්නස් ඊමේල් උගුල

භාණ්ඩාගාරයේ ගෙවීම් පටිපාටිය පියවර කිහිපයකින්  සමන්විත වන අතර, එය එක් පුද්ගලයෙකුට පමණක් හැසිරවිය නොහැකි තරම් සංකීර්ණ ආරක්ෂක ජාලයකි.

දැනට දැනගන්නට ඇති   පරිදි ශ්‍රී ලංකාව,  ඕස්ට්‍රේලියානු රජයට අනුබද්ධ ආයතනයකින්  ලබා ගත් ණය මුදලක් සම්බන්ධව  ගනුදෙනු කරන අතරතුර   ඕස්ට්‍රේලියානු රජයේ එකී ආයතනය ගණුදෙනු කරන ආකාරයටම අතරමැදදී  එම ආයතනයම යැයි තහවුරු වන ආකාරයට මහා භාණ්ඩාගරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සමග මෙම මුදල් පැහැරගත් කණ්ඩායම ගණුදෙනු කර ඇති බවයි, ඒ අතරතුර ඊ මේල් ගනුදෙනු කිරීමේදී  මුලික ගිවිසුමට පිටින් වෙනත් ගිණුම් අංකයක් අතර මැදදී වෙනස් කොට විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සමග ගනුදෙනු කොට ඇති බව දැනට වාර්තා වේ. ඒ වෙනස් වීම ගැන විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව අවධානයක් යොමු කර නොමැතිවීම සහ ලිපි ගොනුව භාරව කටයුතු කරන කළමනාකරණ සේවා නිලධාරියා හෝ සංවර්ධන නිලධාරියා විසින් සටහන් තබන සටහන පමණක් විස්වාසය තබා කටයුතු කිරීම  හේතුවෙන් මේ මුදල් වංචාව සිදුව  සිදුව ඇතැයි අපට උපකල්පනය කිරීමට හැකියාව ඇත.

කෙසේ වෙතත් රාජ්‍ය ණය හෝ ගණුදෙනුව සිදු වුයේ කෙසේද යන්න මෙන්ම පද්ධතිය කෙසේ හැසිරෙන්නේ ද යන්න වග දන්නේ ඕස්ට්‍රේලියාවේ සහ ලංකාවේ රජයයි,  එසේ රජයන් අතර කරන ගණුදෙනු දෙකක් මැදට අතර මගදී  සම්බන්ධවන අතරමැදි ඊ මේල් ගැන විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හොඳාකාරාවම දැනගත යුතුය. අතරමැදදී  ගිණුම් අංකයක් වෙනස් වූයේ නම්, එය සිදුවිය හැක්කේ පද්ධතියේ ඉහළම Root Access  ඇති පාර්ශවයකට හෝ පද්ධතිය නඩත්තු කරන බාහිර සැපයුම්කරුවෙකුට හෝ සයිබර් අපරාධකරුවෙකුට පමණි. 2025 සැප්තෑම්බර් මාසයේ සිටම භාණ්ඩාගාර පද්ධතියට (System) රහසිගතව ඇතුළු වී ඇති බවට තොරතුරු ලැබී තිබීමෙන් පෙනී යන්නේ, වත්මන් රජය පත්වීමටත් පෙර සිටම කිසියම් පිරිසක් මෙම ඩිජිටල් උගුල අටවා තිබූ බවයි.

නිවසේ සිට පද්ධතියට ප්‍රවේශ වීමට ඉඩ හැරීම සහ  අනාරක්ෂිත ආරක්ෂක විධිවිධාන

විමර්ශනවලදී අවධානය යොමු කළ යුතු තවත් බරපතළ කරුණක් වන්නේ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (ERD) අදාළ ලිපිගොනු හසුරුවන නිලධාරිනියකට සිය නිවසේ සිට පද්ධතියට ප්‍රවේශ වීමට (Remote Access) අවස්ථාව සලසා දී තිබීමයි. ලිපිගොනු හසුරුවන නිලධාරිනිය අවස්ථා කිහිපයකදී නිවසේ සිට (ERD) පද්ධතියට ඇතුළු වී ඇති බව අපට දැනගන්නට  ලැබී ඇත.  රාජ්‍යයක අතිශයින්ම වැදගත් සහ රහසිගත මූල්‍ය දත්ත පද්ධතියකට නිවසේ සිට ඉතා සරල ලෙස සම්බන්ධ වීමට මෙකි පද්ධති සැකසුම් කරුවන් ඉඩ සලසා තිබුණේ ඇයිද යන්න ඉතාම ගැටලුසහගතය.

මෙවැනි තීරණාත්මක පද්ධතියක් අනාරක්ෂිත ජාල (Unsecured Networks) හරහා භාවිත කිරීමට ඉඩ දීමෙන් හැකර්වරුන්ට පද්ධතියට රිංගීමට මාවත විවර වේ. අදාළ ලැප්ටොප් පරිගණකය බාහිරව භාවිත කිරීමේදී සිදුවූ තාක්ෂණික කාන්දුවීම් පිළිබඳව විමර්ශකයන්ගේ දැඩි අවධානය යොමු විය යුතුය.

රාජ්‍ය සම්පත් දෙපාර්තමේන්තුවේ  සහ ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඉහල සිට පහළටත් පහල සිට ඉහළටත් දැක්වූ නොසැලකිල්ල

රාජ්‍ය සම්පත් දෙපාර්තමේන්තුව සහ ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව අතර ගලා යන ලිපිගොනුවක වගකීම, එය හසුරුවන කළමනාකරණ සහකාරවරයාගේ හෝ සංවර්ධන නිලධාරියාගේ සිට අධ්‍යක්ෂ ජනරාල්වරයා දක්වා වූ සෑම නිලධාරියෙකුටම පැවරේ. ඕස්ට්‍රේලියානු රජයේ අනුබද්ධ ආයතනයකට අදාළ ණය වාරිකය ගෙවීමේදී, මුල් ණය ගිවිසුමේ සඳහන් බැංකු ගිණුම සහ ගෙවීම් නියෝගයේ සඳහන් ගිණුම නිවැරදි දැයි සසඳා බැලීම එම විෂය භාර නිලධාරීන්ගේ මූලික රාජකාරියයි.

මෙම සිදුවීමේදී වඩාත්ම සැකකටයුතු වන්නේ රාජ්‍ය සම්පත් දෙපාර්තමේන්තුව සහ ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව එක බිත්තියකින් වෙන්ව තිබියදී සෑම ගනුදෙනුවක්ම ඊ මේල් මගින් ගනුදෙනු කිරීමයි, ලිපි ගොනු හුවමාරු කරගෙන මුල් ගිවිසුමේ ගිණුම් අංකය සසදා බැලුවේ නම් මෙකී වංචාව නවත්වා ගැනීමට ඕනා තරම් ඉඩ තිබිණු බව බැලු බැල්මට ඕනා කෙනෙකුට තේරුම් ගැනීමට හැකියාව ඇත.

මුදල් අමාත්‍යාංශයේ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මීට  පෙර විදේශ ණය ගෙවීම් කටයුතු සුරක්ෂිතව මහ බැංකුව හරහා සිදු කර ඇත. නමුත්  රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව ආරම්භ කල පසු එකී රාජ්‍ය අතර ණය මුදල් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය භාණ්ඩාගාර  ලේකම්ගේ ගිණුමෙන් ගෙවීමට රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවට අවසර හිමි වී ඇත. 

තාක්ෂණික සැපයුම්කරු සහ 2019 සර්වර් අභිරහස

පද්ධති සැපයුම්කරු ලෙස කටයුතු කරන N-able  පුද්ගලික ආයතනයයි. එම ආයතනයේ ප්‍රධානීන් පසුගිය රජයන්හි ප්‍රබල දේශපාලන ක්‍රියාකාරීන් හා සමීප සබඳතා පැවැත්වීම මගින් මෙම මූල්‍ය අපරාධය පිටුපස ඇති යම්  කුමන්ත්‍රණයක් ඇති බවටද විවිධ පාර්ශව  බරපතළ සැක සංකා මතුකර ඇති බවද මෙහිදී අප පෙන්වා දෙමු.

මෙම ආයතනයේ  ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රීරන්ත හේරත් මහතා පසුගිය පාලන සමයේ සාගල රත්නායක මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කරන අතරතුරම N-able ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද කටයුතු කර තිබීම මෙම සැක සංකා ඇති වීමට බලපෑ ඇති බව පෙන්වා දෙමු.

එමෙන්ම, මෙම ආයතනයේ අයිතිකරු වන ජිත් වර්ණකුල මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකු වන හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ගජමිතුරෙකු ලෙස ප්‍රසිද්ධ වී තිබීම මෙම සැකසංකා ඇති වීමට වැඩිදුරටත් හේතු වී ඇති බව අපට වාර්තා වී තිබේ. එවැනි දැඩි දේශපාලන සබඳතා සහිත පිරිසකගේ පාලනය යටතේ පවතින ආයතනයක් මගින් රාජ්‍ය මූල්‍ය දත්ත පද්ධතිය හසුරුවන 'විදේශ සම්පත්  දෙපාර්තමේන්තුවේ  (ERD) පද්ධතියේ රහස්‍යභාවය අනතුරේ හෙළා ඇති බව බවටද සැකයක් ඇති වීම බැහැර කල නොහැකිය.  

වඩාත් තීරණාත්මක කරුණ වන්නේ, 2019 වසරෙන් පසු මෙම පද්ධතිය යාවත්කාලීන (Update) කිරීමට එවකට පැවති රජය අනුමැතිය ලබා නොදීමයි. තාක්ෂණික ලෝකයේ පද්ධතියක් යාවත්කාලීන නොකිරීම යනු හිතාමතාම එහි ආරක්ෂක සිදුරු (Vulnerabilities) විවෘතව තැබීමකි. පද්ධතියේ සම්පූර්ණ පාලනය සහ තාක්ෂණික රහස් දන්නා සැපයුම්කරුවෙකුට, එහි 'පසුපස දොරක්' (Backdoor) විවෘත කර තබා ඕනෑම අවස්ථාවක මෙවැනි සූක්ෂ්ම මංකොල්ලයක් මෙහෙයවීමට ඇති තාක්ෂණික හැකියාවද මේ අවස්ථාවේදී  බැහැර කළ නොහැක. කෙසේ වෙතත් වගකිව යුතු පද්ධති සැපයුම් ආයතනයක් වශයෙන් N-able  ආයතනයට අපි  චෝදනා නොකරමු, අපට ලැබී සැක සංකා පමණක් වාර්තා කරමු,

විශේෂයෙන් මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තු  පද්ධතියේ (system) සැපයුම් කරුට තවත් එල්ලවන දැවැන්ත චෝදනාවක් වන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන ලද කුප්‍රකට "ඊ වීසා" ටෙන්ඩරයි, ප්‍රශ්නගත ටෙන්ඩරය ලබා දුන්නේ ජිත් වර්ණකුල ගේ "Just in Time Group " නැමැති ආයතනයටයි, අපගේ හෙලිකිරීම් මත දැනට එම ටෙන්ඩරය සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේ මෙවන් පසුබිමක් තුලයි.

මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැඩි අවධානය යොමු විය යුතු බව අපි අවධාරණය කරමු. මෙම පරීක්ෂණය හුදු මූල්‍ය වංචාවකට සීමා නොකර, පද්ධති කළමනාකරණය පිළිබඳ ගැඹුරු තාක්ෂණික පරීක්ෂණයක් (Digital Forensic Audit) දක්වා ගෙන යා යුතුය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව එවැනි හසල දැනුමැති විශේෂඥයන් නොමැති නම්, විදේශීය රාජ්‍යයක හෝ ස්වාධීන ජාත්‍යන්තර ආයතනයක සහාය ලබාගෙන හෝ මෙම කුමන්ත්‍රණයේ සුලමුල හෙළි කරගත යුතුව ඇත. එසේ පරීක්ෂණ මගින් නිවරදි සත්‍ය තොරතුරු සොයා ගෙන ඇතැම් ආයතන ගැන ඇති සැක සංකා නිවරදි කල යුතු බව වැඩිදුරටත් මතක් කර සිටිමු

මුදල් ලේකම්  වංචාව වසා තබාගැනීම සදහා කටයුතු කලේ ඇයි?

ජනවාරි මාසයේදී මෙම වංචාව හඳුනාගත්තද, ඒ පිළිබඳව පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට හෝ අධිකරණයට වහාම වාර්තා නොකර සිටීම සම්බන්ධයෙන් මුදල්  අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම  මහතා වෙත එල්ල වන සියලු චෝදනා  තාක්ෂණික විමර්ශන විද්‍යාව (Cyber Forensics) හමුවේ සම්පූර්ණයෙන්ම බැහැර කළ යුතුය.

සයිබර් අපරාධකරුවෙකු යනු සාමාන්‍ය සොරෙකු නොවේ; ඔහු පද්ධතිය තුළ සිටින බව ඔහුට දැන ගැනීමට ඉඩ හැරීම යනු එම මොහොතේම සාක්ෂි විනාශ කර ඔහුට සැඟවී යාමට ඉඩ දීමකි. එබැවින් විමර්ශන අංශ සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අනුගමනය කළේ ලොව පුරා පිළිගත් 'Honeypot' හෙවත් 'මීපැණි උගුල' නම් උපක්‍රමශීලී විමර්ශන රටාවයි.

මෙම රහස්‍යභාවය පවත්වා ගැනීමේ ප්‍රධාන තාක්ෂණික අරමුණ වූයේ පද්ධතියට රිංගූ හැකර්වරයා නැවතත් එම පද්ධතියටම පිවිසෙන තෙක් රැක සිටීමයි. ඔහු පද්ධතිය තවමත් තමාට විවෘතව පවතින බව සිතා නැවත පිවිසෙන්නේ නම්, ඔහුගේ සැබෑ IP ලිපිනය, පිවිසෙන මූලාශ්‍රය සහ ඔහුට පද්ධතිය ඇතුළතින් සහාය දෙන පුද්ගලයන් සජීවීව නිරීක්ෂණය කර අතටම කොටු කර ගැනීමට මෙයින් අවස්ථාවක් නිර්මාණය වේ. යම් හෙයකින් මෙම තොරතුරු මාධ්‍යයට හෝ පාර්ලිමේන්තුවට මුදා හැරියේ නම්, හැකර්වරයා හෝ අපරාධකරුවා වහාම පද්ධතිය තුළ තමා තැබූ සියලුම ඩිජිටල් සලකුණු (Logs) මකා දමනු ඇත. එවැනි තත්ත්වයකදී අනාගත පරීක්ෂණ සඳහා අවශ්‍ය කරන කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් ඉතිරි වන්නේ නැත.

එමෙන්ම, ජාතික ජන බලවේග  රජයට මෙම සිදුවීම සමාජයෙන් වසන් කිරීමට කිසිදු දේශපාලන අවශ්‍යතාවයක් තිබුණේ නැත. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙම පියවර ගත්තේ හුදු තනි තීරණයක් මත නොව, ජාත්‍යන්තර මට්ටමේ සයිබර් විමර්ශන ක්‍රමවේදයන් කෙරෙහි විශ්වාසය තබමිනි. අපරාධකරුවා නැවත පිවිසියේ නම් ඔහුව නියත වශයෙන්ම කොටු කරගැනීමට තිබූ අවස්ථාව මෙන්ම, පද්ධතියේ ඇති සැබෑ තාක්ෂණික සිදුරු මොනවාදැයි නිරීක්ෂණය කිරීමට මෙම කාලය භාවිතා කරන ලදී. සැබෑ අපරාධකරුවා සොයා ගැනීමට තිබූ එකම සහ අවසාන අවස්ථාව අත්හදා බැලීමට ගත් එම උපායමාර්ගික තීරණය විමර්ශනයක සාර්ථකත්වයට අතිශය තීරණාත්මක වේ.

භාණ්ඩාගාර ලේකම්වරයාගේ වගකීම සහ පරිපාලන යථාර්ථය

මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීම ඉල්ලා සිටින හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් සහ මෛත්‍රී ගුණරත්න  ඇතුළු  පාර්ශ්වයන් තුල රාජ්‍ය පරිපාලන පටිපාටිය පිළිබඳව ඇත්තේ ඉතා අල්ප දැනුමකි. ඕනෑම රාජ්‍ය ආයතනයක ලේකම් යනු ප්‍රතිපත්තිමය තීරණ ගන්නා නිලධාරියා මිස, සෑම ලිපිගොනුවකම අඩංගු ගිණුම් අංකවල ඉලක්කම් සසඳා බලන ලිපිකරුවෙකු නොවේ
.
මෙම මූල්‍ය ගනුදෙනුව සිදුවන අවස්ථාවේදී විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහ ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ලිපිගොනු හසුරුවන පහල සිට ඉහලම නිලධාරීන් දක්වා නිලධාරින් 16 දෙනෙකුට ආසන්න පිරිසකට මේ ලිපි ගොනුව හුවමාරු වී ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව ඔවුන්ට  සෘජු වගකීමක් පැවරී තිබුණි. ණය වාරිකයක් ගෙවීමේදී අදාළ මුල් ගිවිසුමේ සඳහන් ගිණුම් අංකය සසඳා බැලීම එම සෑම නිලධාරියෙකුගේම රාජකාරියයි. එසේම, විදේශ ණය ගෙවීමකදී ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවට  අතිශය ප්‍රබල වගකීමක් පැවරේ. ගිවිසුමේ ගිණුම් අංකය සහ ගෙවන අංකය අතර වෙනසක් ඇත්නම් එය පද්ධතිය තුළ රතු එළියක් ලෙස පෙන්විය යුතුව තිබුණි. මෙම පියවරයන් මගහැරී තිබියදී, ලිපිගොනුවේ මුල් පිටුවේ සිට අග දක්වා කියවීමට කාලයක් නොමැති මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පිට වරද පැටවීම අසාධාරණය.

නිලධාරීන් මත වරද පැටවීමේ දේශපාලන නාටකය

මෛත්‍රී ගුණරත්න, රන්ජිත් කීර්ති තෙන්නකෝන් ඇතුළු විපක්ෂ කණ්ඩායම් සහ ඇතැම් සංවිධාන වහාම මුදල් ලේකම්වරයාගේ ඉල්ලා අස්වීම ඉල්ලා සිටින්නේ සැබෑ සොරකම වසන් කිරීමට දැයි සැකයක් මතුව ඇත. ඒ ඉල්ලීම් මගින් පෙන්වා දෙන්නේ රජයේ නොහැකියාව නිසා මේ මුදල් වංචාව සිදුව ඇති බවයි,

එය තනිකරම අසත්‍ය කරුණක් බව කරුණු සහිතව ඉහතින් පෙන්වා දී ඇත, වසර ගණනාවක් තිස්සේ පැවති පද්ධතිමය දෝෂයන් සහ දේශපාලන ගජමිතුරන්ගේ ව්‍යාපාරික මැදිහත්වීම් හෙළි වීමට ආසන්න වන විට, වගකීම හුදු නිලධාරියෙකු පිට පැටවීම සැබෑ අපරාධකරුවන් බේරා ගැනීමට දරන උත්සාහයක් දෝ කියා සංකා මතුව ඇත. රජය විසින්  මෙම වංචාව සිදු උන ආකාරය අග සිට මුලටම ඉතා සුපරික්ෂාවෙන් සිදු කරගෙන යාම ආරම්භ වී ඇති නිසා මෛත්‍රී ගුණරත්න, රන්ජිත් කීර්ති තෙන්නකෝන් ඇතුළු තවත් පිරිස්, දිනපතා මාධ්‍ය සාකච්චා පවත්වා රට නොමග යැවීමටත් රජය පිළිබද ජනතා අප්‍රසාදය ඇති කිරීමටත් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව රජයේ සැකසංකා මතුව ඇති බව වාර්තා වේ,

රජය බේරාගත යුත්තේ ඇයි? පද්ධතිමය කුමන්ත්‍රණය සහ දේශපාලන දඩයම

මෙම මුදල් සොරකම හුදු පරිපාලන අතපසුවීමකට වඩා, පියවර කිහිපයකින් යුත් සූක්ෂ්ම සයිබර් වංචාවක් සහ දේශපාලන කුමන්ත්‍රණයක එකතුවකි. ජාත්‍යන්තර මට්ටමේ හැකර්වරුන් වෙනත් ඊමේල් ලිපින හරහා මහා භාණ්ඩාගාර පද්ධතියට රිංගීමට සමත් වූයේ නම්, එයින් පැහැදිලි වන්නේ වසර ගණනාවක් තිස්සේ පද්ධතියේ ආරක්ෂක ස්ථර හිතාමතාම දුර්වල කර තිබූ බවයි. මෙවැනි අනවසර ඊමේල් පණිවුඩ ලැබෙන විට පද්ධතිය නිහඬව සිටීම සහ ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් වැරදි මුදල් ගෙවීමේදී කිසිදු තාක්ෂණික සංඥාවක් (Signal) නිකුත් නොවීම මගින් ගම්‍ය වන්නේ මෙය පද්ධතිය ඇතුළතින්ම ක්‍රියාත්මක වූ සහායක් සහිතව සිදු වූවක් බවයි. විශේෂයෙන්  විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ  මේ ලිපි ගොනුව  භාරව කටයුතු කරන ලද අනුමැතිය දක්වා කොකා අත්සන ගැසූ සෑම නිලධාරීයෙක් දක්වාම බරපතල ලෙස දඬුවම් ලබා දිය යුතුව ඇත.

විදේශ සම්පත් දෙපාර්තමේන්තු විසින් ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලිපි ගනුදෙනු සියල්ලක්ම මේ වංචාකරුවා දැනගත්තේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතුලත හෝ පරිගණක පද්තිධයෙන්ම  විය හැක. මෙහිදී වඩාත්ම සැකකටයුතු කාරණය වන්නේ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහ ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ රහසිගත ලිපිගොනු තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත කාන්දු වූයේ කෙසේද යන්නයි. යාවත්කාලීන නොවූ පද්ධතිය සමග වත්මන් ආණ්ඩුවට විරුද්ධ දේශපාලන කල්ලි සමග එක්වී මෙම කුමන්ත්‍රණයට ආධාර අනුබල දුන්නාද යන්න පිළිබඳව තවත් සාධාරණ සැකයක් පවතී. විශේෂයෙන්ම, 2019 සිට පද්ධතිය යාවත්කාලීන කිරීමට ඉඩ නොදී එය අනාරක්ෂිතව තැබීම හරහා අද දින මෙම මංකොල්ලයට අවශ්‍ය පසුබිම සකස් කර ඇත්තේ එවකට පාලනය මෙහෙයවූ පිරිස්මය.

දූෂණ චෝදනා එල්ල වී නීතිය හමුවේ දැඩි සටනක නිරත වෙමින් සිටින රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ගෝලයන් වන මෛත්‍රී ගුණරත්න සහ කීර්ති තෙන්නකෝන් වැනි පුද්ගලයන්, මෙම සිදුවීම පදනම් කරගෙන ආණ්ඩුවට එරෙහිව අභූත චෝදනා එල්ල කරන්නේ සැබෑ අපරාධකරුවන් වසන් කිරීමට බවටත් ජනතාව අතර සැකසංකා   මතුව ඇති බව කිව යුතුය. ඔවුන්ගේ අරමුණ වන්නේ තාක්ෂණිකව අතිශය නිවැරදි සහ විමර්ශන මූලධර්මවලට අනුකූලව කටයුතු කරන මුදල් ලේකම්වරයා ඉලක්ක කර ගනිමින්, මහජන අවධානය සැබෑ කුමන්ත්‍රණකරුවන්ගෙන් ඉවතට හැරවීමයි.

මුදල් ලේකම්වරයාගේ ක්‍රියාකලාපය විමර්ශනයක මූලික ධර්මතාවයන්ට අනුකූල වූවක් මිස වගකීම් පැහැර හැරීමක් නොවන බව තාක්ෂණිකව මැනවින් පැහැදිලි වේ. ඔහු අනුගමනය කළේ අපරාධකරු කොටු කරගැනීමේ උපායමාර්ගික රහස්‍යභාවයයි. මෙම ප්‍රහාරය වත්මන් රජය අපහසුතාවයට පත් කර, රට නැවතත් අරාජිකත්වයට ඇද දැමීමට දරන සංවිධානාත්මක උත්සාහයක කොටසකි. එබැවින් හුදු පුද්ගල චරිත ඝාතනයන් දෙස නොබලා, 2019 සිට පද්ධතිය අඩපණ කළ දේශපාලන හැකර්වරුන් සහ ඔවුන්ගේ ව්‍යාපාරික ගජමිතුරන් කවුදැයි සැබෑ විමර්ශනයකින් සොයා ගැනීම ජාතික වගකීමකි. රජය ආරක්ෂා කරමින් පද්ධතිය පිරිසිදු කිරීමට ඇති එකම මග එයයි.

සම්පත් දිල්ලිමුණි 

---------------------------
by     (2026-04-27 05:44:35)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links