සල්පිටියේ ධම්මදස්සි හිමි ලියයි
(ලංකා ඊ නිව්ස් -2019.ජන.04, ප.ව.11.55) පසුගිය ජනවාරි 3 දා දවල් 12 ට පමණ මම මගේ හිතවතෙකුගේ වාහනයෙන් කිරුළපනට යමින් සිටියෙමි. කිරුළපොන හන්දියේ මාර්ග සංඥා අසල තරමක වාහන තදබදයක් පැවැතිනි. මගේ මිතුරා වාහනය නවත්වාගෙන සිටි අතර අපට වාහන දෙක තුනකට පමණ ඉදිරියෙන් මහ දවාලේ ගිනි කූඨක අව්වේ වේළෙමින් විරිදු කියන වයසක මිනිසෙක් සිටියේය. ඔහු වරින්වර කට ඉහළට ඔසවමින් අහස දෙස බලා යළි යළිත් විරිදු ගායනා කරයි. වයස අවුරුදු 75 ක් පමණ වු මේ මිනිසා විඳින දුක මම නිරීක්ෂණය කළෙමි.
දැන් ඔහු මා සිටි වාහනය අසළට පැමිණ විරිදු ගයන්නට විය. මම වාහනයේ වීදුරුව පහත් කර “මාමා ඇයි වතුර තිබහද?” කියා ඇසීමි.
“එහෙමයි හාමුදුරුවනේ... දිව ගිලෙන්ඩ පිපාසේ.. ඒත් කීයක් හරි හොයා ගන්ඩ එපැ”යි ඔහු පැවසීය.
මම ඔහුට රුපියල් 20ක් දී මා වෙත තිබු වතුර බෝතලය ඔහුට දුනිමි.
වතුර බෝතලය ගත් සැනින් ඔහු එය උගුරට දෙකට බොන්නට වුයේ හරියට අසුරයින්ට අමෘතය ලැබුනු පරිද්දෙනි.
මම මේ කතාව ඔබට කියන්නට සිතූයේ මට අසන්නට ලැබුනු තවත් කතාවකට මුල පිරීමක් වශයෙනි.
අපේ රටේ සියයට 95ක් පමණ දෙනාට ජීවත්වීම සඳහා දෛනිකව ලැබෙන්නේ ඉතාමත් අල්ප සොච්චම් ආදායමකි. මහපාරේ දහදිය වගුරවමින් හා ගොවිපළේ දහදිය පෙරමින් වැඩ කරන කම්කරුවාත්, කර්මාන්ත ශාලාවල පමණක් නොව අංක එකේ සුපර් මාර්කට්වල පවා උදේ අටේ සිට මහ රෑ 12 දක්වා හිටගෙන වැඩ කරන තරුණ තරුණියන්ට ද ලැබෙනුයේ අඩුම තරමින් මාසයක් පාන් වත් කන්නට බැරි සොච්චම් වැටුපකි.
එසේ තිබියදී අපේ රටේ ඇතැම් රැකියාවල නිරත සමහර නිලධාරීන් තමන් “අතේ ඇති හැන්දෙන් ඇති පදම් බෙදා ගන්නා ආකාරය” දෙස බලන විට අපිට ඇති වන්නේ සසර වේදනාව පමණක් නොව යළිත් මේ රටේ ඉපදෙන්නටවත් එපා යන සිතිවිල්ලයි.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරින්ට වැටුප් වැඩි කර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද රනුග්ගේ කමිටුවේ වාර්තාව අනුව පරිපාලන සේවාවේ වැටුප් වැඩි කිරීම සඳහා යෝජනා ඉදිරිපත් ව ඇත. ඒ අනුව ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ වැටුප් වැඩි කිරීම ඉදිරි මාසය තුළ සිදුවන අතර ඒ යටතේ වැටුප් වැඩි කිරීම සඳහා රජයට වැය කිරීමට සිදුවන මුදල රු. බිලියන 142 කි. එපමණක් නොව ඔවුන්ට විශ්‍රාම වැටුප ගෙවීමට මෙම වැටුප් වැඩිවීමත් සමග තවත් රු. බිලියන 17ක් වැය වෙයි. මෙපමණ මුදලක් රජයට වැය කරන්නට සිදුවීමෙන් වෙනත් සංවර්ධන කටයුත්තක් කළ නොහැකි අතර සිදුවන එකම දෙය පරිපාලන සේවයේ නිලධාරීන්ගේ හා ඔවුන්ගේ අඹු දරුවන්ගේ උදර පෝෂණය කිරීම පමණි.
එපමණක් නොව පරිපාලන සේවයේ නිලධාරින් අමාත්‍යාංශ ලේකම් තනතුරට පත්වීමෙන් පසු එම තනතුරේ මාස දෙකක් හිටියත්, වසර 04 ක් ඔවුන් සේවය කළේ යැයි සළකා ඉහත සඳහන් වැටුප් වැඩිවීම ලැබෙන අතර ඔවුන්ට විශ්‍රාම වැටුපද ඊට අදාලව ලැබේ.
අනෙක් කාරණය නම් මේ පරිපාලන සේවයේ නිලධාරින් කෙතරම් ආත්මාර්ථකාමී හා වංචාවට කැමැති පිරිසක්දැයි සිතුවහොත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය සමයේ ඔවුන්ට රු. 30,000ක වැටුප් වැඩිවීමක් ලබා දෙනු ලැබීය. වත්මන් රජය විසින් එම රු. 30,000ට තවත් රු. 20,000ක් එක් කර රු. 50,000කින් වැඩි කිරීමට පියවර ගත්තේය.
නමුත් එම වැටුප් වැඩි කිරීම් තමන්ට වාසිදායක වන පරිදි අර්ථකතනය කරමින් මෙම නිලධාරින් දැන් රු. 80,000ක් වැටුප් වැඩිවීමක් ලබාගනිමින් සිටී…
රටේ තවත් සේවාවන් ගණනාවකට අයත් සේවක මණ්ඩල තමන්ට ජීවත්වීමටවත් සරිලන වැටුපක් නොලබද්දී ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ නිලධාරින් විසින් තමන් අතේ ඇති හැන්දෙන් තමන්ට ඇති පදම් හොඳ හැටි බෙදා ගැනීම සැබවින්ම අප වැනි අන් රටවලින් ලබා ගන්නා ණයවලින් යැපෙන රටකට ගැළපේදැයි සිතා බැලිය යුතුය.
රජයේ දේපොළ යනු මහජන දේපොළයි. එවැනි දේපොළ පරිහරණය කරන විට සාංඝික දේපොළ ලෙස සිතා කටයුතු කළ යුතුය. මහජන දේපොළ ගසා කන්නවුන් මියගිය පසු බල්ලන් කපුටන් වී උපදින්නේ යැයි අපේ පැරනි ශිලා ලිපිවල ද දැක්වේ. ගම්වල මිනිසුන් කියන්නේ මහජන දේපොළ යනු “රේල්පාරේ අඟුරු කෑවා වගේ” යැයි කියායි.
එපමණක් නොව ගම්වල ජනතාව කියන්නේ මහජන දේපොළ ගසාකන්නවුන් මිය යායුත්තේ ලේ බඩයාමෙන් බවයි. මේ අන්දමින් මහජන මුදල් තම සිතැඟි පරිදි ගසාකන මොවුන් ගේ දරුවන්ටවත් යහපතක් වන්නේ දැයි සිතා බැලිය යුතුය.
නමුත් රාජ්‍ය පරිපාලන සේවයේ ඉතාමත් කිර්තිමත් පුද්ගලයින් සිටිති. මහජන දේපොළ ගසා නොකමින්, තමන්ට ලැබෙන මාසික වේතනයට වඩා මහජනතාව ගැන සිතා බලා කටයුතු කරන නිලධාරීන් රැසක් මෙම සේවාව තුළ සිටිති. ඔවුන්ට රටේ ජනතාවගේ ගෞරව ප්‍රශංසාව හිමි විය යුතුය. එහෙත් කාක්කන් මෙන් ගසා කෑමටම උපන් පිරිසක් ද මෙම සේවාව තුළ සිටින හෙයින් ඔවුහු අර කිර්තිමත් නිලධාරීන්ගේ ගෞරවය ද කෙළෙසනු ලබති.
රනුග්ගේ මහතා මෙවැනි නිර්දේශයක් ඉදිරිපත් කළේ කෙසේදැයි මම නොදනිමි. වැටුප් වැඩි කර ගැනීම සඳහා ඉදිරිපත් කරන යෝජනා ප්‍රායෝගික විය යුතුය. එහෙත් තමන්ට වැටුප් හිමි වන්නේ මේ රටේ අහිංසක මිනිසුන් උපයන ධනයෙන් පමණක් නොව මහ මග ලොතරැයි විකුණා හවස් වරුවේ කඩේකට ගොස් තම දරුවන්ට කන්නට හාල් කිලෝවක්, පාන් රාත්තලක්, සීනි 500ක් මිල දී ගන්නා අන්ධ පුද්ගලයාත් ගෙවන බදුවලින් බව මෙම නිලධාරින් මතක තබා ගත යුතුය.
ඔවුන්ගේ බදු මුදලින් තමන්ගේ වැටුප් වැඩි කර ගෙන තමන්ගේ දරුවන්ට ඇපල්, මුද්දරප්පලම්, චීස් කවමින් පෝෂණය කරන්නේ නම් එම දරුවන්ට කවන්නේ මේ රටේ ජනතාවගේ හද පතුලේ නැගෙන ගින්දර බව මෙම නිලධාරීන් මතක තබා ගත යුතුය.
අද අපේ රටේ රෝහල්වල හෘද සැත්කම්, බයිපාස්, ආඝාත සැත්කම් කරන වැඩිහරියක් දෙනා වැඩ කරන සාමාන්‍ය වැඩ කරන ජනතාව නොව මේ අන්දමට මහජන මුදල් ගසා කමින් තම බඩවියත රැකගන්නවුන්ය. සැබවින්ම ඔවුන්ගේ ශරීර තුළ ඇවිළෙන්නේ අර අහිංසක මිනිසුන්ගේ දුක් සුසුම්වල ආත්මය බව මෙම නිලධාරින් සිහිපත් කළ යුතුය.
භික්ෂුවක් ලෙස මා මේ ප්‍රශ්නය ගැන ලියන්නේ මෙය මට අයත් කාරණයක් නොවන බව නොදැන නොවේ. එහෙත් මා ද මේ රටේ පාරවල්වල ඇවිදින, අහිංසක ජනතාව සමග ගැවසෙන මිනිසුන්ගේ දුක හොඳ හැටි දන්නා අයකි... මා භාවිතා කළ වචන සැර වැඩි යැයි ඇතැම් විට මට සිතේ... එහෙත් මෙවැනි කාළකන්නි මිනිසුන්ට එවැනි වචන භාවිතා නොකළහොත් එමගින් මට කියන්නට අවශ්‍ය දෙය සූචනය නොවෙතැයි මට සිතේ…
මට මේ ගැන ඇත්තේ මහත් කණගාටුවකි.. රජයේ වගකිවයුත්තෝ මීට එරෙහි විය යුතුය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරින්ගේ වැටුප් වැඩි කළා කියා රජයට ලැබෙන කෙංගෙඩියක් නැත. අඩුම තරමින් මේ මුදල් වැය කර ගම්බද පාසල්වල සිටින පයට දාන්නට සෙරෙප්පුවක් නැති දරුවන්ට සපත්තු කුට්ටම බැගින් වත් ලබා දුන්නා නම් අඩුම තරමින් මහජනතාව වත් රජයට හොඳ කියනු ඇති බව මගේ විශ්වාසයයි..
හිමියන්ගේ පෙර ලිපි එකතුව පහතින් කියවන්න
https://www.lankaenews.com/category/50
---------------------------
by (2019-01-05 00:12:56)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි