~

අනගාරික ධර්මපාල පොන්නම්බලන් රාමනාදන්ව පාර්ලිමේන්තුවට යවද්දී වීරවංශ නම් සූර චෞරයා සම්බන්ධන්ව පාර්ලිමේන්තුවෙන් එළවන්න හදයි

සල්පිටියේ ධම්මදස්සී හිමි ලියයි

(ලංකා ඊ නිව්ස් -2018.අප්‍රේල්.16, ප.ව. 5.15) අද හරිම වැදගත් දවසක්.. මම එහෙම කියන්නේ අද සිංහල දමිල අලුත් අවුරුද්ද පහුවෙලා හිසතෙල් ගාන නැකත තියෙන දවස නිසා නොවෙයි. මම කවදාවත් හිසතෙල් ගාලා නෑ. අවුරුද්දට කියළා.. හැබැයි මම හිසතෙල් හැමදාම ගානවා ස්නානය කළාට පස්සේ.

 ඒ පුරුද්ද මට ඇති කළේ අපේ අම්මා... අම්මා කියන්නේ තෙල් ගෑවේ නැත්තං හිස කර වෙනවා කියළා... ඒ හින්දා හැමදාම අම්මා පොල්තෙල් තලියක් මගේ ඔළුවේ අතුල්ලනවා. දවල් වෙනකොට ඒ තෙල් මුහුණ පුරා විතරක් නොවෙයි කන්දෙකෙනුත් බේරෙනවා...

 කොහොම වුනත් අද දවස අපිට හරි වැදගත් දවසක් කිව්වේ  හේතුවක් ඇතිව. සමහරු දන්නැතිව ඇති අද වැනි දවසක තමයි ශ්‍රි ලාංකික නිදහස් සටනේ පතාක යෝධයෙක් ලෙස කටයුතු කළ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් තුමා ඉපදුනේ. ඒ 1851 අප්‍රේල් 16. 

සුද්දාගෙන් නිදහස් වීම සදහා අපේ රටේ මිනිස්සු එදා සටන් කළේ සිංහල, දෙමළ මුස්ලිම් , බර්ගර් වශයෙන් බෙදී සිටිමින් නොවෙයි. ඔවුන් එදා ජාතික නිදහස පිණිස සටන් කළේ ශ්‍රී ලාංකිකයින් වශයෙන් එක්වෙමින්.

 ඒ කොයිහැටි වුනත් අද ලිපියට මුලාරම්භයක් වශයෙන් මම මින් පෙර ලියු "ආත්මීය හිගනකම" ලිපියට තම මතය ප්‍රකාශ කළ දයාබර පාඨකයෙක් ලියා තිබුනා මේ සල්පිටියේ කියන්නේ හාමුදුරුනමක් නොවේය- ඔහු ඒ බව දැනගත්තේ ලියා තිබෙන භාෂාවෙන් බව.

බැලුබැල්මට ඒ සහෘදයාගේ  මතය නිවැරදියි. මම හිතන්නේ ඔහු යක්කඩුවේ ප්‍රඥාරාම හාමුදුරුවන්ගේ ලිපි වගේම මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ පානදුරාවාදය පිළිබඳ ලිපිත් කියෙව්වනම් සමහර විට කියාවි ඒ අය තෙරුන්වහන්සේලා නොවෙයි කියළා. 

පානදුරාවාදයේ දී ලක්මිණිපහන හා සිංහල බෞද්ධයා පුවත්පත් අතර ලොකු විවාදයක් තිබුනා. ඒ විවාදය ඇත්තටම මතුවුනේ බුද්ධ දර්ශනය හා ක්‍රිස්තියානි ධර්මය පදනම් කරගෙන. 

 ලක්මිණිපහනේ එක ලිපියක තිබුනා සිංහල බෞද්ධයා ගල්වලට වඳිනවා කියළා. බුද්ධරූප කියන්නේ ගල්වලින් හදපු දෙයක්. ඒවට වඳිනවා නම් කැසිකිළිගල්වලටත් වඳින්න ඕනෑ කියළා ලක්මිනිපහන සඳහන් කළා. 

 ඒකට උත්තර දුන්න මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ කිව්වේ මෙහෙම.  "බෞද්ධයා යමක් කරන්නේ අවශ්‍යතාවය පරිදියි. අපි බුද්ධරූපවලට වැන්දට නිකම් කළුගල්වලට වඳින්නෑ. සමහරු ගෑනුගේ මූණ ඉඹිනවා. ඒ වුනාට පුක ඉඹින්නේ නෑනේ.. “ කියලා සිංහල බෞද්ධයා පුවත්පතේ සඳහන් කළා..

 එහෙම බලපුවාම මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ ලියපු දේ දැකලා කාට හරි කියන්න පුලුවන්  උන්වහන්සේ හාමුදුරු නමක් නොවෙයි කියළා.. 

මාත් මේ ලිපි ලිව්වේ ගැඹුරු භාෂාවෙන් නොවෙයි. සරළ භාෂාවෙන්. ගමේ ගොඩේ භාෂාවෙන්.. ඒ හින්දා තමයි ගොඩක් අය මේ ලිපි පෙළ කිව්වේ. ඒ හින්දා අර අදහස ප්‍රකාශ කරපු සහෘදයාට ස්තුතියි.. මා ගැන උනන්දු වුනාට.. ඒ වගේම මං හදිසියේ මතුවෙච්ච කෙනෙක් හෝ මතුවෙන්ඩ දඟලන  කෙනෙකුත් නොවෙයි. 

මම කිව්වේ අද ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් තුමාගේ උපන්දිනය. මේ දවස අපිට වැදගත් වෙන්නේ අන් කිසි දෙයක් නිසා නොවෙයි. එතුමා ජාතික නිදහස උදෙසා කටයුතු කළ ජාතික වීරයෙක්. එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නියෝජිතයෙක් වශයෙන් එතුමාව පත් කරන්නට  ගෙන ගිය ව්‍යාපාරයේ මුළිකත්වය ගෙන කටයුතු කළේ කව්ද කියලා දන්නවාද.?

 සිංහල නායකයින් කිහිප දෙනෙක් ඉදිරිපත්ව සිටිත්දීත්  ඔවුන් වෙනුවෙන් පෙනී නොසිට, ශ්‍රිමත් පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා වෙනුවෙන් පෙනී සිටියේ අපේ බෞද්ධ නායකයෙක් වුන  ශ්‍රීමත් අනාගාරික ධර්මපාලතුමා.  ඇත්තටම ජාතික සංහිඳියාව ගැන කතා කරන මෙවැනි යුගයක අනාගාරික ධර්මපාලතුමා එදා රටට දුන් ආදර්ශය හරිම වැදගත්. 

මම එහෙම කියන්නේ ඇයි.

විමල් වීරවංශ නැමැති සුරචෞරයාගේ වෙබ් අඩවියක් තිබෙනවා.   ඒ අඩවිය බලන කොට දැන් හැමදාම මොකක් හරි ප්‍රවෘත්තියක් තියෙන්නේ විපක්ෂ නායකකමින් සම්බන්ධන් මහතා ඉවත් කර ඒක ඒකාබද්ධ විපක්ෂයට ගැනීමට උත්සාහ දැරීම ගැනයි.

සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධුරයේ සිටීම ඇත්තටම අපේ රටේ ජාතික එකමුතුභාවය පිළිබඳ හොඳ සංකේතයක්. අන්තර්ජාතිකවත් එය ඇගයීමට ලක් වී තිබෙනවා. දුපත් මානසිකත්වයෙන් පෙළෙන මිනිසුන් පිරිසක් ඉන්න ශ්‍රී ලංකාව ඉදිරියට තැබු එක් පියවරක් තමයි සම්බන්ධන් මහතා විපක්ෂ නායකකමට පත් කිරීම. සම්බන්ධන් මහත්තයාලා අතීතයේදී දෙමළ ජනතාවගේ මතය වෙනුවෙන් පෙනී සිටින්නට ඇති. එවැනි මතයක දී බොහෝවිට තමන්ගේ ගැටලුවලට ආණ්ඩුවලින් කිසිදු පිළිතුරක්  නොලැබුනු නිසා ජාතිවාදී අදහස් ප්‍රකාශ කරන්නටත් ඇති.

 නමුත් ඔවුන් දැන් ප්‍රජාතන්ත්‍රවාදය හා ශ්‍රීලාංකික අනන්‍යතාවය පිළිබදව පෙනී සිටින පිරිසක්. දැන් කිසිවිටෙක ඔවුන් බෙදී වෙන්වීමක් ගැන කතා කර නැහැ. 

විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ මම වැඩිපුරම එක්ව කටයුතු කළේ වාසුදේව නානායක්කාර මහතා හා වික්‍රමබාහු කරුණාරත්න මහතා නියෝජනය කළ නව සමසමාජ පක්ෂය සමගයි. අදටත් වික්‍රමබාහු මහතා ජාතික ගැටළුව සම්බන්ධයෙන් තමන් එදා දැරූ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුවී නැහැ. ඔහුට කෙතරම් හානි වුනත් , අපහාස කළත් එදා සිටි ස්ථාවරයේ ඔහු අදත් රැඳී ඉන්නවා.

 නමුත් වාසු..?  එදා දෙමළ ජනතාවට ස්වයංනිර්ණ අයිතිය දිය යුතුයැයි හඩ නැගූ ඔහුට දෙමළ ජනතාව බිමටම සමතලා කළ යුතුයැයි වැනි මතයක සිටින ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සමග එකට වාඩිවිය හැකිද? විශේෂයෙන් රෙද්දක් ඇඳගෙන..? 

යම්කිසි විදියකින් පාර්ලිමේන්තු මීලග සැසිවාරයේදී ඒකාබද්ධ විපක්ෂය විසින්  සම්බන්ධන් මහතා විපක්ෂ නායකකමින් ඉවත් කර විපක්ෂ නායකකම තම පිළට ගැනීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට හොඳටම ඉඩකඩ ඇත. 

 උදය ගම්මන්පිළ, විමල් වීරවංශ, දිනේශ් ගුණවර්ධන වැනි ජාතිවාදි කොටස් ඊට පක්ෂව ඡන්දය දෙනවිට වාසුට තව දුරටත් ඔහුට නිවැරදි හෘද සාක්ෂියක් තිබේනම් ඒකාබද්ධ විපක්ෂය සමග එකට එක්ව සම්බන්ධන් මහතා විපක්ෂ නායකමෙන් නෙරපීමට ඡන්දය දිය හැකිද? 

සිංහල ජාතිය, බෞද්ධ දර්ශනය ගැන මහත් අදහස් පළ කළ, ඒ වෙනුවෙන් පෙනී සිටි අනගාරික ධර්මපාල තුමා ජාතික සමගියේදී දෙමළ මිනිසුන් අතහැරියේ නැත. එතුමා ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා වෙනුවෙන් පෙනී සිටියේ එතුමා සතුව පැවැති ජාතික උත්කෘෂ්ඨභාවය නිසයි. කෙටියෙන් කියතොත් වාසුලා මෙන් ආත්මීය හිගනකමෙන් පෙළෙන පුද්ගලයින් මෙන් නොව ආත්මීය වශයෙන් පොහොසත් බව මුළු ලෝකයටම පෙන්වමින්. 

සම්බන්ධන් මහතා විපක්ෂ නායකවරයා ලෙස පත්කිරීමට වැඩිම කාර්යයක් ඉටු කරන ලද්දේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. 2005  ජනාධිපතිවරණයේදී තම ජයග්‍රහණය අතේ තබාගෙන සිටි රනිල්ගෙන් එය උදුරා මහින්දගේ අතේ තැබුවේ දෙමළ ජාතික සන්ධානයයි. අවසන් මොහොතේ කොටි සංවිධානය විසින් දෙමළ ඡන්ද වර්ජනය කිරීමට ගත් තීන්දුවත් සමග දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ජනාධිපතිවරණයේදී රනිල්ට ඡන්දය නොදෙන මෙන් දෙමළ ජනතාවට දැනුම් දුන්නේය.

 එහි ප්‍රතිපලය වුයේ වැඩි ඡන්ද එක්ලක්ෂ හැටදහසකින් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමයි. එදා මහින්දට වැටුනු ඡන්ද කොටින්ගේ ඡන්ද යැයි කියන්නට රනිල් හෝ එක්සත් ජාතික පියවර ගත්තේ නැත. 

එදා දෙමළ සන්ධානය ගත් එම තීරණය සම්බන්ධයෙන් රනිල් දෙමළ ජනතාවටවත්, සම්බන්ධන්ලාටවත් දොස් කියන්නට ගියේ ද නැත. ආඩපාළි කිව්වේ ද  නැත. දෙමළ ජනතාවගෙන් ඡන්දය ලබා ගෙන ජනාධිපති වු  මහින්ද දෙමළ ජනතාවට කුඩුපට්ටම් වෙන්නට ගැසුවේය. ඔවුන්ගෙන් පැහැර ගත් රත්තරන්වලින් රණවිරු සෑයේ රත්තරන් බුදුපිළිම තැම්පත් කළේය. 

එහෙත් සම්බන්ධන්ලාගේ ඡන්දවලට පින්සිද්ධවෙන්නට ජනාධිපතිවරයා වී ඉන් අනතුරුව සදාකාලිකවම එම තනතුරේ සිටින්නට උත්සාහ කළ මහින්දලාට අනුව අද සම්බන්ධන්ලා කොටින්ය. ඔවුන්  ඒ කොටි ලේබලය අළවන්නේ රනිල්ගේ පිටේය.

 විශ්වාසභංගය පරාද වු පසු ඒකාබද්ධ විපක්ෂය රටට කිය කියා ගියේ රනිල් රට දෙකට කඩන්නට දෙමළ සන්ධානයේ කොන්දේසි දහයකට එකග වු නිසා දෙමළ සන්ධානය විශ්වාසභංගය පරාජය කිරීමට දායක වු බවයි. සැබවින්ම එවැනි කොන්දේසි දහයක් තබා එකක්වත් නැති බව හැමෝම දනිති. 

නමුත් එසේ චෝදනා කරනවුන්  2005 මහින්ද විසින් ජනාධිපතිවරණය දිනන්නට කොටි සංවිධානයට රුපියල් කෝටි 200ක මුදලක් දීම ගැන කතා කරන්නේ නැත. බන්ධුල ගුණවර්ධන මහතා එදා පුවත්පතකට ලියු ලිපියක සදහන් වන්නේ  "කොටි ගිවිසුමක් තිබෙන්නේ රනිල් සමග නොව මහින්ද සමග බවයි. "

 මම මෑතක දී උතුරට ගිය අවස්ථාවක දෙමළ ජනයාට අයත්ව තිබු , පසුව හමුදාවට පවරාගත් ඉඩම්  ආපසු දෙමළ ජනතාවට දෙන ආකාරය නිරීක්ෂණය කළෙමි. තනිකර වැලිවලින් පිරි මේ මුඩුබිම් දවල් දොලහ වනවිට  නිරුදක කතරක් මෙන් මිරිගු දිය නලියන්නේය.. වාතය සෙන්ටිග්‍රේට් අංශක 45 ඉක්මාව රත්වන්නේය. අවට කටුපදුරු මිස රූස්ස වනස්පතීන් නැත. ඉඳහිට හෝ සිහිල් සුලඟක් හෝ හමා නොයන්නේය. උණුසුම් වු වාතය කැකෑරෙමින් අවට ගිනි ගන්වයි. 

තම දරුවන්ට ඉන්න හිටින්නට තැනක් නැතිව, කන්න දෙයක් නැතිව, ඉණට අදින්නට වස්තරයක් නැතිව, දරුවන්ට ඉගෙන ගන්නට පාසලක් නැතිව සිටින ඒ අහිංසක දෙමළ ජනතාව විදින දහදුක මනුස්සයින්ට නම් ඉවසා දරා ගත නොහැකිය. 

එහෙත් දෙවියන්ගේ ආශිර්වාදයක් නිසා දෝ පොළවේ අඩි දහයක් දොළහක් කණින විට ජල උල්පත් මතුවේ. මේ එම ඉඩම්වල සැබෑ තත්ත්වයයි. 

එවැනි ඉඩම් යළිත් ඔවුන්ට පවරා දීම කෙතරම් යහපත් ක්‍රියාවක්ද..? එය අගය කළ යුතුය.

මම දිනක් වාසුගේ බැරැක්ක පටුමගේ තිබු කාර්යාලයේදී ඔහුගේ දේශනයකට සවන් දුනිමි. ඒ 1985 දීය. වික්‍රමබාහු හා වාසු දෙදෙනාම එදා එම දේශනයට සහභාගි වි සිටියේය.

..... උතුරේ ජනතාවට ලබා දිය යුත්තේ බලය පමණක් නොවේ. බලය බෙදාහරිනවාට වඩා අවශ්‍ය වන්නේ සම්පත් සාධාරණව බෙදාහැරීමයි. ඒත් උතුරේ  දෙමළ ජනතාවගේ ඡන්දය ඉල්ලන රටේ සිංහල පක්ෂ කවදාවත් උතුරට සම්පත් දී ඇත්ද..?බෙදාහැරිය යුත්තේ සම්පත් මිස බලය නොවේ....... 

 මේ එදා වාසු නැගූ ප්‍රශ්නයයි.  එහෙත් අද වාසු දෙමළ ජනයා කොටින් ලෙස හංවඩු ගහමින් ජාතිවාදින්ට උඩගෙඩි දෙමින් සිටියි.

අවසාන වශයෙන් මේ මෑතක දී වු සිද්ධියක් ගැන ඔබට කියමි.

මේ කතාව මගේ හිතවත් වෛද්‍යවරයෙක් කී කතාවකි.

 දැනට යාපනය රෝහලට ආඝාත ප්‍රතිකාරක ඒකකයක් නැත. ආඝාත තත්ත්වයට යාපනයේ මිනිසෙක් පත්වුවහොත් ඔහුව ගිලන් රථයෙන් මහනුවරට හෝ කොළඹට ගෙන ආ යුතුය. ඒ සදහා අඩුම තරමින් පැය හතක්වත් ගතවේ. ඒ එනවිට රෝගියා පුර්ණ ආඝාත තත්ත්වයට පත්වී අවසානය. 

 මක්නිසාද යත් ආඝාත තත්ත්වයට පත්වු රෝගියෙක් අඩු තරමින් පැය දෙකක් තුළ රෝහල් ගත් කරන්නේ නම් අවශ්‍ය ප්‍රතිකාර දී ඔහුව ආඝාත තත්ත්වයෙන් මුදා ගැනීමට හැකියාව වෛද්‍යවරුන් සතුවේ.  

 ඒ සඳහා වන විශේෂ යන්ත්‍රයක් රජයෙන් ඉල්ලු විට සෞඛ්‍ය බලධාරියෙක් එම යන්ත්‍රය යාපනයට දීම වෙනුවට එය පේරාදෙනිය රෝහලට දීමට තීරණය කළේය.

අදාල වෛද්‍යවරයා අගමැතිවරයා හමුවිය. වහාම එම යන්ත්‍රය යාපනයට දෙන ලෙස අගමැතිවරයා අග්‍රාමාත්‍ය ලේකම්වරයා මගින්  සෞඛ්‍ය ලේකම්ට නියෝග කළේය. නමුත් එම යන්ත්‍රය ලබා දීම ප්‍රමාද විය. ඉන්පසුව සම්බන්ධන් මහතා ද  ජනාධිපතිතුමාට කතා කළේය. ජනාධිපතිවරයා ද එය යාපනයට දෙන ලෙස උපදෙස්  දෙනු ලැබීය. එහෙත් නිලධාරින් දෙපැත්තට කඹ අදිමින් එය යන්ත්‍රය පේරාදෙනියට ම දෙන්නට කැස කැවීය.
 
 මෙම ආරංචිය සෞඛ්‍ය අමාත්‍යවරයාට ද ආරංචි විය . ඔහු පළු යන්නට නිලධාරින්ට  දොස් කීය. මහනුවර රෝහලේ එක් යන්ත්‍රයක් තිබේ නම් තවත් එකක් පේරාදෙනියට අවශ්‍ය නැත. හැරත් ප්‍රමුඛතාවය ලැබිය යුත්තේ යාපනය රෝහලට බව  සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා නිලධාරින්ට කීය.

 රාජිත සේනාරත්න මහතා ඇතුලු රජයේ  මැදිහත්වීම මත දැන් එම යන්ත්‍රය යාපනයට ලබා දීමට තීරණය කර ඇත. 

සංහිදියාව ගැන පොත් පිරෙනකම් කතා කළත් පළක් නැත. දෙමළ ජනතාවගේ සිත් දිනාගැනීමට නම් දකුණේ ආණ්ඩුව උතුරේ ජනයාගේ ගැටලුවලට විසදුම් ලබා දිය යුතුය. 

 ඒක ජාතිවාදය නොවේ. දෙමල මිනිහගේ පුලියානං හොද්ද සමග  ඉදිආප්ප  තලුමරමින් ගිල දමන   සිංහල මිනිස්සු ජාතිවාදීන් නොවේ. එහෙත් සමහර නායකයෝ දෙමළ සිංහල බේද අවුලුවා ඉන් ඵල නෙළන්නට උත්සාහ දැරීම මේ ප්‍රශ්න සියල්ලටම මුල වේ. ඒ අනුව සැබෑ සිංහල දේශපාලනඥයින්ට නම් සම්බන්ධන් මහතා විපක්ෂ නායකකමෙන් නෙරපීමේ පවට දායකත්වය දිය නොහැකිය. 

 ශ්‍රීමත් අනාගාරික ධර්මපාල තුමා ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් තුමාව මහා මන්ත්‍රණ සභාවට පත් කරන්නට සියලු වෙහෙස ගත්තේ සිංහලයාගේ උත්කෘෂ්ඨබව ලෝකයාට පෙන්වන්නටයි. සිංහල බෞද්ධයාගේ උත්කෘෂ්ටභාවය යනු සුළු ජාතීන්ට පත බෑම නොව ඔවුන් ආරක්ෂා කිරීමයි 

 අද දවස ඉතාමත් වැදගත් දවසක් බව මා කිව්වේ එනිසාය. 

සල්පිටියේ ධම්මදස්සී හිමි  

---------------------------
by     (2018-04-16 11:54:24)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links