-ආනුභාවනන්ද ලියයි
(ලංකා ඊ නිව්ස් -2026.අප්‍රේල්.30, පෙ.ව.6.45) //Sri Lanka police arrest 22 Buddhist monks after 110kg of cannabis found in luggage - Customs officials say group allegedly hid 5kg of ‘kush’ in false walls of bags on return from Bangkok holiday// මේ බ්‍රිතාන්‍යයේ කීර්තිමත් “The Guardian” පුවත් අඩවියේ ප්‍රධාන සිරස්තලයයි.
//Sri Lanka arrests 22 Buddhist monks allegedly carrying over 110 kilos of cannabis at airport//මේ CNN World පුවතේ සිරස්තලයයි.
“රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් " කුෂ්" සහ "හෑෂ් " මත්ද්‍රව්‍ය තොගයක් සමග බෞද්ධ භික්ෂුන් විසිදෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. තායිලන්තයේ සංචාරයක නිරත වී මෙරටට පැමිණි, බෞද්ධ භික්ෂූන් වශයෙන් සැලකෙන පුද්ගලයන් විසිදෙදෙනකු ගුවන් මඟින් මෙරටට ගෙන ආ රුපියල් කෝටි 110කට (බිලියන 1.1කට) අධික වටිනාකමින් යුත් “කුෂ්” (Kush) සහ “හෑෂ්” (Hashish) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110කට වඩා වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇත. මෙය කටුනායක ගුවන් තොටුපළ ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස සැලකෙන අතර මොවුන් වයස අවුරුදු 19ත් 28ත් අතර පසුවන තරුණ පිරිසක් බව වාර්තා වේ. එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ පාසල් උපකරණ , විවිධ රසකැවිළි සමග ව්‍යාජ පතුල් සකස් කර ඒවා තුළ කිලෝ ග්‍රෑම් 110 කට අධික " කුෂ්" සහ " හෑෂ් " මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව සඳහන් ය. සෑම භික්ෂුවකගේ ගමන් මළු තුළ කිලෝ ග්‍රෑම් පහ බැගින් මත්ද්‍රව්‍ය තිබී ඇති බව වාර්තා වෙයි” මේ ජාත්‍යන්තර මාධ්‍ය බොහොමයක් වාර්තා කළ පුවතේ සාරාංශයයි.
රාජපක්ෂ නිකායේ වනචාරී ගණින්නාන්සේලාගේ සංඝ පාතාලයේ මේ වික්‍රමය වාර්තා වූයේ ඇමරිකාවේ පඤ්ඤාකර නාහිමියෝ ඇතුළු බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ “ආලෝකා” නම් ආදරණීය සුනඛ මිතුරා අපේ රටේ සාම පාගමනක නිරතව සිටින අවස්ථාවකය. මෙයට සති කිහිපයකට පෙර පඤ්ඤාකර නාහිමියෝ ඇතුළු බෞද්ධ භික්ෂුන් වහන්සේ දහනම දෙනෙකු සහ “ආලෝකා” නම් ආදරණීය සුනඛ මිතුරා “සාමය සඳහා වූ පා ගමන” (The Walk for Peace) වෙනුවෙන් මාස තුනකට අධික කාලයක් සැතපුම් දෙදහස් තුන්සීයක් ඇවිද ගියහ. ඇමරිකාවේ ටෙක්සාස් හි ෆෝර්ට් වර්ත් හි හුං ඩෝ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිට වොෂින්ටන් ඩී.සී. දක්වා මේ පාගමන විහිදී තිබිණි. මේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් ආරම්භ කරන ලද දිගු පා ගමන පුරාම ඔවුන්ව පිළිගැනීමට, ආදරය සහ සහයෝගය පල කිරීමට ඇමරිකානුවෝ දසදහස් ගණනින් මඟ දෙපස ඒකරාශීව සිටියහ. ඔවුහු බෞද්ධයෝ නොවූහ. ඉතා දැඩි ශීත දේශගුණ තත්ත්වයක් යටතේ මේ බෞද්ධ භික්ෂු කණ්ඩායම දෙපතුල් වලින් ලේ ගලමින් දුෂ්කර පාගමනක නිරත වූයේ සාමය, කරුණාව, මෛත්‍රීය සහ අවිහිංසාව ප්‍රවර්ධනය කිරීම සඳහා ය. ඔවුන් ලොවට ලබා දුන් එම පණිවිඩය ඇමරිකාවේ පමණක් නොව ලොව පුරා ජනතාවගේ ඉමහත් ආදරයට සහ ගෞරවයට හේතු විය. මේ හේතුවෙන් පඤ්ඤාකර නාහිමියෝ ඇතුළු බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ “ආලෝකා” ජාත්‍යන්තර මාධ්‍යයන්ගේ සහ සමාජ මාධ්‍යයන්හි පුවත් මවන්නන් බවට පත් වූහ.
ඇමරිකාවේ පඤ්ඤාකර නාහිමියෝ ඇතුළු බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ “ආලෝකා” ශ්‍රී ලංකාවේ සාම පාගමනක නිරතව බවට වන පුවත පැතිරයාමත් සමඟ අපේ රට කෙරෙහි ද විශාල ජාත්‍යන්තර මාධ්‍ය අවධානයක් යොමු විය. අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධියේ අංකුරයක් සහ ධාතූන් වහන්සේ ඇමෙරිකාවට වැඩම කරවීමේ අරමුණින් පඤ්ඤාකර නාහිමියෝ ඇතුළු බෞද්ධ භික්ෂුන් වහන්සේලා අප්‍රේල් 21 වන දා අලුයම ශ්‍රී ලංකාවට වැඩම කළහ. ඔවුන් සමඟ “ආලෝකා” ද මෙරටට පැමිණියේ ය. පඤ්ඤාකර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් 22 වන දා දඹුල්ලෙන් ආරම්භ වූ “ඒහිපස්සිකෝ” සාම පාගමන අප්‍රේල් 28 වන දින කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් අවසන් විය. මේ පාගමනේදී උන්වහන්සේ සැබෑ බුදු දහම සහ සාමය පිළිබඳ පණිවිඩය ශ්‍රීලාංකික ජනතාව වෙත රැගෙන යෑමට උත්සාහ කළහ. “ඒහිපස්සිකෝ” සාම පාගමන පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යයන්හි ප්‍රධාන ශිර්ෂ පාඨ කිහිපයක් පහත දැක්වෙයි.
//As Walk for Peace begins in Sri Lanka, activists call for animal rights//
//US-based Buddhist monks bring peace walk to Sri Lanka//
//Buddhist Monks Undertake Week-long Walk for Peace Across Sri Lanka//
//Monks and a stray dog turn a Sri Lankan journey into a global symbol of peace//
//Monk ends barefoot Sri Lanka trek with a dog and plea for peace//
තම ප්‍රදේශයට පිටතින් සුනඛයෙක් පැමිණෙනවිට වඩාත්ම කලබලයට පත්වන්නේ වැයික්කියේ බල්ලෝ ය. ඔවුහු පිටතින් පැමිණෙන එකා මරාගෙන කෑමට සැරසෙති. ඇමරිකාවේ සිටි “ආලෝකා” ලංකාවට පැමිණෙන විට වියරු වැටුණේ රාජපක්ෂ නිකායේ වනචාරී ගණින්නාන්සේලා වන බලංගොඩ කස්සප, ගලගොඩඅත්තේ නානසාර වැනි චරිතය. “ආලෝකා” පැමිණීමෙන් අපේ බල්ලන්ට තර්ජනයක් එල්ල වන බව ඔවුහු පෙන්වා දුන්හ. පඤ්ඤාකර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත “ඒහිපස්සිකෝ” සාම පාගමනට ද මේ රාජපක්ෂ නිකායේ වනචාරී ගණින්නාන්සේලා මඩ, අවලාද සහ අභූත චෝදනා එල්ල කළහ. ගලගොඩඅත්තේ නානසාර සාම ගමන් පලස්තීනයේ පවත්වන ලෙසට තර්ජනය කළහ. බලංගොඩ කස්සප සාම ගමන උතුරු නැගෙනහිර ඇතුලත් නොවීම ගැන අවලාද කීවේ, සුපුරුදු සිංහල බෞද්ධ ජාතිවාදය වපුරවමිනි. බල්ලන් සමඟ පා ගමන් යෑම අකැප බව කීය. බල්ලන්ට සිවුරු පොරවන බවට අභූත චෝදනා කළහ. පා ගමනට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම ගැන මාලිමා ආණ්ඩුව විවේචනය කළේ ය. “ඒහිපස්සිකෝ” සාම පා ගමන ආරම්භවීමට පෙර එය අවතක්සේරු කිරීමට කඩාකප්පල් කිරීමට මේ ගණින්නාන්සේලා නොකළදෙයක් නැත.
මොවුන්ට “සාමය” යන වචනයම ඇලජික්ය. රාජපක්ෂ නිකායේ වනචාරී ගණින්නාන්සේලා පතුරවන්නේ වෛරයයි. ජාතිවාදය, වර්ගවාදය, ආගම්වාදය පැතිරවීම ඔවුන්ගේ අරමුණ සහ ඉලක්කයයි. ඔවුන්ගේ පැවැත්ම ඇත්තේ වෛරය පැතිරීම මතය. එබැවින් සාමය, කරුණාව, මෛත්‍රීය සහ අවිහිංසාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පඤ්ඤාකර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති “ඒහිපස්සිකෝ” සාම පා ගමන, රාජපක්ෂ නිකායේ වනචාරී ගණින්නාන්සේලාට ඇලජික්වීම පුදුමයට කරුණක් නොවෙයි. පඤ්ඤාකර හිමියන්ගේ සහ රාජපක්ෂ නිකායේ වනචාරී ගණින්නාන්සේලාගේ මුහුණු දකිනවිට මේ වෙනස අපූරුවට ප්‍රදර්ශනයවේ. පඤ්ඤාකර හිමියන්ගේ මුහුණේ ඇත්තේ කරුණාව, මෛත්‍රීය සහ සංසුන් බවයි. බලංගොඩ කස්සප, ගලගොඩඅත්තේ නානසාර, මුරුත්තෙට්ටුවේ ආනන්ද, අක්මීමන දයාරත්න, මිහින්තලේ වනචාරියා, සමන්ත භද්‍ර, ඇතුළු රාජපක්ෂ නිකායේ වනචාරී ගණින්නාන්සේලාගේ මුහුණෙන් ප්‍රදර්ශනයවන්නේ වෛරය, කෝපය, අසහනය, සහ මානසික වියරුවයි. පඤ්ඤාකර හිමියන්ගේ සහ රාජපක්ෂ නිකායේ වනචාරී ගණින්නාන්සේලාගේ මුවින් පිටවන වදන්වලින් ද මේ වෙනස අපූරුවට ප්‍රදර්ශනය වෙයි. සැබෑ බෞද්ධ පුත්‍රයන් කවුරු ද? වනචාරී ගණින්නාන්සේලා කවුරු ද? යන්න එමගින් පැහැදිලිවෙයි. මෙරට ජනතාවගෙන් අතිබහුතරය රාජපක්ෂ නිකායේ වනචාරී ගණින්නාන්සේලා ප්‍රතික්ෂේප කර තිබෙන බව රහසක් නොවෙයි. එවැනි තත්ත්වයක් යටතේ පඤ්ඤාකර හිමියන්ගේ සාම පා ගමනට ලැබෙන ජනතා ආශීර්වාදය සහ ආදරය ඔවුන්ගේ මේ වියරු හැසිරීමට බලපෑ ප්‍රධාන හේතුවයි.
“ඒහිපස්සිකෝ” සාම පාගමන, කඩාකප්පල් කිරීමට රාජපක්ෂ නිකායේ වනචාරී ගණින්නාන්සේලාගත් උත්සාහය සාර්ථක වූයේ නැත. ඔවුන්ගේ අවලාද, මඩ, අභූත චෝදනා නොසළකා හැරි මෙරට ජනතාව අසීමිත භක්තියෙන්, ගෞරවයෙන් සහ ආදරයෙන් පඤ්ඤාකර හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා සහ “ආලෝකා” පිලිගත්හ. ඒහිපස්සිකෝ” සාම පාගමන ගමන්ගත් මාර්ගය දෙපස දහස් ගණන් ජනතාව රැස්ව සිටියහ. දිට්ඨධම්මවේදනීය කර්මයක් සේ “ඒහිපස්සිකෝ” සාම පාගමන ගමන්කරමින් තිබූ අවස්ථාවක රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් " කුෂ්" සහ"හෑෂ් " මත්ද්‍රව්‍ය තොගයක් සමග රාජපක්ෂ නිකායේ වනචාරී ගණින්නාන්සේලා විසිදෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනිණි. පඤ්ඤාකර හිමියන්ගේ සහභාගීත්වයෙන් පැවති “ඒහිපස්සිකෝ” සාම පාගමනට මඩ ගසමින් එය කඩාකප්පල් කිරීමට උත්සාහ කරමින් සිටි බලංගොඩ කස්සප, ගලගොඩඅත්තේ නානසාර ඇතුළු රාජපක්ෂ නිකායේ වනචාරී ගණින්නාන්සේලාට කුඩු ජාවාරමට අත්අඩංගුවට ගැනුණු තම සගයන් බේරා ගැනීමට වහාම ඉදිරිපත්වීමට සිදු වූහ.
රාජපක්ෂ නිකායේ වනචාරී ගණින්නාන්සේලා පිරිසක් කාලයක් පුරා කරගෙන ගිය මේ මත්ද්‍රව්‍ය ජාවාරම සාධාරණය කිරීම සඳහා විවිධ කුමන්ත්‍රණ න්‍යාය සමාජ ගත කිරීමට බලංගොඩ කස්සප, ගලගොඩඅත්තේ නානසාර, උලපනේ සුමංගල (අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති) ඇතුළු රාජපක්ෂ නිකායේ සාමාජිකයන්ට දැන් සිදුව තිබේ. ඔවුහු එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගැනීමට සැරසෙති. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූ ගණින්නාන්සේලා සහ බලංගොඩ කස්සප, ගලගොඩඅත්තේ නානසාර, උලපනේ සුමංගල, සමන්ත බද්‍ර ඇතුළු වනචාරීන් එකම සංඝ පාතාලයේ සාමාජිකයෝ වෙති. එබැවින් ඔවුහු තම සහෝදර ගණින්නාන්සේලා පිරිස නිදහස් කරන ලෙසට ආණ්ඩුවට සෘජු සහ වක්‍ර ලෙස බලපෑම් කරමින් සිටිති. ඒ අතර මේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ගණින්නාන්සේලා රාජපක්ෂ කඳවුරේ දේශපාලන විරුද්ධවාදීන් විසින් මෙහෙයවා ඇති බවට වන දේශපාලන අවලාද, මඩ ප්‍රහාරයක් ඔවුහු එල්ල කරති. පෙරටුගාමී පක්ෂය, ජවිපෙ, ඇතුළු වාමාංශිකයන් නිරාගමික ලිබරල්වාදීන් මෙයට සම්බන්ධ බව කියා සිටිති. තම සංඝ පාතාල සාමාජිකයන් නිදහස් කර ගන්නා අතරේ එහි වරද මාලිමා ආණ්ඩුව ඇතුළු තම දේශපාලන විරුද්ධවාදීන් මත පැටවීමට ඔවුහු උත්සාහ ගනිති.
රාජපක්ෂ නිකායේ වනචාරී ගණින්නාන්සේලා මේ මත්ද්‍රව්‍ය ජාවාරම කාලයක් පුරා සිදු කරමින් පැවැති වැඩපිළිවෙළක් බව ආරක්ෂක අංශ දැනට තොරතුරු හෙළි කරගෙන තිබේ. මෙයට පෙර වතාවන්හිදීත් මේ ආකාරයෙන් තායිලන්තයේ සිට හොර රහසේ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට මේ ගණින්නාන්සේලා කණ්ඩායමේ ප්‍රධානීන් කටයුතු කර තිබේ. ඉදිරි මාසයේ ද මෙවැනිම තවත් තායිලන්ත සංචාරයක් සංවිධානය කර ඇත. එබැවින් මේ ගණින්නාන්සේලා මේවා පුරුදුවන්නට කරන දෑ නොවන බව පැහැදිලිය. මේ කණ්ඩායම මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ආර්ථිකය සමඟ ගැටගැසුනු පිරිසකි. මේ ගණින්නාන්සේලා තායිලන්තයේ ගණිකා නිවාසවල ලබාගත් කම් සැප ප්‍රදර්ශනය වන ඡායාරූප, වීඩියෝ දර්ශන මේ දිනවල සමාජ මාධ්‍යයේ දැකිය හැක. අත්අඩංගුවට ගත් විසිදෙදෙනාගෙන් දහනමදෙනෙකුගේ රුධිරයේ මත්ද්‍රව්‍ය අඩංගුව තිබූ බව අධිකරණ වෛද්‍ය නිළධාරියා අධිකරණයට දැනුම් දී තිබේ.
මේ අතර තායිලන්ත සංචාරය සංවිධානය කළ අමිතානන්ද නම් ගණින්නාන්සේ ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ සැඟව සිටිය දී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අවස්ථාවේ දී අමිතානන්ද ගණින්නාන්සේ ද රුධිර පරීක්ෂාවකට යොමු කර ඇත. එහි ප්‍රතිඵල අනුව අත්අඩංගුවට පත්වන මෙහොතේදීත් අමිතානන්ද ද මත්ද්‍රව්‍ය පාවිච්චි කර සිටි බව හෙළිවී තිබේ. අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔහු පැවසූවේ මේ සියල්ල තමාගේ නොදැනුවත්වකමින් සිදුවූ දෑ බවයි. දැන් අමිතානන්ද බබා ය! මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට විසිදෙදෙනා ද බබාලා ය! ඔවුන්ගේ අපාය සහයක මිතුරන් වන සංඝ පාතාලයේ වනචාරී ගණින්නාන්සේලාට අනුව අමිතානන්ද ඇතුළු පිරිස තොත්ත බබාලා ය! එබැවින් ආණ්ඩුව සහ මහනායක හිමිවරු මැදිහත් වී ඔවුන් වහාම නිදහස් කළ යුතුය.
බෞද්ධ චීවරයට මුවා වී රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් ගෙන එමින් සිටිය දී අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධයෙන් මහා නායක හිමිවරු පසුගිය 26 වන ඉරිදා නිවේදනයක් නිකුත් කළහ. සාසන විරෝධී භික්ෂු ප්‍රතිරූපකයින් පිළිබඳව සොයා බලා සාසනයෙන් නෙරපා හැරීමට කටයුතු කළ යුතු බව මහා නායක හිමිවරු එම නිවේදනයෙන් අවධාරණය කළහ. එයට අමතරව අදාළ පොලිස් පරීක්ෂන සහ අධිකරණ ක්‍රියාමාර්ග ඉක්මන් කරන ලෙසට ද මහා නායක හිමිවරු රජයෙන් ඉල්ලීමක් කළහ. මේ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අනුනායක හිමිවරු, ජනාධිපතිවරයා, පොලීසිය සහ අනෙකුත් ආරක්ෂක අංශ අතර සාකච්ඡාවක් පසුගිය 28 වන අඟහරුවාදා පැවැත්විණි. එහි දී ප්‍රධාන නිකාය තුනේ අනුනායක හිමිවරු ජනාධිපතිවරයාට දන්වා සිටියේ මේ සිද්ධිය සම්බන්ධයෙන් සමස්ත භික්ෂු සංස්ථාවේ මතය මහනාහිමිවරුන්ගේ නිවේදනයේ අන්තර්ගතව ඇති බැවින් ඒ අනුව රජය ක්‍රියාත්මක විය යුතු බවයි. ඒ අනුව බලංගොඩ කස්සප, උලපනේ සුමංගලගල, ගලගොඩඅත්තේ නානසාර ඇතුළු රාජපක්ෂ නිකායේ වනචාරී ගණින්නාන්සේලා කුඩු ජාවාරමට අත්අඩංගුවට ගැනුණු තම සංඝ පාතාල සගයන් බේරා ගැනීමට සිදු කරන ලද ප්‍රසිද්ධ මැදිහත්වීම්හි වලංගුභාවය අහෝසිවී ඇත.
බලංගොඩ කස්සප, ගලගොඩඅත්තේ නානසාර, සමන්ත භද්‍ර, අමිතානන්ද සහ “තායිලන්ත නඩය” ඇතුළු සංඝ පාතාලයේ වල් පැල රාශියක් මහා රුක්ෂ බවට වර්ධනයවීමට ඉඩ දුන්නේ මහනායක හිමිවරු ය. අතින් කඩා දමා විනාශ කිරීමට හැකිව තිබූ වල් පැල මහා රුක්ෂ බවට පත්ව බෞද්ධාගම මෙන්ම රට විනාශ කරන ගණින්නාන්සේලා බිහි කළේ මහනායක හිමිවරු ය. බලංගොඩ කස්සප, ගලගොඩඅත්තේ නානසාර, සමන්ත භද්‍ර ඇතුළු කහකඩයන් මැරයන් සේ හැසිරෙන විට ඔවුන්ව සාසනයෙන් ඉවත් කළේ නැත. ගලලොඩඅත්තේ නානසාර අධිකරණයට අපහාසකර සිරදඬුවම් නියම විය. මෛත්‍රීපාල සිරිසේන නැමැති දේශපාලන පාදඩයා ජනාධිපති සමාව ලබානොදෙන්නට නානසාර තවම සිටින්නේ කූරු ගණන් කරමිනි. ජනාධිපති සමාව ලබා බන්ධනාගාරයෙන් නිදහස් වූ නානසාර සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට මහනාහිමිවරු අසමත් වූහ. එයින් පන්නරය ලද ගලගොඩඅත්තේ නානසාර යළිත් සිය සුපුරුදු මැර චරිතය රඟදක්වමින් සිටියි.
මුනින්ද්‍රගේ දිලූක කසුන් කුලරත්න යන ගිහි නමින් සිටි බලංගොඩ කස්සප වසර 2009 සැප්තැම්බර් 7 වන දා රාත්‍රියේ ඔහුගේ පියාට පහර දී හිසට බරපතළ තුවාල සිදු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් පොලිසිය මූලික පරීක්ෂණ පවත්වා අංක 29844 යටතේ බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබිණි. එම නඩුව විභාග කිරීමෙන් පසුව විත්තිකරුට වසර දහයකට අත්හිටවූ මාස හයක සිර දඬුවමක් සහ රුපියල් 1,500ක දඩයක් ද නියම කර තිබිණි. මේ අපරාධකරුවා අද බලංගොඩ කස්සප නම් ගණින්නාන්සේ ය. මෙවැනි නිදසුන් රාශියක් ඉදිරිපත් කළ හැකිය. තම පියා ඝාතනය කිරීමට උත්සාහ කළ කස්සප අද රට වටේ ගැටුම් ඇති කරමින් රට ගිනි තැබීමට උත්සාහ කිරීම පිළිබඳ පුදුමවිය යුතු නැත. මෙවැනි අපරාධකරුවන් බෞද්ධ චීවරය පොරවාගෙන සිටීම පිළිබඳ වගකීම මහනායක හිමිවරු භාර ගත යුතුව ඇත.
“සාසන විරෝධී භික්ෂු ප්‍රතිරූපකයින් පිළිබඳව සොයා බලා සාසනයෙන් නෙරපා හැරීමට කටයුතු කළ යුතු බව” සිය නිවේදනයේ සඳහන් කරන මහනාහිමිවරු ඒ සඳහා නව නීති සම්පාදනය කිරීමට රජයේ සහය පතති. මහනායක හිමිවරුනි, බලංගොඩ කස්සප, ගලගොඩඅත්තේ නානසාර, සමන්ත භද්‍ර ඇතුළු බුද්ධ චීවරය දරාගෙන සිටින සංඝ පාතාලයේ මැරයන්, අපරාධකරුවන්, වංචනිකයන්, මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්, බේබද්දන්, ළමා අපචාරකරුවන්, ස්ත්‍රී දූෂකයන් ඇතුළු සමාජ අපචාරයන්ට සම්බන්ධ ගණින්නාන්සේලා සාසනයෙන් ඉවත් කිරීමට හැකි නීති රාමුවක් ආචාර්ය විජේදාස රාජපක්ෂ බුද්ධ ශාසන ඇමති වශයෙන් සිටි කාලයේ දී කෙටුම්පත් කළේ ය. එම නීති සම්පාදනය කළේ නිකාය තුනේ මහනාහිමිවරු සමඟ මාස ගණනක් පුරා පැවති සාකච්ඡා මත පදනම් වූ එකඟතා අනුවය. එහෙත් අවසාන මොහොතේ එක් ප්‍රධාන නිකායක මහනායක හිමිනමක් එම නීති කෙටුම්පතට විරුද්ධවීම හේතුවෙන් එම උත්සාහය අසාර්ථක විය. දැන් භික්ෂු සංස්ථාව පාලනය කිරීමට නීති සම්පාදනය කළ යුතු බවට බොරුවට ඤාව් ඤාව් ගෑමෙන් පලක් නැත. ඒ සඳහා මහනාහිමිවරුන්ට සැබෑ උවමනාවක් තිබිය යුතුය.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු වාර්තාවන්ට අනුව වසර 2024 වන විට එම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබූ පන්සල් සංඛ්‍යාව 12,235 කි. ඒවායේ බෞද්ධ භික්ෂුහු 42,122ක් වැඩ වාසය කළහ. වසර 2024 වන විට අපේ රටේ සමස්ත ජනගහනය මිලියන 22ක් බවට ඇස්තමේන්තු කර තිබිණි. ඒ අනුව සමස්ත ජනගහනයෙන් මෙරට සිටින භික්ෂු සංස්ථාව සියයට 0.002 කි. එවැනි කුඩා කණ්ඩායමක් පාලනය කර ගැනීමට අස්ගිරි, මල්වතු මහනායක අනුනායක ඇතුළු නායක හිමිවරුන්ට නොහැකි නම් එය භික්ෂු සංස්ථාවේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකි. ජනාධිපති ජූනියස් රිචඩ් ජයවර්ධනගේ රුවන් වැකිය යළි මතක් කිරීමට කැමැත්තෙමු.
“ඔබ වහන්සේලා බුද්ධ සාසනය බලාගන්න, මම රාජ්‍යය මෙහෙයවන්නම්” යැයි ජනාධිපති ජයවර්ධන මහ නායක හිමිවරුන්ට එදා ලබාදුන් අවවාදය සර්ව කාලීන බව පසුගිය දා අත්අඩංගුවට ගත් රුපියල් කෝටි එකසිය දහයකට අධික වාර්තාගත මත්ද්‍රව්‍ය ප්‍රමාණයෙන් යළි සනාථවෙයි.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33
---------------------------
by (2026-04-30 01:17:36)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි