~

පුදුමයි ඒත් ඇත්තයි..! ලංකා ඊ නිව්ස් වාරණය කෙළේ කව්දැයි කීම ජාතික ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නයක් කියා මග හරී..!!

(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.06, ප.ව‍‍‍‍‍.6.20) ලංකා ඊ නිව්ස් ලංකාවේ මහජනතාවට අවහිර කිරීම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පණත යටතේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් තොරතුරු ඉල්ලා සිටි ‘අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වයේ‘ කැඳවුම්කරු සහ ‘විකල්ප‘ වෙබ් අඩවියේ කර්තෘ සම්පත් සමරකෝන් සහ ‘මාත්‍රම්‘ වෙබ් අඩවියේ කර්තෘ සෙල්වරාජා මහත්වරුන් වෙත කොමිසම දැනුම් දී ඇත්තේ ‘ඒ ගැන තොරතුරු හෙළිදරව් කිරීම රාජ්‍ය ආරක්ෂාවට හෝ ජාතික ආරක්ෂාවට අගතිදායක වීමේ හේතුව මත එම තොරතුරු ලබා දීමට නොහැකි බව‘ ය.

මෙය නම් අපූරු ප්‍රකාශයකි. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා වන්නේ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ය. ලංකා ඊ නිව්ස් කතුවරයා ඔහුගෙන් මීට පෙර දිනක මෙකී වාරණය කෙළේ ඇයි දැයි දුරකථනයෙන් විමසා සිටි විට ඔහු කියා සිටියේ ඒ අවස්ථාවේ තමන් ලංකාවේ නොසිටි අතර සිටියේ වියානාහි බවත් තම අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ද සිටියේ නේපාලයේ බවත් දෙදෙනාම ඒ ගැන කිසිවක් නොදන්නා බවයි. එසේ නම් දැන්වත් ඒ ගැන සොයා බලනවාදැයි විමසූ විට නීත්‍යාණුකූල විමසීමක් කළහොත් පිළිතුරක් දෙන්නම් යැයි ජනාධිපති ලේකම් සහ කොමිසමේ සභාපති වරයා ලංකා ඊ නිව්ස් කතුවරයා සමග පැවසීය. ඒ අනුව ලංකා ඊ නිව්ස් බලයලත් නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා නොවැම්බර් 23 වෙනිදා ඔස්ටින් ප්‍රනාන්දු මහතා වෙත නිල වශයෙන් විමසීමක් කර ලිපියක් යවන ලදී. එය මීට පෙර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වෙත යවන ලද ලිපිය හා සමාන ලිපියක් විය. වෙබ් අඩවි විකාශනය අවහිර කිරීම යම්කිසි අධිකරණ නියෝගයක් මත සිදු කළේ ද නැත්නම් වෙනත් ආයතනයක හෝ පුද්ගල උපදෙස් මත සිදු කළේ ද , එසේ සිදු කළේ නම් ඒ කුමන නීතියක් යටතේ ද සහ කුමන හේතුවක් මත සිදු කළේ ද යන්න එමගින් විමසා තිබිණ. කෙසේ නමුත් අද දක්වා කොමිසමේ සභාපති හෝ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් හෝ කිසිදු පිළිතුරක් දී නැති අවස්ථාවක දී කොමිසමේ තොරතුරු නිලධාරියා තොරතුරු හෙළිදරව් කිරීම රාජ්‍ය ආරක්ෂාවට හෝ ජාතික ආරක්ෂාවට අගතිදායක වෙතැයි කියා තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ. 

මේ සම්බන්ධයෙන් විකල්ප වෙබ් අඩවිය සපයන ලද වාර්තාවක් පහත දැක්වේ.

LankaEnews අවහිර කිරීම – තොරතුරු පණතින් වසා ගැනීමේ නිර්ලජ්ජිත උත්සාහයක

රාජපක්ෂ ආණ්ඩුව සමයේ එල්ල කළ තර්ජන හේතුවෙන් ලංකාවෙන් පිටත සිට ක්‍රියාත්මක කරන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය ට ලංකාව තුළ පිවිසීම සියලුම අන්තර්ජාල සේවා ආයතන(ISPs) තුළින් අවහිර කිරීම සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සිටි විට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසා සිටින්නේ ‘…තොරතුරු හෙළිදරව් කිරීම රාජ්‍ය ආරක්ෂාවට හෝ ජාතික ආරක්ෂාවට අගතිදායක වීමේ හේතුව මත එම තොරතුරු ලබා දීමට නොහැකි බව දන්වමි‘ යනුවෙනි.

තොරතුරු පනත

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ඉහත සිය තීන්දුව එවා තිබෙන්නේ විකල්ප වෙබ් අඩවියේ කර්තෘ සම්පත් සමරකෝන් විසින් පසුගිය 2017 නොවැම්බර් 9වන දින ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය වාරණය කිරීමට හේතු වූ කරුණු විමසමින් ‘2016 අංක 12 දරණ තොරතරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතට‘ අනුව තොරතුරු ඉල්ලා අයදුම්පතක් නිකුත් කිරීමෙන් පසුවය.

ජාතික ආරක්ෂාව සහ රාජ්‍ය ආරක්ෂාව

තොරතුරු පනතේ 5(1) (ආ) (i) වන උපවගන්තියට අනුව, ලංකා ඊ නිව්ස් වාරණය කිරීමට හේතුව සදහන් කළ නොහැකි බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පනතේ 5(1) (ආ) (i) වන උපවගන්තිය පදනම් කර ගෙනය. එහි මෙසේ සදහන් වෙයි.

‘රාජ්‍ය ආරක්ෂාවට හෝ එහි භෞමික අඛන්ඩතාවයට හෝ ජාතික ආරක්ෂාවට බරපතල ලෙස අගතිදායක වන අවස්ථාවක, (මේ පනත යටතේ ඒ තොරතුරුවලට ප්‍රවේශවීම ප්‍රතික්ෂේප කළ හැකිය)

කොමිෂන් සභාවේ අගතිය

තොරතුරු ඉල්ලුම් පත්‍රය මගින් ඉල්ලා ඇති තොරතුරු වල පළමු වැන්න වන්නේ,

‘2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනතට අනුව ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය( www.lankaenews.com) ට ලංකාව තුළ පිවිසීමට අවහිර වීමක් ඊයේ (10 නොවැම්බර්) දිනය තුළ අපට අත්විදීමට සිදුවිය. එම අවහිර කිරීම විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් සිදු කළාද?

නමුත් මේ සරළ ප්‍රශ්නයට පිළිතුරු දීම විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් හිතාමතාම මගහැර තිබේ. එය පැහැදිලිවම පුරවැසියාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ට හිතාමතාම සිදුකල අගතියකි. එසේම ‍කොමිසම විසින් ඔවුන්ගේ ප්‍රධාන අරමුණක් ලෙස දක්වා ඇති,

‘නියාමන ක්‍රියාදාමය හැඩගැස්වීමත්, පොදු යහපත සුරැකීමත්, වර්ධනය වන තරගකාරී වෙළදපොළ තුළ අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීම තුළින් විදුලි සංදේශ කර්මාන්තයේ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමත්ය’

එබැවින් විදුලි සංදේශන නියාමන ක්‍රියාදාමය හසුරුවන ප්‍රධාන නිල ආයතනය වන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ට වෙබ් අඩවියක් වාරණය කලේ ද? නැතිද? යන්න නීතියට අනුව විමසු විට සෘජුව පිළිතුරක් දීමට නොහැක්කේ ඇයි?

මහජන මුදලින් නඩත්තු වන පොදු අධිකාරියක් ලෙස නීතියට අනුව ක්‍රියා කළ යුතුය. නීතියට අනුව ක්‍රියාකලා නම් වාරණය කලාද? නැතිද? යන්නටවත් පිළතුරු දෙන්නට නොහැක්කේ ඇයි? (නමුත් ඔවුන් ලබා දී ඇති ප්‍රකාශය අනුව කුමක් කලේද යන්න වත්මන් ලෝකයේ පුරවැසියන්ට අවබෝධවීම එතරම් දුෂ්කර වන්නේ නැත.)

එයින් ඉස්මතුවන අනෙක් කරුණ නම් කිසිදු නීතිමය පටිපාටියකින් තොරව 2015 ජනවාරියට පෙර පැවති රාජපක්ෂ පාලනය විසින් ලංකා ඊ නිව්ස් ඇතුලු වෙබ් අඩවි 5ක් මෙරට වාරණය කලේද? එයට සමාන අයුරකින් ‘යහාපාලනය’ ද මේ වාරණය සිදු කර ඇති බව නොවේද?

එසේ වූ විට ‍විදුලි සංදේශ කොමිසම විසින් යෝජනා කරන ‘පොදු යහපත’ සුරැකෙන්නේ කෙසේද? එසේත් නැතිනම් 2015ට පෙර මෙන් තවමත් විදුලි සංදේශ නියාමන කොමිසම පාලනය වන්නේ පාලකයාගේ හෝ ඔහුගේ කුලී කරුවන්ගේ වුවමනා එපාකම් මතද යන්න ප්‍රශ්න කර සිටිය යුතුය.

නීතිය සහ විදුලි සංදේශ කොමිසම

ලංකා ඊ නිව්ස් වාරණය කිරීමට හේතු විමසන විට එය දීමට නොහැක්කේ රාජ්‍ය ආරක්ෂාවට හෝ ජාතික ආරක්ෂාවට අගතිදායක වීමේ හේතුව මත යැයි ඔවුන් පවසයි.

ඉන් මතුවන ප්‍රධාන කාරණා දෙකක් වෙයි.

එක,

අපට දැන ගන්නට ලැබෙන පරිදි (යහපාලනයේ ඇමතිවරුත් පවසන පරිදි) කිසිදු අධිකරණ ක්‍රියාවලියකට නොගොස් ලංකා ඊ නිව්ස් වාරණය කර ඇති බව පැවසෙයි. එසේ තිබිය දී, තොරතුරු නොදීම ජාතික ආරක්ෂාවට අගතියක වන බව විදුලි සංදේශ නියාමන කොමිසම තිරණය කරන්නේ කෙසේද?

දෙක,

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පනත තුළ කිසිදු ස්ථානයක ‘ජාතික ආරක්ෂාව’, ‘රාජ්‍ය ආරක්ෂාව’ ‘භෞමික අඛන්ඩතාවය’ වැනි කරුණු පිළිබද පැහැදිලි කිරීමක් කර නැත. තව දුරටත් කිවහොත් ‘පොදු අධිකාරිය’, ‘රාජ්‍ය නොවන සංවිධාන’ ආදී කරුණු පිලිබඳ අර්ථනිරූපන ලබා දී තිබුනත් ඉහත දැක්වූ කරුණු කිසිවකට අර්ථනිරූපන පනතේ දක්වා නැත.

එවැනි අවස්ථාවක දී විදුලි සංදේශ නියාමන කොමිසම, ඉල්ලා ඇති තොරතුරු ලබා නොදීමට එම ජාතික ආරක්ෂාව වැනි කරුණු ගෙන හැර දැක්වීම තුළම විවෘත ආණ්ඩුකරණයක්, ප්‍රකාශනයේ නිදහස සහ තොරතුරු දැනගැනීමට ඇති අයිතිය ද ඉතාමත් නග්න ලෙස තර්ජනයට ලක් කරයි.

නූතන ශිෂ්ට ලෝකය තුළ කිසියම් ප්‍රකාශනයක් අවහිර කිරීම හෝ වාරණය කිරීම කරනු ලබන හේතුව මහජනයාට දැනගන්නට සැලැස්වීම විවෘත ආණ්ඩුකරණයක ප්‍රධාන ලක්ෂණයකි.

යම් ප්‍රකාශනයන් වාරණය කිරීමට හේතුව වසන් කරමින්, එයට ජාතික ආරක්ෂාව වැනි උභතෝකෝටිකයකින් වසා ගැනීමට දැගලීම තරම් ඛේදනීය තත්ත්වයක් තවත් නැති තරම්ය. අනෙක තොරතුරු පනත සම්මත වී එහි ප්‍රතිඵල ලබා ගනිමින් ඇති වකවානුවක එහි ඇතැම් කරුණුවලට මුවාවී තම නිරුවත වසා ගැනීමට දැගළීම ගැන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවත්, එයට උපදෙස් දෙන ගෝත්‍රික ඔලුගෙඩිත් නැවත කල්පනා කල යුතුය. එසේ නොවුන හොත් යහපාලනයත්, එහි ඩිජිටල් මාධ්‍ය ප්‍රතිපත්තිත් වැටෙනුයේ රාජපක්ෂලාගේම මඩ ගොහොරුවට බවද අමතක නොකල යුතුයි.

ලංකා ඊ නිව්ස් අවහිර කලේ කවුදැයි දැන් පැහැදිලිය.

පසුගිය නොවැම්බර් මුළ සිට අවහිර වී තිබූ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය වාරණය කලාද? එසේත් නැතිනම් වෙනයම් දෝෂයක්ද යන්න සමාජයේ කතා බහට ලක්වුණි. නමුත් මේ තොරතුරු ඉල්ලීමෙන් පසු ලැබුණු පැහැදිලි කිරීම අනුව ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය සෘජුවම ලංකාව තුළ වාරණය කර ඇත්තේ ‘පොදු යහපත’, ‘විදුලි සංදේශ කර්මාන්තයේ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම’… සඳහා පිහිටුවා තිබෙන බව කියන, එසේම වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ලේකම්වරයා යටතේ පාලනය වන ශ්‍රි ලංකා විදුලි සංදේශණ නියාමන කොමිෂන් සභාව විසින් බව දැන් තහවරු වී අවසන්ය.

අවහිර කිරීමට විරෝධය

ලංකා ඊ නිව්ස් අවහිර කිරීම ගැන පසුගිය නොවැම්බර් මාසය තුළ ලංකාවේ මාධ්‍ය සංවිධාන වන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුලු මාධ්‍ය සංවිධානත්, විකල්ප ප්‍රතිපත්ති කෙන්ද්‍රයත් සිය විරෝධය දක්වමින් මාධ්‍ය නිවේදන නිකුත් කලේය.

විශේෂයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පවසා සිටියේ,

‘විධායක නියෝගයකින් හෝ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ එ්ක පාක්‍ෂික තීරණයකින් හෝ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය අවහිර කිරීම සිදු කොට ඇත්තේ නිසි ක්‍රියාදාමය අනුගමනය කිරීමකින් නොවන බවත් සම්පුර්ණයෙන්ම නිතීයෙන් පරිබාහිර ස්වභාවයකින් වන බවත් විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය සැලකිල්ලට ගනී.’

යනුවෙනි.

එසේම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයත්, අනතර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වයත් පවසා සිටියේ කිසිදු නීතිමය තත්ත්වයන් නොසලකා ගත් මෙම තීන්දුවෙන් හානි වන්නේ මාධ්‍ය නිදහසට සේම ප්‍රකාශනයේ නිදහසටත් බව අවධාරණය කලේය.

‘වාරණය වැනි පසුගාමී ක්‍රියාවන් වත්මන් ඩිජිටල් ලෝකය තුළ පිළිනොගැනෙන තත්ත්වයක් තුළ වත්මන් යහපාලන ආණ්ඩුව එවැනි උත්සාහයන් ගන්නේ නම් ඉන් සිදුවන්නේ ප්‍රකාශනයේ නිදහසට බාධා කිරීම පමණක් නොව ඩිජිටල්, නිදහස් අන්තර්ජාල සමාජය ඉදිරියේ පසුගාමී පාලනයක් බවට පත්වීමත් පමණි‘

යනුවෙන් අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය(IMA) නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙයි.

අභියාචනයක්.!

විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ ඉහත තීන්දුව පිළිබඳව විකල්ප වෙබ් අඩවියේ කර්තෘ සම්පත් සමරකෝන් විසින් කොමිසම් සභාව වෙත අභියාචනයක් කිරීමට නියමිතය.

කොමිෂන් සභාව එවන ලද ලිපි මෙහි දැක්වේ

---------------------------
by     (2017-12-06 13:15:55)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

එදා ‘පොදු යහපත‘ මරාගෙ පවුලෙ යහපත, මෙදා ‘පොදු යහපත‘ සිරාගෙ පවුලෙ යහපත!
-- by Marusira on 2017-12-06

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links