~

ජනාධිපති ඡන්දයට පෙර පාර්ලිමේන්තු ඡන්දයක්..! බෝම්බ අස්සේ ගමරාළ පට්ට කුමන්ත්‍රණයක..! ඉත්තන් ඇද්ද හැටි, ගේම ගහන හැටි..!

චන්ද්‍රප්‍රදීප් හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2019.මැයි.28, පෙ.ව.7.25)  මාතෘභූමිය බිලිගත් ලෝක ත්‍රස්තවාදයකින් සහ ඇවිලෙමින් යන ජාතිවාදී ගිනි දැල් වලින් රටවැසියන්ගේ ජීවිත සහ දේපොල විනාශ වෙද්දී වගේ වගක් නොමැතිව තම පුද්ගලික අභිමතාර්ථයන් හීන් සීරුවේ ඉටු කරගන්නා ජනාධිපති පල්ලෙවත්ත ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන ජනාධිපතිවරණ ඡන්දය කල් දමා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය තමා අතට ගැනීමේ කුමන්ත්‍රණයක නියැලෙමින් සිටින බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. 

ජනාධිපතිගේ කුමන්ත්‍රණ සැලැස්ම මෙසේය.

වරක් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා සිටියේ තමාට හිමි ධූර කාලය වසර 6 ද? වසර 5 ද? කියා ය. ඊට හේතුව ලෙස ඔහු කියා සිටියේ තමන් ජනාධිපති ලෙස පත්වූයේ 19 වෙනි සංශෝධනයට පෙර ජනාධිපතිවරයෙකුගේ ධූර කාලය වසර 6 ලෙස සඳහන් යුගයේ නිසා බවයි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය බොහොම පැහැදිලි ලෙස 19 වෙනි සංශෝධනය ඒ පිලිබඳව සඳහන් කර ඇති බව දන්වමින් වත්මන් ජනාධිපති ගේ ධූරකාලය වසර 5 ක් ලෙස දන්වා සිටියේ ය. දැන් ඔහු යළිත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නට යන්නේ ඒ වසර 5 ගණන් හැදෙන්නේ 19 වෙනි සංශෝධනය සම්මත වූ දා සිටද? කියා ය. 

19 වෙනි සංශෝධනය 2015 අප්‍රේල් අග සම්මත වූ අතර ඊට නිල තත්ත්වය ලැබුනේ මැයි මාසයේ දී කතානායකවරයා විසින් අත්සන් තැබීමෙන් පසුව ය. ඒ අනුව ජනාධිපති විමසීමට යන්නේ 2015 මැයි මාසයේ සිට වසර 5 ගණන් ගැනෙන්නේ නම් ඔහුට ජනාධිපති ලෙස 2020 ජනවාරි දක්වා නොව 2020 මැයි දක්වා බලයේ සිටිය හැකිය යන තර්කය අනුවයි. ශ්‍රේෂ්ඨාධිකරණය වසර 5 ගණන් ගැනෙන්නේ 19 වන සංශෝධනය සම්මත වූ දා සිට යැයි පිළිගතහොත් ජනාධිපතිට වත්මන් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ නෛතික බලය ලැබෙන්නේය. පාර්ලිමේන්තු කාලය අවසන් වීමට මාස 6 ක සීමාව දක්වා ජනාධිපතිවරයෙකුට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බලයක් දැනට නැත. 2015 අගෝස්තුවේ පිහිටැවූ වත්මන් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිට බලය ලැබෙන්නේ 2020 පෙබරවාරියේ දී ය. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තමන්ට අවශ්‍ය මතය ලබා ගතහොත් ජනාධිපති ගමරාළට ජනාධිපතිවරණයකට පෙර පාර්ලිමේන්තුව විසිරුවා පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමේ අවස්ථාව ලැබෙන්නේ ය.  

කුමන්ත්‍රණයට පෙර ඉත්තන් ඇද ගත් හැටි.. 

ඉහත කී කුමන්ත්‍රණ ගේම ගැහීමට ගමරාළ ජනාධිපති පෙර කී ලෙසම රටේ බෝම්බ පුපුරද්දී ජාතිවාදී ගිනිදැල් ඇවිලෙද්දී හෙමින් සීරුවේ තමන්ට අවශ්‍ය ඉත්තන් සියළුම දෙනා පාහේ ඇද ගත්තේය. 

ප්‍රධාන වශයෙන්ම ඔහු තමන්ට හිතවත් හිටපු නීතිපති ජයන්ත ජයසූරියගේ නම බෝම්බ ප්‍රහාරයෙන් පස්වන දිනයේදීම ව්‍යවස්ථා සභාවට එවා අගවිනිසුරු ලෙස අනුමත කරවා ගත්තේ ය. ජයන්ත ජයසූරිය කෙතරම් නීති පකීර් කෙනෙක් වුවද දින 52 කුමන්ත්‍රණයේ දී 19 වන සංශෝධනයෙන් පසුවත් ජනාධිපතිට හිතූ හිතූ ලෙස පාර්ලිමේන්තුව විසිරුවිය හැකි යැයි කියා අපොස සා.පෙල විභාගයේ බහුවරණ ප්‍රශ්නයට තිබූ පිළිතුරටත් ප්‍රතිපක්ෂව තර්ක කරමින් තමන්ට තිබූ ගරුත්වය සුන් කර ගත්තේ අනවශ්‍ය අන්දමට ජනාධිපති සරණං ගච්ඡාමි කීම නිසා ය.

ඒ සමගම ජනාධිපති කෙළේ තමන්ට දැඩි සේ හිතවත් දප්පුල ලිවේරා නීතිපතිකරවා ගැනීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගැනීමයි. දැන් දප්පුල ලිවේරා රාත්‍රී භෝජනයටත් පැජට්පාරේ ජනාධිපති නිවසේ ගැවසෙන චරිතයක් වී තිබේ. 
 
මේ සියල්ලට පෙර නීතිපති හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධූරයකට සුදුසු බොහෝ දුරට අපක්ෂපාතී චරිතයක් වූ යසන්ත කෝදාගොඩට ඒ ධූර දෙකටම යෑමේ අවස්ථාව නොසලසා අභියාචනාධිකරණයේ සභාපතිධූරයේ හිරකර දැම්මේ ය. 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ දැනටමත් ජනාධිපතිගේ මිනිහෙක් වී අවසාන ය.

නිකම්ම බ්ලාස් වූ දහ නමයේ ප්‍රතිසංස්කරණ... 

බෝම්බ අව් අස්සේම ජනාධිපති කලක් තිස්සේම ඉවත් කිරීමට දත කමින් සිටි පොලිස්පති පූජිතව නිකම්ම බ්ලාස් කර අනිවාර්ය නිවාඩු යැව්වේ ය. එසේ කෙළේ පොලිස්පතිවරයාගේ විනය පිළිබඳ තීන්දු ගැනීම පාර්ලිමේන්තුව සතුව තිබිය දී ය. බෝම්බ බිය නිසා ඒ ගැන කතිකාවක් ඇති වුනේම නැත. මේ ආදර්ශය අනුව අවශ්‍ය නම් ජනාධිපතිවරයාට අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ද, ස්වාධීන යයි කියන කොමිෂන් සභා සාමාජිකයන්ගේද, ව්‍යවස්ථා සභාව අනුමත කළ යුතු යැයි කියන අනෙකුත් ස්වාධීන ධූරයන්ගේද ධූර අනිවාර්ය නිවාඩු යවා නිකම්ම බ්ලාස් කළ හැකිය. 19 වෙනි සංශෝධනයෙන් පම්පෝරි ගැසූ ජනාධිපතිගේ විධායක බලතල කොමිෂන් සභාවෙත පැවරුනා යයි කීම දැනුත්  එසේමද යන්න කිසිවෙකු ප්‍රශ්න කරන්නේ නැත. 19 න් ගෙනා ප්‍රතිසංස්කරණ ජනාධිපති යලි තම අතට ගෙන ඇති අතර ඒවා දැන් නීතිය ඉදිරියේ අභියෝග වීම වැළැක්විය නොහැකිය. 

ජනාධිපති කල් තියා සැලසුම් කළා; ව්‍යවස්ථා සභාව බිය වුනා..   

කෙසේ වෙතත් ජනාධිපතිගේ මේ හදිසි පත් කිරීම් වලට ව්‍යවස්ථා සභාවෙන් අනුමැතිය ලැබුනේ අන් කිසි කාරණාවක් නිසා නොව බෝම්බ වැලකින් රට කම්පනය වී තිබිය දී තමන් ජනාධිපතිගේ යෝජනා කල් දැමීමෙන් රට තවත් අස්ථාවර වනු ඇතැයි යන බිය ව්‍යවස්ථා සභාව වෙලාගෙන තිබූ නිසා බව අවිවාදිත ය.

පල්ලෙවත්ත ගමරාළ බෝම්බ අස්සේ තමන්ට අවශ්‍ය කුමන්ත්‍රණ ගේමට අවශ්‍ය පල එලා ගත්තේ එලෙස ය. ඔහු මේ වැඩේට කල් තබා සූදානමින් සිටි බව පැහැදිලිය. මන්ද යත් ඔහු අප්‍රේල් මාසයේ මුල සිටම රටේ තව්හිද් ජමාද් ප්‍රහාරයක් සිදුවන බව දැන සිටි නිසාය. වතාවක් නොව පස් වතාමක්ම ඒ ගැන දැනුම් දී තිබිය දී ඔහු නොදැන සිටියා යයි කීම පට්ට පල් බොරුවකි. ඊට ඇති හොඳම සාක්කිය වන්නේ අවුරුදු කාලයේ රට පෙරලන ප්‍රවෘත්තියක් ලැබෙන බව කියා ප්‍රධාන පුවත් පත් වල මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයකට ඉඩ තබාගන්නැයි ජනාධිපතිගේ ලඟින්ම සිටින මාධ්‍ය හෙංචයියන් පුවත් පත් කතුවරුන්ට දැනුම් දී තිබීම යි.  එනම් ජනාධිපති කල් තියා බෝම්බ අස්සේ තමන්ගේ කුමන්ත්‍රණ ගේම ගහන්නේ කෙසේදැයි සැලසුම් කර තිබුන බව පැහැදිලි ය. 

සිසිර ආබෲ විශ්‍රාම යන තුරු බලා සිටී..

දැන් ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරු සිසිර ආබෲ විශ්‍රාම යන තුරු හිඳීමයි. මන්ද යත් ඔහුට විශාල බලපෑමක් කළ හැකි අයෙකු නිසා ය. ආබෲ මහතා ලබන මාසයේ විශ්‍රාම යෑමට නියමිත ය. 

බෝම්බ ප්‍රහාර වැලෙන් අධිකරණයද අනවශ්‍ය තරමට කම්පනය වී තිබෙන බව පැහැදිලි කාරණයකි. ‌නොඑසේ නම් සුක්කානමක් තිබූ ගවුමක් හැඳගත් කාන්තාවක් හිරේ දමන්නේ නැත. 

තමාට අවශ්‍ය රටේ ජනමතයේ අඩු වැඩිය හදා ගැනීම සඳහා ගමරාළ ජනාධිපති දැන් ඥානසාර ද එළියට ගෙන තිබේ. ඥානසාර ජනාධිපතිට අවශ්‍ය ආකාරයට ජාතිවාදය වපුරමින් අවශ්‍ය ස්ථාන ගිනි තබමින් හනුමාගේ කාරිය කරනු ඇත. ඔහු මේ දිනවල ඉන්නේ වලිගයට රෙදි ඔතමින් බව ඔහුගේ ක්‍රියාවලින් පෙනේ.   

ජනාධිපතිවරණයකට පෙර පාර්ලිමේන්තු මැතිවරණයකදී ගමරාළට ඇති වාසිය

ජනාධිපතිවරණයකට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමෙන් සිරිසේනට වාසි වන්නේ කෙසේදැයි යමෙකු විමසිය හැකිය. ප්‍රධානතම වාසිය නම් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගන්නා කණ්ඩායමට බලපෑම් කිරීමට ජනාධිපතිට ඇතිවන හැකියාවයි. ඊට හොඳම උදාහරණය නම් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී මහින්ද දිනුවත් ඔහුට අගමැතිකම නොදෙන බවට මැතිවරණ ව්‍යාපාරය අවසානයේදී ජනාධිපති කී ප්‍රකාශයේ බලපෑම කොතෙක් වීද යන්න සලකා බැලීමයි. 

අනෙක් අතට දැනට නිසි ජනාධිපති අපේක්ෂකයෙකු නොමැතිව දඟලන රාජපක්ෂ පවුලේ අයට ජනාධිපතිවරණයකට වඩා පාර්ලිමේන්තු මැතිවරණයකින් ලැබෙන වාසිය වැඩිය. ඔවුන් දැනටත් වඩා ජනාධිපති ගමරාළට පක්ෂපාතීව ක්‍රියා කරනු ඇත. 

අවසානයේ කලින් පවත්නා පාර්ලිමේන්තු මැතිවරණයකින් ජය ගන්නා කණ්ඩායමට ගමරාළ  වැදගත් චරිතයක් වීම වැළැක්විය නොහැකි ය. එවිට පසුව පැවැත්වෙන ජනාධිපතිවරණයකදී තම පිලේ අපේක්ෂකයා ලෙස ගමරාළවම තෝරා ගැනීමට හෝ ජනාධිපතිවරණයක් නොපවත්වා 20 වෙනි සංශෝධනය ගෙනැවිත් තව වසර 5 කට නාමික ජනාධිපති ලෙස ගමරාළවම තියා ගැනීමට හෝ ඇති ඉඩ කඩ වැඩිය. 

පල්ලෙවත්ත ගමරාළට අවශ්‍ය කෙසේ හෝ තව වසර 5 ක් බලය භුක්ති විඳීම පමණකි.

ජනාධිපතිවරණයකට ප්‍රධාන පක්ෂ සැරසෙද්දී ගමරාළ ජනාධිපති කරන්නට යන්නේ වෙනම කුමන්ත්‍රණයකි. ජනාධිපති ගමරාළ එක්සත් ජාතීන්ගේ රැස්වීමට නිව්ය‌ෝර්ක් ගොස් පැමිණි පසු ආණ්ඩුව ගන්නවා යැයි එදා අප කලින්ම කළ අනතුරු ඇඟවීම් ගණන් නොගත්තා සේ මේ අනතුරු ඇඟවීම ද ගණන් ගැනීම හෝ නොගැනීම අපේ වැඩක් නොවේ. අප කරන්නේ අපගේ යුතුකම ය.  

-චන්ද්‍රප්‍රදීප්-

---------------------------
by     (2019-05-28 02:14:24)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links