~

අතුරලියේ රතනගේ අඳනකඩය අස්සෙන් මතුවූ මෙතෙක් නෑසූ ගඳ ගහන කතාව

(ලංකා ඊ නිව්ස් -2017.ජන.03, පෙ.ව.3.05)

මෙතෙක් කතාව

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ වනවිට සමාජයේ කතාබහට ලක්වූ තවත් එක් සිවුරකි. ඊට හේතු වූයේ මීට සති කිහිපයකට පෙර උන්වහන්සේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටි තමන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව සිටින බවටත්, මින් ඉදිරියට තමන් කිසිදු පක්ෂයකට අයත් නොවන බවටත් කළ ප්‍රකාශයන්ය. එසේම, පසුගිය දිනෙක ජාතික හෙළ උරුමය මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ උන්වහන්සේ කිසිදු පක්ෂයකට අයත් නොවන බව පැවසීමෙන් පෙනී යන්නේ, උන්වහන්සේ මෙතෙක් නියෝජනය කළ ජාතික හෙළ උරුමයෙන්ද ඉවත් වී ඇති බව ඇඟවීමක් බවයි. එය එසේ නම්, උන්වහන්සේ පාර්ලිමේන්තුවේ වැඩසිටින්නේ ජාතික හෙළ උරුමයෙන් ලැබුණු මන්ත්‍රී ධූරයකින් නිසා, කිසිදු පක්ෂයකට අයත් නැති උන්වහන්සේ හෙළ උරුමයට අයත් මන්ත්‍රීධූරයේ රැඳී සිටීම සදාචාරාත්මක නොවන බවයි. එබැවින් එම මන්ත්‍රීධූරය නැවත ජාතික හෙළ උරුමයට ලබාදෙන ලෙස හෙළ උරුමය ඉල්ලා සිටියේ ය.

රතන හිමියන්ගේ උපදේශක වරයෙකු ලෙස සිටින අශෝක අබේගුණවර්ධන මේ සම්බන්ධයෙන්  රතන හිමියන්ට උපදෙස් ලබා දී ඇත්තේ ජාතික සභාවක් ලෙස ඔබවහන්සේගේ නමින් අලුත් සංවිධානයක් පිහිටුවන ලෙසය. ඒ අනුව පසුගිය ජනවාරි 28 දා සවස 4.00 රාජගිරිය සදහම් සෙවනට රතන හිමියන් ඇසුරු කරන විද්වත් පිරිසට පැමිණෙන ලෙස ආරාධනා කර තිබිණි. ඒ සඳහා උන්වහන්සේ මහත් කැපකිරීමක් කර උන්වහන්සේගේ ජංගම දුරකතනයෙන්ම තම හිතවතුන්ට කතා කර ඇත. එහෙත් මෙම ජාතික සභාවට කිසිදු සැළකිය යුතු කෙනෙක් සහභාගි වී නොමැති වීමෙන් කලකිරීමට පත්වී සවස් කාලයේ ආවාසය තුළට ගොස් ඇති රතන හිමියන් පසුදා පහන් වනතුරුම ආවාසයෙන් පිටතට නොපැමිණි බවද සදහම් සෙවණ ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබිණි.

මෙතැන් සිට පළ වන්නේ රතන හිමියන් එදා සිට සමීපව ඇසුරු කළ සහ හෙළ උරුමයේ වත්මන් සහ හිටපු සාමාජිකයින්, නායකයින් සමග සිදුකළ සාකච්ඡා ඇසුරෙන් සකස් කළ අඳනකඩය අස්සේ සැඟවූ කතාවයි....

මට දැන් පක්ෂයක් නැහැ

තමන්ට දැන් පක්ෂයක් නැති බවත්, පාර්ලිමේන්තුවේ ජනතාවගේ මන්ත්‍රී තමන් බවත්, පුද්ගලයන් හා සිවිල් සංවිධාන එක් කරගෙන නව දේශපාලන බලවේගයක් ගෙනඑන බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කර තිබුණි. මේ පිළිබඳව අදහස් දැක්වූ ජාතික හෙළ උරුමයේ හිටපු නායක හා එහි වත්මන් අනුශාසක මණ්ඩලයේ ප්‍රධානී වූ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශ කර තිබුණේ අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තුවේ සිටින්නේ ජාතික හෙළ උරුමය පක්ෂය නියෝජනය කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණ හරහා ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් බැවින් පක්ෂ දේශපාලනයෙන් ඉවත් වනවා නම් මන්ත්‍රීධූරයෙන්ද ඉවත්වීම සදාචාර සම්පන්න අයෙකුගේ වගකීම බවයි. ජාතික හෙළ උරුමය මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ ඕමල්පේ සෝභිත හිමි සහ කොලොන්නාවේ සුමංගල හිමි යන හිමිවරුන් දෙනමම තම මන්ත්‍රීධූර අතීතයේදී අත්හැර ගිය බව අප දනිමු.

රතන හිමි කළුතරින් ගම්පහට ගිය හේතුව

අතුරලියේ රතන හිමියන් පසුගිය මහ මැතිවරණයේදී තරඟ නොකළේ උන්වහන්සේට පත්‍රිකාවක් වත් ඛෙදා ගැනීමට පාක්ෂිකයෙක් ගම්පහ දිස්ත්‍රික්කයේ නොසිටි නිසාය. උන්වහන්සේ 2004 මහ මැතිවරණයේදී කළුතරින් තරඟ කළ අතර, 2010 මැතිවරණයේදී හිටපු නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.ජී.බී. කොටකදෙණියගේ අපේක්ෂකත්වයද උදුරා ගනිමින් ගම්පහට තරඟ කළේ කළුතර පැත්ත පලාතේ යා නොහැකි ලෙස හෙළ උරුමය පාක්ෂිකයන්ගේ වෛරයට හා දෝෂ දර්ශනයට ලක්ව සිටි නිසාය. 2014 පළාත් සභා මැතිවරණයේදී රතන හිමියන් සංවර්ධන සභාවේ සභාපති ධූරය දැරූ දිවුලපිටිය ආසනයෙන් ලබාගත හැකි වූයේද ඡන්ද 600 කට ආසන්න ගණනකි. මේ සියල්ලෙන් පෙනී ගියේ 2014 මහ මැතිවරණයට ඉදිරිපත් වූවොතින් රතන හිමියන්ට අත්වන ඉරණමයි.

ජාතික හෙළ උරුමය අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව රතන හිමියන් 2015 ජනාධිපතිවරණයේදී ක්‍රියාකළ දේශපාලන චපලභාවය, එනම් එක් පැත්තකින් මහින්ද රාජපක්ෂ නැවත අගමැති කිරීමටත්, අනෙක් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂය දිනවීම සඳහාත්, හෙළ උරුමයේ නොවන අපේක්ෂකයින් වෙනුවෙන් මැතිවරණ කටයුතු කිරීමත් නිසා උන්වහන්සේට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ලබාදීම හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව ප්‍රතික්ෂේප කළ බවය.

මන්ත්‍රීධූරයෙන් ඉවත් වීමට පොරොන්දු වුනා

පසුව හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව හමුවූ රතන හිමි, සෝභිත හිමි ඇතුළු පැවිදි ගිහි නායකයින්ට දිවුරා ප්‍රකාශ කර ඇත්තේ තමන්ට මන්ත්‍රී ධූරය නොලැබුනහොත් එය මහත් සමාජ ලැජ්ජාවක් වන නිසා නාමිකව මන්ත්‍රී ධූරය ලබාදෙන ලෙසය. මන්ත්‍රී ධූරයට හිමි වැටුප්, දීමනා, සේවක පිරිස, විමධ්‍යගත අරමුදල්, මෝටර් රථ බලපත්‍රය ඇතුළු වරප්‍රසාද සියල්ල පක්ෂයට පූජා කරන බවය. එමෙන්ම, තමන් දේශපාලන වශයෙන් හෙළ උරුමයේ නිල මතයට අනුව ක්‍රියාකරන අතර, එයින් ඉවත් වුවහොත් මන්ත්‍රී ධූරයෙන්ද ඉවත් වී හෙළ උරුමයට කැමති අය පත්කර ගැනීමට ඉඩදෙන බවය.

ජනතාවගේ එකම මනාපයක්වත් නොලැබූ රතන හිමියෝ හෙළ උරුමයේ නායකයින් හා අනුගාමිකයන් ඉදිරියේ ලබාදුන් එම පොරොන්දු කඩ කිරීම නිසා දැන් ඔවුන් සියලූදෙනාගේ අමනාපයට ලක්ව සිටී. මේ නිසා මෙය පැහැදිලිව පොරොන්දු කඩ කිරීමක් නොහොත් මුසාවාද කීමක් වන අතර අනුන්ට අයත් දෙයක් ලබාගැනීම නිසා සිදුකරන වරදක්ද වේ. රතන හිමි මන්ත්‍රී ධූරයෙන් ලැබුණු සියල්ල තම පුද්ගලික ප්‍රයෝජනයට ලබාගත් අතර මීට පෙර හිමිවූ වාහන බලපත්‍රය ලක්ෂ 400 කට විකුණා දැමීම නිසා අල්ලස් කොමිසමේ විමර්ෂණයකටද ලක්ව සිටී. 2004 හා 2010 දීද උන්වහන්සේට ලැබුණු වාහන බලපත්‍ර මේ ලෙසටම විකුණා තම පුද්ගලික ප්‍රයෝජනයට ගෙන ඇත. එම කාලවල සිදුකළ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් හෙළ උරුමයට ලැබුණු අරමුදල් භාවිත කර ඇති බවද දැනගන්නට ලැබේ.

මහින්ද රාජපක්ෂගේ යෝග උපදේශක සහ ගෝඨා මතු බුදු වේවා කී රතන

බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන්නේ මහින්ද පරදවනවා.. පරදවනවා.. යැයි කියමින් රතන හිමියන් වේදිකා දෙදෙරවමින් සිදුකළ වීර ප්‍රකාශයන් නිසා රාජපක්ෂවරුන් පරාජය කිරීමට හෙළ උරුමය තල්ලූ වූ බවයි. මෙහි පසුබිම් කතාව මෙයට වඩා හාස්‍යජනකය. 2010 මහ මැතිවරණයෙන් පසු පක්ෂයට හිමි ඇමතිධූරය තමන්ට ලබාදෙන ලෙස රතන හිමියන් ඉල්ලා සිටි අතර, විධායක පදවි දැරීම පැවිද්දන්ට නුසුදුසු බව පක්ෂයේ බහුතර මතය වූ නිසා එය ඉටු නොවීය. ඉන්පසු මහින්ද රාජපක්ෂට කිට්ටු වී ඔහුගේ “යෝග උපදේශකයා“ ලෙස ක්‍රියා කරමින් පහත් බිමක නීති විරෝධීව ඉදිකර ඇති සදහම් සෙවණ ගොඩනගා ගැනීම සඳහා මිල මුදල් ආධාර රැසක් ලබාගත්තේය. ගෝඨාභය රාජපක්ෂ සදහම් සෙවණ ගොඩනැගීමට උදව් උපකාර කළ නිසා වරක් ප්‍රසිද්ධ රැස්වීමකදී රතන හිමි සඳහන් කර තිබුණේ ‘ඔහු මතු බුදුවේවා‘ යනුවෙනි. කෙසේ නමුත් මහින්දව නැටවීමට නොහැකි බව වැටහී ගිය බැවින් මහින්දගේ ආණ්ඩුවෙන් ඉවත් වී රාජපක්ෂ පාලනය පෙරලා දැමිය යුතු යැයි විවේචන ඉදිරිපත් කරන්නට විය. හෙළ උරුමය හා රාජපක්ෂ පාලනය අතර ගැටුම් ඇතිවූයේ විටින් විට රතන හිමියන් විසින් සිදුකළ මෙවන් ප්‍රකාශ නිසා බවද වාර්තාවේ. 

2014 වසර ආරම්භයේදී රතන හිමියෝ ජනතා විමුක්ති පෙරමුණ නායකයින් සමග සබඳතා ඇතිකර ගත් අතර, ජවිපෙ සහායෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ සහායෙන් පොදු අපේක්ෂකයා වීමටද උත්සාහයක් දැරීය. මේ සඳහා ‘‘පිවිතුරු හෙටක්‘‘ නමින් සංවිධානයක් බිහිකළ අතර, මෙහි යටි අරමුණ වී ඇත්තේද එයයි. වසවිස නැති ගොවිතැන, නාථ දෙවියන් වැනි කතාද පිවිතුරු හෙටක් ඔස්සේ කරලියට දැම්මේ යටි අරමුණ වෙනතකට යොමු කිරීමටය. නව නගර ශාලාවේදී පැවති එහි ප්‍රසිද්ධ රැස්වීමකදී අවශ්‍ය නම් ජනාධිපති ධූරය භික්ෂුවකට වුව හෙබවිය හැකි බවට රතන හිමි කළ ප්‍රකාශය නිසා මහින්ද රාජපක්ෂ කලබල විය. පොදු අපේක්ෂකයෙකු ලෙස භික්ෂුවක් කරළියට ඒවි යැයි බියපත් වූ මහින්ද රාජපක්ෂ භික්ෂූන් වහන්සේලාට දේශපාලනය අකැප යැයි කියන පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කළේය.

හෙළ උරුමය හා රාජපක්ෂ රජය විරසක කරවීම

මාදුළුවාවේ සෝභිත හිමියන් සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය බිහිකිරීම නිසා රතන හිමියන්ගේ සිහිනය බොඳවිය. එවිට වඩාත් රැඩිකල් මුහුණුවරක් ගනිමින් මහින්ද එලවා දැමිය යුතු යැයි කියමින් හෙළ උරුමය සහ මහින්ද රාජපක්ෂ අතර බැඳීම බිඳ දැමීමට ක්‍රියා කළේය. මෙහිදී හෙළ උරුමය ඇතුළෙන් රාජපක්ෂ පාලනයෙන් ඉවත්වීමට ලොකුම හඬ නැගුවේ උදය ගම්මන්පිලයි. ගම්මන්පිලට තිබුණේ වෙනත් අරමුණකි. එනම්, හෙළ උරුමය සහ රාජපක්ෂවරු අතර සම්බන්ධය තිබෙන තාක්කල් තමන්ට පලාත් සභාවේ කොටුවී සිටීමට සිදුවන බවත්, සැමදා දෙවැනි නායකයෙක් ලෙස සිටීමට සිදුවන බවත් උදය ගම්මන්පිල, රාජපක්ෂ හිතවතුන් සමග ප්‍රකාශ කර තිබුණි. දෙවැනි නායකයෙක් ලෙස හෙළ උරුමයට වී සිටිනවාට වඩා, හෙළ උරුමයෙන් ගැලවී රාජපක්ෂවරු යටතේ පළමු නායකයෙක් වීමට උදය ගම්මන්පිල උපක්‍රම යෙදීය. රතන හිමිත් ගම්මන්පිලගේ උපායට තදින්ම හසුවූ අතර, මහින්ද රාජපක්ෂ සමග සිදුකළ අවසන් සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂ ප්‍රකෝප කර හෙළ උරුමයට රජයෙන් ඉවත්වීම හැර අන් මගක් ඉතිරි නොකළේය. 

පරාජය කළ සතුරන් බලන්න යෑම

ජනාධිපතිවරණයෙන් ජයගත් වහාම නව රජයේ ප්‍රබල පදවියක්, අඩු තරමින් කතානායක පදවිය හෝ ලැබිය යුතු බවට රතන හිමි ප්‍රකාශ කර තිබුණි. එම පදවියට කරු ජයසූරිය පත් වූ  නිසා එය ඉටුකර ගත නොහැකි විය. ඉන්පසු කෘෂිකර්ම ඇමති පදවිය ඉල්ලා අරගලයක් දියත් කළේය. ජනපති හා අගමැති එය තරයේ ප්‍රතික්ෂේප කළේය. අනතුරුව ජනාධිපති ලේකම් ලෙස අශෝක අභයගුණවර්ධන හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස තමාව පත්කර ගැනීමට උත්සාහ දැරීය. එම උත්සාහයද ව්‍යර්ථ විය. ඉන්පසු රතන හිමි පිරිත් නූලක්ද රැගෙන ගියේ රෝහලේ සිටි බැසිල් රාජපක්ෂ හමුවීමටය. මෙය ඉතා පිළිකුල් දසුනක් විය. ඉන්පසු රනිල් පරාජය කර මහින්ද අගමැති කළයුතු යැයි මහින්ද - මෛත්‍රී සමගියක් ඇතිකිරීමට උත්සාහ කළේය. රාජපක්ෂලාට නැවත දේශපාලන පාර කපන්නට තීරණය විය. කෙසේ වෙතත් මහ මැතිවරණය ප්‍රකාශ වීමත් සමග හෙළ උරුමයෙන් සහායක් නොලැබෙන බව ප්‍රකාශ විය.

රතන හිමියන් හෝ කිසිදු භික්ෂුවක්, ප්‍රතිපත්තියක් ලෙස ජාතික ලැයිස්තුවෙන් පත්කළ නොහැකි බව ශ්‍රීලනිපයද ප්‍රකාශ කෙරිනි. අනතුරුව යූඇන්පීය පසුපස ගියේය. හෙළ උරුමයට බොරු පොරොන්දු දී යූ ඇන් පී ජාතික ලැයිස්තුවෙන් පත්වීම ලබන්නට උන්වහන්සේට හැකිවිය. මෙම මන්ත්‍රී ධූරය ලබාගන්නට කළ කී දෑ ජුගුස්සාජනක ක්‍රියාවලියක් බව මේ පිළිබඳව සොයා බැලීමේදී ඇතැමුන් කළ කී දෑවලින් පැහැදිලි විය. ඉන්පසු රතන හිමි අගමැති රනිල්ටත්, ජනපති මෛත්‍රීටත් ළං වෙන්නට පටන් ගත්තේය. අනෙක් පසින් මහින්ද, බැසිල් හා ගෝඨා සමගද දේශපාලන සෙල්ලම් පටන් ගත්තේය. එහි අරමුණ වූයේ රාජපක්ෂවරුන්ගෙන් තමන්ට එල්ලවන ප්‍රහාරයෙන් ගැලවී සිටීමය. රසායනික පොහොර තහනම් කරමින්ද, ගල් අඟුරු බලාගාර වසා දමමින්ද පරිසර වීරයෝ විය හැකි යැයි ජනපති මෛත්‍රීට ලණුවක් දුන්නේය. මේ නිසා රටේ කෘෂිකර්මයට හා තෙල් බලාගාර වියදමද නිසා සිදුවන්නට ගිය නස්පැත්තිය කවුරුත් දනිති. මේ නිසා ඇතිවූ විරෝධතා නිසා රතන හිමිගේ වස විස නැති ගොවිතැන ක්‍රමයෙන් වාෂ්ප වී ගියේය.

ඊළඟ සෝභිත හිමි වීමට තැටමීම

ඉන්පසු රතන හිමි ශ්‍රීලනිපයේ බලය ඇල්ලීමට ව්‍යාපෘතියක් දියත් කළේය. එහි එක් පියවරක් වූයේ ශ්‍රීලනිප භික්ෂු සන්ධානයක් තනා තමන්ගේ ගෝලයෙක් වූ පාහියංගල ආනන්ද හිමි එහි ලේකම් කරවීමය. පසුගියදා විල්පත්තු වන සංහාරය ගැන අභියෝග කර බදුර්දීන්ව රජයෙන් එලවා දැමීමට උත්සාහ ගත්තේය. තමන්ට ජනපතිගේ ආශිර්වාදය තිබේ යැයි කියමින් සාධාරණ සමාජයක් හා අනෙකුත් සිවිල් සංවිධාන යහපාලන රජය ගැන කලකිරී ජනපති විවේචනය කරන තත්වයට පත්විය. මෙය තමන්ට කදිම අවස්ථාවකැයි සිතූ රතන හිමි සිවිල් සංවිධානවල සහාය තම ව්‍යාපාරයට ගතහැකි නිසා එයට ආධාර කරන ලෙස ශ්‍රීලනිපයෙන් ඉල්ලා ඇත. ජාතික හෙළ උරුමයේ බලයෙන් වැජඹුණු රතන හිමිට ශ්‍රීලනිපයේ හයියෙන් ඊළඟ මාදුළුවාවේ සෝභිත හිමි වීම හා ජනපති වීමේ සිහිනය ඒකායන අරමුණ වී තිබේ. එදා රාජපක්ෂ පාලනයද මෙවන් බල ලෝභී සිහින ලෝක නිසා සුනුවිසුනු වී ගිය අතර, යහපාලන වත්මන් රජයද මෙවන් මිරිඟු පසුපස යාමෙන් අවසන් වීමට ඉඩඇත. එබැවින් අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අනාගතයට මුහුණ දිය යුතුව තිබේ.

කුජ්ජුත්තර සිංහපාල

---------------------------
by     (2017-02-02 21:57:39)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links