~

“ජන රජයට - ජන බලයක්” - ලෝක වාර්තාවක් තැබූ 2026 මැයි දිනය..! (Video)

-චන්ද්‍රප්‍රදීප් ලියයි

(ලංකා ඊ නිව්ස් -2026.මැයි.04, ප.ව.2.30) 2026 ලෝක කම්කරු දිනය හෙවත් 2026 මැයි දිනය අවසන් විය. එය ශ්‍රී ලංකාවේ දී අවසන් වූයේ ලෝක වාර්තාවක් තබමිනි. එනම් ලෝකයේ එක පක්ෂයක් විසින් මැයි දිනයක දී මැයි රැලි 21 ක් ස්ථාන 21 ක දී පැවැත්වීමෙන් තැබූ ලෝක වාර්තාවයි. එම ලෝක වාර්තාව තැබුවේ වසර 2500 ක ලිඛිත ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ පළමුවරට ජනතාව විසින් බලය ලබා ගත් ජනතා ආණ්ඩුව විසින් ය. 'ජාතික ජන බලවේගය' නමින් එය නම් වූව ද එය ශ්‍රී ලාංකික අවවරප්‍රසාදිත සාමාන්‍ය හුදී ජනතාවගේ ජන බලය යි. ජනතා ආණ්ඩුව නිවැරදිව සටන් පාඨය තෝරා ගනිමින් මෙවර මැයි දිනයේ තේමා පාඨය ලෙස නම් කර තිබුණේ “ජන රජයට – ජන බලයක්” යනුවෙනි. කී ලෙසම එය ප්‍රායෝගිකව සාර්ථකව ක්‍රියාත්මක කෙරුණේ රට පුරා දිස්ත්‍රික්ක 21 ක් ආවරණය වන පරිදි පැවැත්වූ මැයි රැළි 21 ම ජනතාවගේ හිස් ගෙඩි වලින් පිරී උතුරා යමිනි.

රාජ්‍ය බලය තිබුනා හෝ නැතිවා හෝ එවැන්නක් සාර්ථකව සංවිධානය කිරීම ඕනෑම දේශපාලන පක්ෂයකට සුළු පටු අභියෝගයක් නොවේ. නමුත් ජාතික ජන බලවේගය එම අභියෝගය සාර්ථකව ඉටුකර තිබිණ. එයම වාර්තාවකි. 

නුවරඑළිය වැනි මලයගම් ජනතාව වැඩිපුර වෙසෙන දිස්ත්‍රික්කයේ උදෑසන පැවැති 'ජන රජයේ ජන බලය' පෙන්වූ රැළිය ජනතාවගෙන් පිරී ඉතිරී ගියේ තොණ්ඩලාට දිගාලාට යලි මලයගම් ජනතාව අතර දේශපාලන ඉඩක් නැති බව මොනවට පසක් කරමිනි. 

ජාජබ නායකයෝ මැයි රැළි 21 කට වෙන වෙනම නායකත්වය දෙමින් සහභාගී වූහ. රැළි 21 ම ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් තිබුනේ 'ආණ්ඩුවට ඡන්දය දුන් කෙනෙක් දැන් හොයාගන්නවත් නැහැ'යි සුන් බුන් විපක්ෂය නැගූ අවලාද බලු ගුදයේ තවරමිනි. ජනතාවගේ වත්මන් මනරංජනීය නායකයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක නුවරඑළිය රැළියත් කොළඹ මහරගම රැළියත් ඇමැතුවේ දැවැන්ත ජනතා සහභාගීත්වයකිනි. මේ ආණ්ඩුව ජනතාව විසින් හදපු ආණ්ඩුවක් බවත් ඒ වගේම ජනතාවගේ විශ්වාසය රකින ආණ්ඩුවක් බවත් එහිදී ජනාධිපති අනුර අවධාරණය කෙළේ ඊට උදාහරණ ද දක්වමිනි.

ජනාධිපති අනුර පැවැත්වූ සම්පූර්ණ කතාව...

“ජන රජයට - ජන බලයක්” තේමාව යටතේ මහරගමදී පැවති ජන රැළියේ දී ජනාධිපති අනුර පැවැත්වූ සම්පූර්ණ කතාව පහත පරිදි ය.

“අද අපි සමරන්නේ මේ රටේ වැඩකරන ජනතාවගේ දිනය. මේ මැයි දිනය විශේෂ වන්නේ වැඩ කරන ජනතාවගේ දිනය සමරන්නේ වැඩකරන ජනතාවගේ ආණ්ඩුවක් යටතේ වීමයි. ඒ විතරක් නෙවෙයි, මේ ආණ්ඩුව යටතේ ජාතික ජන බලවේගය රට පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සහභාගිත්වයෙන් මැයි දිනය සමරනවා. රට පුරා මැයි රැලි 21ක ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ජාතික ජනබලවේගය සමග එක්ව මැයි දිනය සමරනවා.

අපි බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් දීර්ඝකාලීන සටනක නිරත වුණා. බලය අත්පත් කර ගන්න සැලසුම් සකස් කර වැඩ කරමින් සිටියා. මේ වන විට අපි බලය ලබාගෙන වසර එක හමාරක් ගත වෙනවා. අපි අපේ සියලු තීන්දු තීරණවලින්, ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම්වලින් ඔප්පු කරමින් සිටිනවා මේ ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ මේ රටේ පොදු ජනතාවගේ ආණ්ඩුවක් කියලා.

පොදු ජනතාවගේ ආණ්ඩුවක්..

අපි පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා. එය ලංකා ඉතිහාසයේ මූලික වැටුපට වැඩිකරනලද විශාලම වැඩිවීමයි. ඒ වගේම අපි පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ අවම වැටුප රුපියල් 17,500සිට 30,000 දක්වා වැඩි කළා. අපි වතුකරයේ වැඩ කරන කම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් 1750 දක්වා වැඩි කළා. පොහොර සහනාධාරය රුපියල් 15,000සිට 30,000 දක්වා වැඩි කළා. ඒ වගේම අපි අපේ රටේ අර්බුදයක් මතු වූ සෑම අවස්ථාවකම පොදු ජනතාව බලා ගැනීම වෙනුවෙන් තීරණ ගත්තා.

දිට්වා සුළි කුණාටුව ලංකා ඉතිහාසයේ සුනාමියට වඩා  බලපෑමක් ඇති කළා. ගොවි බිම් විනාශ වුණා. නිවාස 6,000කට වැඩි ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වුණා. නිවාස 15,000ක් පමණ නැවත පදිංචිවිය නොහැකි තත්ත්වයට පත් වුණා. ලංකාවේ වී වගාව හානි වුණානම් එතෙක් ගෙව්වේ රුපියල් 40,000යි. අපි එය  රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට කටයුතු කළා. බඩඉරිඟු, රට කජු ආදී බෝග සඳහාද වන්දි ලබා දුන්නා. ධීවර ජනතාවගේ බෝට්ටු ගහගෙන ගියා. අපි විනාශ වූ හැම බෝට්ටුවකටම බෝට්ටුවක් ලබා දෙන්න තීරණයක් ගත්තා. විනාශ වූ දැල් ආම්පන්න වෙනුවට දැල් ආම්පන්න ලබා දීමට තීරණය කළා. නිවාස 20,000ක් එක්කෝ මුළුමනින්ම විනාශ වී තිබෙනවා, නැත්නම් යාමට නොහැකිවී තිබෙනවා.

ඒ සියලුදෙනාට අලුතින් නිවසක් ඉදිකර ගැනීමට ලක්ෂ 50 බැගින් සහනයක් ලබාදීමට තීරණය කළා. නිවසට කුඩා හෝ හානියක් සිදුව තිබෙනවානම් ලක්ෂ 05ක දීමනාවක් ලබාදීමට තීරණය කළා. රුපියල් 25,000ක් ආරම්භයේදී ලබා දුන්නා. ඒ වගේම නිවසට යන්න තව රුපියල් 50,000ක් ලබා දුන්නා. පාසල් දරුවන්ගේ පොත්පත් ගහගෙන ගියා. සෑම දරුවෙකුටම රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමට අපි තිරණය කළා. අපි වැඩකරන පොදු ජනතාවගේ අණ්ඩුවක්.

ලංකාවේ ව්‍යසනයකදී ආණ්ඩුවක් ලෙස වැඩියෙන්ම වෙන් කරන මුදල ලෙස දිට්වාවලින් විනාශ වූ ජනතාවගේ ජන ජීවිතය යළි නඟා සිටුවීම වෙනුවෙන් අපි රුපියල් කෝටි 50,000ක් වෙන් කළා. ඒ මුදල් අච්චු ගහන්නේ නැතුව, සතයක් ණයට ගන්නේ නැතිව.

මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ..

ඒ විතරක් නෙවෙයි මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ ගැටලු රැසක් පැන නැගී තිබෙනවා. විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ විශාල අර්බුදයක් මතුවී තිබෙනවා. ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යමින් තිබෙනවා. අද ඩීසල් ලීටරය 382ක් වෙනවා. ඩීසල් ලීටරයක් 382කට දෙන විටඅලෙවි කරන සෑම ඩීසල් ලීටරයක් වෙනුවෙන්මආණ්ඩුව රුපියල් 100ක් දෙනවා. ඒ කියන්නේ ඔබ ගහන තෙල් ලීටරයක් රුපියල් 482ක් වෙනවා. හැබැයි, ගහන්නේ 382කට. හැම ලීටරයක් වෙනුවෙන්ම රුපියල් 100ක් ආණ්ඩුවෙන් දෙනවා. අපි ජනතාව බලාගන්න ආණ්ඩුවක්.

තවමත් තෙල් මිල ඉහළ යනවා. අපි රුපියල් කෝටි 6,000ක් වෙන් කර තිබෙනවා මේ රටේ පොදු ජනතාවට අවශ්‍ය ඉන්ධන සහනාධාරය ලබාදීම වෙනුවෙන්. හැබැයි, තවත් මිල ඉහළ යනවා. ඇතැම් විට කුඩා ප්‍රමාණයන්ගෙන් මිල ඉහළ දැමීමට සිදු වේවි. හැබැයි උපරිම ලෙස අපි සහනාධාර ලබාදීමට කටයුතු කරනවා.

බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදයක් තිබෙනවා. ගල් අඟුරු මිල ඉහළ ගිහින් තිබෙනවා. ඉන්ධන මිල ඉහළ ගිහින් තිබෙනවා. ජලාශවල වතුර අඩු වෙලා තිබෙනවා. ඒ නිසා යම් මිල ඉහළ දැමීමක් කිරීමට සිදුවී තිබෙනවා. හැබැයි අපි එහිදී තීරණයක් ගෙන තිබෙනවා විදුලි පාරිභෝගිකයන් 96%කට කිසිදු මිල වැඩිවීමකින් තොරව, ඒ සියල්ල ආණ්ඩුවේ සහනාධාරයක් ලෙස දරා ගැනීමට. මිල වැඩිවීමක් වුණොත් එය 96%කට බලපාන්නේ නැහැ. අපි රුපියල් කෝටි 1500ක් ඒ වෙනුවෙන් වැය කිරීමට තිරණය කර තිබෙනවා. අපි හැම තීන්දුවක්ම ගන්නේ ජනතාව වෙනුවෙන්.

ජනතාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක් නම්...

අපි ප්‍රධාන වර්ගයේ තීන්දු දෙකක් ගත්තා. එකක් ඇමතිවරුන්ගේ, මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කපන තීන්දු.අද මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසියි. විශ්‍රාම යන ජනාධිපතිවරු, ජනාධිපතිවරුන්ගේ බිරින්දෑවරු ආණ්ඩුවේ බංගලාවල හිටියා. අද තමන්ගේ ගෙයක් හොයාගෙන යන්න වෙලා තිබෙනවා. වාහන සියල්ල ආණ්ඩුවට අරගෙන තිබෙනවා. අපි දේශපාලන අධිකාරියේ වරප්‍රසාද කප්පාදු කරන්න එක පැත්තකින් තීන්දු අරගෙන තිබෙනවා.

අනිත් පැත්තෙන් වැටුප් වැඩි කරන, අස්වැසුම වැඩි කරන, රාජ්‍ය සේවකයන්ට නැවත දේපොළ ණය ලබා දෙන, ආපදා ණය වැඩි කරන මේ වගේ තීන්දු අරන් තිබෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව ගෙන්නා සෑම තීන්දුවක්ම මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් ගනු ලබන තීන්දු. එවැනි ආණ්ඩුවක් හැදිලා තිබෙන්නේ ජාතික ජන බලවේගය යටතේ පමණයි. මේ ආණ්ඩුව හැදුවේ මේ රටේ ජනතාව. මා ජනාධිපති වෙන්නේ මගේ පවුල් බලයක ප්‍රතිඵලයක් ලෙස නොවෙයි. අපේ ආණ්ඩුව හැදෙන්නේ තමන්ගේ සීයා, තාත්තා පරම්පරාවෙන් ආ ඥාතිකම් මත නොවෙයි. අපේ ආණ්ඩුව හැදුණේ ජනතා විශ්වාසය මතයි. මේ ආණ්ඩුව ජනතාව හදපු ආණ්ඩුවක්. ජනතාවගේ ආණ්ඩුවක්. ඒ වගේම මේ ආණ්ඩුව ජනතාවගේ විශ්වාසය රකින ආණ්ඩුවක්.පොඩි පොඩි කැළඹිලි තිබෙනවා. හැබැයි මේ රටේ පොදු ජනතාව විශ්වාසයෙන් හිණිපෙත්තටම ගිහින් රකින ජනතාවගේ ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවයි. මේක ජනතාව රකින ආණ්ඩුව. ඒ වගේම මෙය ජනතාව වෙනුවෙන් ගොඩනැගුණු ආණ්ඩුවයි.

මෙතෙක් කාලයක් ආණ්ඩු ගොඩනැගුණේ තමන් වෙනුවෙන්. දරුවන් වෙනුවෙන්, ඔවුන්ගේ ඥාතීන් වෙනුවෙන්. මැර යහළුවන් වෙනුවෙන්. තාත්තා ජනාධිපති වෙද්දී, පඩිපෙළ වගේ පුතා, මුණුබුරා ඉන්නවා ඊළඟ ජනාධිපති වෙන්න. ආණ්ඩු හැදුවේ පවුල් වෙනුවෙන්. පළාතේ මන්ත්‍රී ඇමති වෙද්දී වටේ ඉන්න මැර කණ්ඩායම් එකතු වෙනවා. දූෂිතයන් වෙනුවෙන් ආණ්ඩු හැදුවේ. හැබැයි පළමු වතාවට මේ රටේ ජනතාව ආණ්ඩුවක් හදලා තිබෙනවා ජනතාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක්.

අපිට වැඩ ගොඩක් කරන්න තියෙනවා. මේ රටේ ජනතාව ආර්ථික සහ සමාජ දේහයේ විශාල පරිවර්තනයක් අපේක්ෂා කළා. එහි වැදගත්ම ක්ෂේත්‍රය වන්නේ ආර්ථිකයයි. ශක්තිමත් ආර්ථිකයක් අවශ්‍යයි. අපි දන්නවා මෙහි සිටින සියලුදෙනාම මීට වසර කිහිපයකට පෙර ආර්ථික බිඳ වැටීමේ මහා සාපයේ වේදනාවට මුහුණ දීපු ජනතාවක්. ආර්ථිකයක් කඩා වැටීම මොනතරම් බියකරුද?  තෙල් ගේන්න ඩොලර් නැති වෙනවා. තෙල් පෝලිම්වල මිනිස්සු මැරෙනවා. විදුලිය නැති වෙනවා. රෝහල්වල බෙහෙත් නැති වෙනවා. ව්‍යාපාර කඩාවැටීමට පටන් ගත්තා. බැංකුවල දේපොළ සින්න වෙන්න පටන් ගත්තා. රැකියා නැතිව යන්න පටන් ගත්තා. කර්මාන්තශාලා වැහෙන්න පටන් ගත්තා. ආර්ථිකය කඩා වැටුණු විට හැකියාව, දක්ෂතාව තියෙන වෘත්තීයවේදීන් මේ රටේ ඉදලා වැඩක් නැහැ කියලා කල්පනා කළා. රට දාලා යන්න පටන් ගත්තා.

ඒ නිසා අප හමුවේ තිබූ පළමු අභියෝගය වුණේ මේ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ශක්තිමත් කිරීමයි. අපි ඔබට කියන්න කැමතියි 2025 කියලා කියන්නේ ලංකාවේ සියලු ආර්ථික දත්තවලින් ඉතා හොඳ, ප්‍රශස්ත ආර්ථික දත්ත වාර්තා කළ වසරයි. ආර්ථික අර්බුද කාලයේ ආණ්ඩුවේ අදායම 8%ට බැස්සා. භාණ්ඩාගාරයට සල්ලි නැති වුණා. මහා භාණ්ඩාගාරයේ තිබූ රත්තරන් තොග ගණන් විකිණුවා. සල්ලි නැතිව සල්ලි අච්චු ගහලා බෙදන්න පටන් ගත්තා. 5,000 කොළ වෙළෙඳපොළට එන්න පටන් ගත්තා. භාණ්ඩ නිෂ්පාදනය වන්නේ නැහැ, මුදල් ගලාගෙන එනවා. 78% උද්ධමනය ඉහළ ගියා. බැංකු පොලී අනුපාතය 33%ට ගියා. ආර්ථිකයක් කඩා වැටුණු විට මුළු ආර්ථික දේහය, සමාජ ජීවිතය මුළුමනින්ම ව්‍යසනයට පත් කරනවා. අද අපි රටේ ආර්ථිකය ස්ථාවර කරමින් තිබෙනවා. මෑත ඉතිහාසයේ දශක ගණනාවකට පසුව ආණ්ඩුවේ භාණ්ඩාගාරයට වැඩිම මුදල් ප්‍රමාණය ලැබුණු වසර වන්නේ මේ 2025 වසර. ජාතික  ආදායම, ජාතික නිෂ්පාදනයේ ප්‍රතිඵලයක් ලෙස 16.7%ක් ආවා. අපේ ඉලක්කය තිබුණේ 15.3%යි. ඉලක්කය අභිබවා භාණ්ඩාගාරයට මුදල් එක්රැස් කිරීමට පුළුවන් වුණා.

ආණ්ඩුවේ ආදායම සහ වියදම අතර විශාල පරතරයක් තිබුණා. 2024 අයවැය පරතරය 6.8%යි. මතක තබා ගන්න එක් වතාවක හැර ලංකා ඉතිහාසයේ අඩුම අයවැය හිඟය 2025 වසරේ 2.3%ක් ලෙස වාර්තා කළා. ආණ්ඩුවේ ආදායම වැඩි වී තිබෙනවා. වියදම් කළමනාකරණය කර තිබෙනවා. ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ලංකාවට වැඩියෙන්ම ඩොලර් එවපු අවුරුද්ද 2025 වසර. ඒ වගේම 2025 වසර වැඩියෙන්ම සංචාරකයින් පැමිණි වසරයි.

පරිවර්තනයක් අවශ්‍යයි...

සියලු ආර්ථික දත්තවලින් අපි පරිපුර්ණ වී තිබෙනවා. භාණ්ඩාගාරයේ ධනය අපි එක් රැස් කර තිබෙනවා. අපි බලයට එන විට 2024 වසරට අපිට ප්‍රාග්ධන වියදම් ලෙස වැය කිරීමට හැකි වුණේ  බිලියන 1320ක්. මේ වසරේ බිලියන 1400යි. ලබන වසරේ අපි සැලසුම් කර තිබෙනවා යටිතල පහසුකම් ඇති කිරීම සඳහා ආණ්ඩුවේ ප්‍රාග්ධන වියදම් ලෙස ට්‍රිලියන දෙකක්, බිලියන 2,000ක් වෙන් කිරීමට.

රට තුළ යටිතල පහසුකම් ශක්තිමත් කළ යුතුයි. මේ දුම්රිය මාර්ග දශක ගණනාවක් පැරණි පාරවල්. මෙය නවීකරණය කළයුතුයි. අපි ඒ පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කළා. අපි මේ දුම්රිය සේවාව මුළුමනින්ම නවීකරණය කළයුතුයි. නවීකරණය කරන ලද දුම්රිය මාර්ගයක් සහ විද්‍යුත් දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට අවශ්‍ය වැඩකටයුතු ආරම්භ කරනවා. ඒ සඳහා 2027 ජනවාරි මාසය වන විට ටෙන්ඩර් ප්‍රදානය කර අපේ දුම්රිය සේවාව විද්‍යුත්කරණය කිරීමේ වැඩසටහන ආරම්භ කරනවා.

ඒ වගේ වැටකොළු මැහි වගේ තිබෙන බස් සේවාව අපි වෙනස් කරනවා. අපි දැනටමත් ජනතාවට පහසුවෙන් ගමන් කළ හැකි බස් 200ක් ගෙන ඒම සඳහා සැලසුම් කර තිබෙනවා. බොහෝ දුරට මේ ආගෝස්තු මාසයේ එම බස් ලැබෙනවා. ඒ වගේම අපි අලුතින් බස් සේවාවක් ආරම්භ කරනවා. මෙට්‍රො බස් සමාගම පහසුකම් සහිත, සුවපහසු ඉතා හොඳ ප්‍රවාහන සේවාවක් ලබාදීම සඳහා කැපවී සිටිනවා. අපි අපේ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පරිවර්තනයක් ඇති කරනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

ඒ වගේම අධ්‍යාපනයේ පරිවර්තනයක් අවශ්‍යයි. දීර්ඝ කාලයක් එක තැන පල්වෙන අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපිට තිබෙන්නේ. අපේ පාසල් පද්ධතිය නවීකරණය කළ යුතුයි. අපේ විශ්වවිද්‍යාල පද්ධතිය, වෘත්තීය අධ්‍යාපනය නවීකරණය කරමින් නව පාඨාමාලා ගෙන ආ යුතුයි.

එක දරුවෙක්වත් වසර 13ක අධ්‍යාපනය ලබා ගන්නේ නැතිව එළියට වැටෙන්න දෙන්නේ නැහැ. ඒ වගේම දරුවන්ට මාවත් දෙකක් තිබෙනවා. දැනට ගොඩනගා තිබෙන විශ්වවිද්‍යාල පද්ධතිය  මගින් ඔවුන්ට ඉදිරියට යා හැකියි. අපි තව මාවත් ගණනාවක් විවෘත කරනවා. විශේෂයෙන් වෘත්තීය අධ්‍යාපනය ලබාදීම සඳහා අවශ්‍යවන පහසුකම් සහිත නව වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථාන 50ක් හදන්න අපි සැලසුම් කර තිබෙනවා. ජාත්‍යන්තර තලයේ පිළිගැනීමට ලක්වන නව අධ්‍යාපන පාඨමාලා හදුන්වා දෙනවා. අපේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පළමු වෙනි පන්තියේ දරුවා ඉදිරියට එන්නේ 2032 වසරේදී.

ඒ වගේම අපි ඩිජිටල්කරණය වේගවත් කරනවා. අපි ක්‍රමානුකූලව රටේ මුදල් නෝට්ටු පරිහරණය අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම අපි රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරනවා. අපි එනවිට ජනාධිපති අරමුදලේ මුදල් ලබා ගැනීමට විශාල පෝලිමක් තිබුණා. ජනතාවට ඒ වෙනුවෙන් හත් අට සැරයක් කොළඹ එන්න සිදු වී තිබුණා. අද ජනාධිපති අරමුදලින් ආධාරයක් ලබා ගැනීමට කිසිවෙක් කොළඹ එන්න ඕන නැහැ. හැම කෙනාටම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එම සේවාව ලබා ගන්න පුළුවන් විදියට ඩිජිටල්කරණය කර තිබෙනවා. රජය සමග කරන සියලු ගනුදෙනු නිවසේ සිට කළහැකි අන්දමින් අපි සැලසුම් හදනවා. ඒ නිසා ලංකාවේ ආර්ථිකයටත්, සමාජ ජීවිතයටත් විශාල කාර්යක්ෂමතාවක් ගෙන එන ඩිජිටල් පරිවර්තනය අපි සැලසුම් කර තිබෙනවා.

ප්‍රවාහන සේවයේ, ඩිජිටල්කරණයේ, අධ්‍යාපනයේ පරිවර්තනයක් මේ අයුරින් සිදු කරනවා. ඒ වගේම අපේ ආර්ථිකයේ වැදගත්ම ප්‍රභවය වන්නේ බලශක්තියයි. ජනතාව විශාල මුදලක් විදුලිය වෙනුවෙන් වැය කරනවා. මෙතෙක් විදුලි වියදම අඩු කිරිම සඳහා සැලසුම් තිබුනේ නැහැ. දවල්ට විශාල සූර්ය බලයක් ලැබෙනවා. ඒක ගබඩා කරලා රෑට ගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා සමහර සෝලා පැනල්වලින් ලබාගන්නා විදුලිය දවල් කාලයේදී පමණයි භාවිත කරන්න පුළුවන්. මොකද ගබඩා පහසුකම් නැහැ.  අපේ රටේ වැඩිම විදුලි ඉල්ලුම තිබෙන්නේ රාත්‍රියට. එහෙත් රෑට සූර්යාත් නෑ, සූර්ය බල ශක්තියත් නැහැ. ඒ නිසා අපි එම බලශක්තිය ගබඩා කළ හැකි බැටරි ලබා ගැනීම සඳහා මේ වන විට කටයුතු කර තිබෙනවා. අපි මෙගාවොට් 150ක බැටරිවලට ටෙන්ඩර් කැඳවා ප්‍රදානය කර තිබෙනවා. “ඔවුන් එකඟ වී තිබෙනවා මාස හයක් ඇතුළත ඒවා ලබාදෙන්න. තවත් මෙගාවොට් 400ක බැටරි ලබාගන්න අපි කටයුතු කරමින් ඉන්නවා.  විදුලිබිල අඩු කරන්න පුළුවන්.

විදුලි බිල තුනෙන් එකට අඩු කරනවා..

අපි මැතිවරණයට පෙර කිව්වා විදුලි බිල තුනෙන් එකට අඩු කරනවා කියලා. අපේ පාලන කාලය තුළ අපි ඒක අනිවාර්යයෙන්ම කරනවා.අපි එනවිට මන්නාරම් ප්‍රදේශයේ මෙගාවොට් 400ක සුළං විදුලි බලාගාරයක් එක්තරා සමාගමකට ලබාදෙන්න කටයුතු කර තිබුණා. ඒ විදුලි ඒකකයක් 8.26කට. ඒ කියන්නේ රුපියල් 27කට. එහෙම කරන්න බෑ.

ඊට වඩා සුළං විදුලි නිෂ්පාදන වියදම අඩුයි. ඉන්දියාවත් සුළංවලින් විදුලිය නිෂ්පාදනය කරනවා. අපිත් විදුලිය නිෂ්පාදනය කරනවා සුළංවලින්. එහෙත් ඉන්දියාවේ නිෂ්පාදන වියදම අඩුයි. ඇයි ඒ? යටිමඩි ගැසීම අපේ රටේ වැඩියි.  ඒ නිසා අපි බලයට ආවට පස්සේ කිව්වා ඒකකයක් ඩොලර් ශත පහට වඩා අඩුවෙන් දෙන්න කියලා. ඒ ගණනට බෑ කියලා ඒ සමාගම ගියා. අපි වෙන සමාගමකට දුන්නා. ඒ අය අද අපි ඩොලර් ශත හතරට අඩුවෙන් දෙන්න කැමති වෙලා තිබෙනවා. ඒ කියන්නේ ඒකකයක් රුපියල් 13කට අඩුවෙන් ගන්න අපි සැලසුම් කර තිබෙනවා. මේ පැත්තෙන් එල්.එන්. ජී ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. සූර්ය බලශක්තිය ගබඩා කිරිමට බැටරි ගේනවා.බලශක්තියට විශේෂ කාර්යසාධක බලකායක් ඇති කර තිබෙනවා. අපි ග්‍රීන් හයිඩ්‍රිජන්වලට යන්න ඕන. ඒ සඳහා ලොකු විභවතාවක් තිබෙනවා. මේවා මීට වසර විස්සකට තිහකට පෙර කළ යුතුව තිබුණ දේවල්. එහෙත් කළේ නැහැ. අපි පටන් අරන් තිබෙනවා. බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පරිවර්තනය අපි ඇති කරනවා.

උද්ඝෝෂණ සහ සටන්වල ප්‍රමිතියක් තියාගන්න..

අපි මේ සෑම ක්ෂේත්‍රයකම ඉතා වැදගත් පරිවර්තනයක් ඇති කරනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදය ඉතා හොඳින් සහතික කර තිබෙනවා. 10ක්, 15 ඇවිල්ලා ආණ්ඩුවට ගෙදර යන්න කියලා කෑ ගහනවා. කෑ ගහලා ඒගොල්ලෝ ගෙදර යනවා. කාටවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි උද්ඝෝෂණ සහ සටන්වල ප්‍රමිතියක් තිබෙනවා. මම ඔවුන්ට කිව්වා අගුපිල් ගානේ නම් එන්න එපා. පාර තියෙනවා, ජනාධිපති ලේකම් කාර්යාලය ළඟට එන්න, මුදල් අමාත්‍යාංශය ළඟට එන්න, පාර්ලිමේන්තුව ළඟට එන්න. බලය හොබවන මධ්‍යස්ථාන ළගට ඇවිල්ලා කෑ ගහලා ගෙදර යන්න. ප්‍රශ්නයක් නැහැ. ඒ කුමන්ත්‍රණකාරී කුඩා කණ්ඩායම්වලට අපි ඇහුම්කන් දෙන්නේ නැහැ. අපි වැඩ කරන්නේ මේ රටේ පොදු ජනතාව වෙනුවෙන්.

ඒගොල්ලෝ මෙහෙම කලබල වෙලා තියෙන්නේ ඇයි? ඒකට හේතු තියෙනවා පහුගිය කාලේ දැක්කා කුඩු තොග ගණන් අහුවෙච්ච හැටි. ගුවන්තොටුපළෙන් ආපු විශාලම කුඩු තොගයක් පහුගිය දවස්වල අපි අත්අඩංගුවට ගත්තා. වරායෙන් මත්ද්‍රව්‍ය තොග පිටින් අහුවෙනවා. එතකොට ඒ අය  කලබල වෙවා.

ආයුධ සන්නද්ධව ඉන්න පුළුවන් නීත්‍යානුකූල ආරක්ෂක හමුදාවන්ට සහ පොලිසියට පමණයි. දේශපාලකයින්ට එහෙම කරන්න පුළුවන් කමක් නෑ, පහුගිය දවසක කැස්බෑවෙ කෙනෙක්ආයුධ ළඟ තියාගෙන ඉඳලා අත්අඩංගුවට ගත්තා. එහෙම තියාගෙන ඉන්න හැමෝම අපි අත්අඩංගුවට ගන්නවා .ඉතින් කලබල වෙන්න ඕනේ. කුඩු අල්ලනවා.නීති විරෝධී ආයුධ ළඟ තියාගෙන ඉන්න අය අත්අඩංගුවට ගන්නවා. ඒවා කළා කියලා ජනතාව පාරට බහින්න ඕනද? නෑ, පාතාලයත් එක්ක තමයි දේශපාලකයන් ඒ කාලේ එහෙට මෙහෙට දිව්වේ. ඒවට ඕන තරම් සාක්කි තියෙනවා. තව ටික කාලයක් ගියා නම් පාර්ලිමේන්තුවල බලය විතරක් නෙවෙයි, පළාත් සභාවල ප්‍රාදේශීය සභාවල  බලයත්  මුළුමනින්ම පාතාලෙට යන්න තිබුණා. මැදපෙරදිගට මේ රටින් පැනල ගිහිල්ල හිටපු පාතාල නායකයෝ කීපදෙනෙක් අත්අඩංගුවට පත්වෙලා ඉන්නවා. ඒ අයත් ළඟදීම අපි ලංකාවට ගේන්න කටයුතු කරනවා. අන්න එතකොට මෙහෙ කට්ටිය කලබල වෙනවා.

මහජනයාගේ දේපොළ හොරකම් කරල අත්පත් කරගත් දේපොළ රජයට පවරා ගන්නවා...

මහජනයාගේ දේපොළ හොරකම් කරල අත්පත් කරගත් දේපොළ රජයට පවරා ගන්නවා.එතනදී   අපිට වැඩ ටිකක් කරන්න තිබුණා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් කරන්න ඕනේ. ඒකට තිබුණ ඉඩ මදි වුණා. ඒ නිසා අපි කාර්යාලයට හිටපු ඇමති කෙනෙක් භාවිත කරපු ගෙයක් දුන්නා.  අද අල්ලස් කොමිසම තියෙන්නේ හිටපු ඇමති කෙනෙක්ගේ ගෙදරක. දැන් තමන් කාපු බීපු තැනටම ඇවිල්ලා කට උත්තර දීලා යන්න ඒ ඇමැතිවරුන්ට සිද්ධ වෙලා තියෙනවා . විමර්ශන නිලධාරීන් බඳවා ගනිද්දී ඔවුන්ගේ වැටුප ලක්ෂයවත්  පැනල තියෙන්න ඕන. නැත්නම් එන්නේ නෑ.  ඒ නිසා අපි අවම වැටුප එක් ලක්ෂ හාරදාහකට වැඩි කළා.  විමර්ශන නිලධාරීන් බඳවා ගත්තා. කොමිසම ශක්තිමත් කළා.  නීති හදලා දුන්නා.  අධිකරණ මදි කිව්වා. නඩු ප්‍රමාද වෙනවා කිව්වා.  අපි හිටපු ඇමතිවරුන්ගේ ගෙවල් අධිකරණවලට යොදාගන්න හදලා දුන්නා.

මේ මැයි මාසයේ අපරාධ නඩු 15ක විතර තීන්දු ලැබෙන්න තිබෙනවා. අන්න එවිට ඒගොල්ලෝ කලබල වෙනවා. හොරකම් කරපු කෙනා තමයි දන්නේ හොරකමේ තරම. ඉතින් ඒගොල්ලෝ ආණ්ඩු වට්ටන දින කිය කියා ඉන්නවා. එහෙම වට්ටන්න ඉඩ දෙනවද ජනතාව? නෑ. මේ ජනතාව ඒකට ඉඩ දෙන්නෙ නෑ. අපි ආවේ ජනතාවගේ බලයෙන්. අපි ගන්න හැම තීන්දුවකින්ම ආණ්ඩුව ගන්නකොට තිබුණාටත් වඩා ජනතා විශ්වාසය දිනා ගන්න මට්ටමකට ආණ්ඩුව ගෙනත් තියෙනවා

කිසිදු අපරාධයක් කාලයේ වැලිතලාවෙන් යට වෙන්න ඉඩ දෙන්නේ නෑ..

පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි හොයමින් ඉන්නවා. නඩු විභාග වෙනවා. කිසිදු අපරාධයක් කාලයේ වැලිතලාවෙන් යට වෙන්නට අපි ඉඩ තියන්නේ නෑ. ඉදිරි මාස කිහිපය කියන්නේ ලංකාවේ නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කරන කාලයක්. ලංකාවේ වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් ලබාදීම පිළිබඳව වැදගත් තීන්දු කීපයක් ප්‍රකාශයට පත්වෙන කාලවකවානුවක්. එයා හිටපු ජනාධිපතිද? හිටපු ජනාධිපතිගේ අයියද? මල්ලිද? මස්සිනා ද? බිරින්ද ද?දරුවෝද? අපි ඒ කිසිවක් බලන්නේ නෑ. අදත් රාජපක්ෂලා කිහිප දෙනෙකුට වරෙන්තු නිකුත් වෙලා තියෙනවා . විශාලතම හොරකමක්  පිළිබඳ ව නඩුවක් තියෙන රාජපක්ෂ කෙනෙක් බෙල්ල කැඩිලා කියනවා. කොන්ද කැඩිලා කියනවා. අධිකරණය මඟහරිමින් ඉන්නවා. රෙඩ් නෝටිස් ගහලා හරි අපි ඒ අයව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ගේනවා.

එහෙම කරනවිට අධිකරණය ඉදිරිපිට ඇවිත් උද්ඝෝෂණ කරනවා. ඕනෑ තරම් උද්ඝෝෂණය කරන්න. නමුත්  අපි ප්‍රමිතියට අනුව වැඩ කරනවා.  අපි දන්නවා ඕනෑම වෙලාවක ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ ආණ්ඩුව වෙනුවෙන් පාරට බහින්න සූදානමින් ඉන්න බව. ඒ අය තේරුම් ගන්න ඕනා මේක මගේ ආණ්ඩුවක් නෙවෙයි. මේ වේදිකාවේ ඉන්න අයගේ ආණ්ඩුවක්ද ? නෑ. මේක අපි හැමෝගෙම ආණ්ඩුවක්. මේක ජනතාවත් පාලකයත් අතර සහ සම්බන්ධයක් තියෙන ආණ්ඩුවක්.

අද ඔවුන් කරන්නේ ගෙයින් ගෙට නෑගම් යාමයි. අද ඔවුන්ට මැයි රැලියක් පවත්වන්න ජනතාව නැහැ. ජනතා බලයක් නැහැ. එහෙත් කලබලයක් ඇති කරනවා. ආණ්ඩුව මාස තුනයි, හයයි, අවුරුද්දයි කියලා. අද එක්කෙනෙක් දිනේම කියලා 2027 මැයි 21 ආණ්ඩුව ගෙදර යනවා කියලා. අද වැටෙනවා, හෙට වැටෙනවා කියලා, ජනාව පාරට බහි කියලා බලාගෙන ඉන්නවා. ජනතාව 2022 – 2023 පාරට බස්සේ ආර්ථිකය කඩා වැටුණු නිසයි. පොලිම්වල ජනතාව මිය යන විට කෝටි 50ට වැඩියෙන් දීලා නායකයෝ ගෙවල් හදා ගන්නවා. ජනතාවගේ දේපොළ හොරකම් කරනවා. ජනතාව තීරණය කළා එම පාලකයන් පළවා හැරිය යුතුයි කියලා. ජනතාව පාරට බහින්නනම් ජනතාවට ඇත්ත ප්‍රශ්න තියෙන්න ඕන. ඔවුන් කිතිකවා පාරට බස්සන්න බැහැ.

හොරකම් කරපු අයට දඬුවම් ලබාදීම ජනතාවගේ අපේක්ෂාවක්..

අපි නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කරනවා. මේ රටේ මහජනතාවගේ දේපොළ හොරකම් කරපු අයට දඬුවම් ලබාදීම ජනතාවගේ අපේක්ෂාවක්. අපි ඒ වෙනුවෙන් අද වැඩකරමින් සිටිනවා. කතරගම විශාල මාළිගාවක් තිබ්බා, අයිතිකාරයෙක් නැහැ, ඒක ආණ්ඩුව පවරා ගත්තා. දැන් ඔරුතොට ගෙයක් තියෙනවා අපි අයිතිකාරයත් හොයා ගන්නවා. දේපොළත් ආණ්ඩුවට ගන්නවා. මල්වානේ අක්කර 16ක ඉඩමක් අපි අත්පත් කරගත්තා. මහජනයාගේ දේපොළ හොරකම් කර එක්රැස් කරගෙන තිබෙන ධනය ආපසු ලබා ගැනීමේ ව්‍යායාමයට මේ ආණ්ඩුව පණ පොවා තිබෙනවා.

නිලධාරීන් බඳවා ගනිද්දී ඔවුන්ගේ වැටුප ලක්ෂය පැනලාවත් තියෙන්න ඕන. ඒ නිසා අපි එක් ලක්ෂ හාරදාහක  මූලික වැටුපකට විමර්ශන නිලධාරීන් බඳවා ගත්තා. කොමිසම ශක්තිමත් කළා නීති හදලා දුන්නා අධිකරණ මදි කිව්වා.නඩු ප්‍රමාද වෙනවා කිව්වා අපි හිටපු ඇමතිවරුන්ගේ ගෙවල් අධිකරණවලට යොදාගන්න හදලා දුන්නා.

මේ මැයි මාසෙට අපරාධ චෝදනා නඩු පහක් එන්න තිබෙනවා. එතකොට ඒගොල්ලෝ කලබල වෙනවා හොරකම් කරපු කෙනා තමයි දන්නේ තරම. ඒගොල්ලෝ ආණ්ඩු වට්ටන දින කිය කියා ඉන්නවා. මේ ජනතාව ඒකට ඉඩ දෙන්නෙ නෑ. ආණ්ඩුව ගන්නාවිට තිබුණාටත් වඩා ජනතා විශ්වාසය දිනා ගන්න මට්ටමකට අද ආණ්ඩුව ගෙනත් තියෙනවා .

දිට්වාවලින් විශාල හානියක් වුණා. එතකොට කිව්වා මුළු ආර්ථිකයම කඩා වැටෙනවා. දිට්වාවලින් ආයේ නැගිටින්න හම්බ වෙන්නේ නැහැ. පාරවල් ටික හදන්න ලැබෙන්නේ නැහැ. ගෙවල් ටික හදන්න ලැබෙන්නේ නැහැ රටම ඉවරයි කිව්වා. අද අපි දිට්වා කලාපයට ගියත් දිට්වාවලින් හානියක් නොවුණු තරමට රට ගොඩනගා තිබෙනවා. ජනතාව පදිංචි කිරීමේ ගැටලු ටික අපි විසඳනවා.

සම්මානයක් දෙන්න වටින වැඩක්..

ඊළඟට මැදපෙරදිග යුද්ධය ආවා. ලෝකයේ ගොඩක් රටවල පෝලිම් ඇති වුණා. ගොඩක් රටවල ආර්ථිකය බිඳ වැටෙන්න පටන් ගත්තා. අපේ රටෙත් එහෙම වෙනවා කිව්වා. සිංහල, දෙමළ අලුත් අවුරුද්ද සමරන්න වෙන්නේ නැහැ කිව්වා. අවුරුද්දට විදුලිය නැතිව කළුවරේ ඉන්න වෙනවා කිව්වා. කියපු දේවල් ඒගොල්ලන්ට මතක නැහැ වගේ නැවත මොනවා හරි කියනවා.

ඒකනම් සම්මානයක් දෙන්න වටින වැඩක්. අප්‍රේල් වැටෙනවා කියන කටින්ම, නැවත මැයි වැටෙනවා කියනවා.

ලෝක යුද්ධයක් තිබෙනවා. බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදයක් ඇවිත් තිබෙනවා. එහෙත් අපි එය සමනය කරගෙන තිබෙනවා. අඛණ්ඩ තෙල් සැපයුමක් ලබාදෙන්න අපි සමත් වී තිබෙනවා. එය වැදගත් කාරණයක්. අපි තෙල් නිෂ්පාදනය කරන හෝ තේ ළිං තිබෙන රටක් නොවෙයි. හැබැයි අපි සැපයුම් ජාලයක් උපරිම ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත් වුණා. ඊළඟ පෙට්‍රල් නැව් ගොඩ ගැසී තිබෙන විදිහට ගබඩා ඉඩපහසුකම් මදි. ඒ නිසා තමයි පෙට්‍රල්වල කිව්.ආර් එක ටිකක් වැඩි කළේ. මිල උච්ඡාවචනයක් සිදු වෙයි. හැබැයි වැදගත් වන්නේ අඛණ්ඩව ලබා දීමයි. අඛණ්ඩව ඉන්ධන සැපයුම ලබාදීමට අපි සමත් වී තිබෙනවා.

විදුලිය කපයි කිව්වා. එහෙම දෙයක් වුණේ නැහැ. නියඟය සහ ගල් අඟුරුවල ප්‍රමිතියේ ප්‍රශ්නයක් නිසා නොරොච්චෝලේ හැදෙන විදුලි ප්‍රමාණය අඩු වී තිබෙනවා. එය ඇත්ත. හැබැයි මතක තබා ගන්න ඒ අඟුරු පිළිබඳ අපි ජනාධිපති කොමිසමක් පත් කර තිබෙනවා. එම කොමිසමේදී මේ ගල්අඟුරුවල සිදු වී තිබෙන ඛේදවාචකය පිළිබඳ මුළු කතාවම මේ රටේ ජනතාව දැන ගැනීමට හැකි වේවි. අපි අඩුම තරමින් ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන ආ සමාගමෙන් දඩ මුදල් අයකරගෙන ගල් අඟුරු සමාගමටත්, විදුලි බල මණ්ඩලයටත්, පාරිභෝගිකයාටත් බරක් නොවන අයුරින් එම දඩ මුදල් අය කර ගැනීමේ සැලසුම් අපි සකස් කර තිබෙනවා. දැනටමත් අපි ආසන්න වශයෙන් ඩොලර් බිලියන 15ක් පමණ රඳවාගෙන තිබෙනවා. ඒ නිසා ප්‍රමිතියේ ප්‍රශ්නයක් තිබෙනවා නම් ඊට වන්දියක් ලබාගත හැකියි. අපි ඒ සඳහා වැඩපිළිවෙළ සකස් කර තිබෙනවා. ඒ නිසා බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදය ස්ථීරසාරව විසදීමේ වැඩපිළිවෙළට අපි අවතීර්ණ වී තිබෙනවා.

අද මේ රටේ ව්‍යාපාර සාර්ථක වෙලා තිබෙනවා. රජයට බදු ආදායම් ලැබෙනවා. ව්‍යාපාර කටයුතු ඉදිරියට යන විට ඔවුන් තමන් උපයා ගන්නා ආදායමෙන් ආණ්ඩුවට බද්දක් ගෙවනවා. එවිට භාණ්ඩාගාරය පිරෙනවා. භාණ්ඩාගාරයේ ධනය පෙරළා මාර්ග ඉදිකිරීමට, පාසල්, රෝහල්, විශ්වවිද්‍යාල පහසුකම් වැඩි කිරීමට අපි වැය කරනවා. ඒ මුදල් වැය කර අපි දියුණු රටක් හදනවා. ඒ නිසා ලංකාවේ පළමු වතාවට ජනතාවගේ ආණ්ඩුවක් හැදිලා තිබෙනවා. මේ ජනතාවගේ ආණ්ඩුව ආරක්ෂා කරගෙන අපි ඉදිරියට යා යුතුයි. දශක ගණනාවක් මේ රට පාලනය කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බව මතක තබා ගන්න. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම වැඩ කරමු. ජනතාව අපේ ආණ්ඩුව කෙරෙහි විශාල විශ්වාසයක් තබා තිබෙනවා. ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් කරනවා. අපි වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ කාර්යය නිසි ලෙස ඉටු කරන්න. වැඩ කරන ජනතාව, ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන්, දේශපාලන අධිකාරිය, පොදු ජනතාව අපි සියලුදෙනා එක් වී රමේ රට හොඳ රටක් බවට පත් කර ගනිමු. ඒ වෙනුවෙන් සියලුදෙනා ශක්තිමත්ව පෙළ ගැසෙමු. ඉදිරියට යමු.”

ජනාධිපතිවරයාගේ කතාවේ වීඩියෝවක් පහතින්

---------------------------
by     (2026-05-04 12:56:20)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links