හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී කීර්ති රත්නායකගේ හෙළිදරව්වක්
(ලංකා ඊ නිව්ස් -2019.ඔක්.12, ප.ව.10.10) නාවික හමුදාවේ කල්ලියක් විසින් සිසුන් ඇතුළු පුද්ගලයන් 11 දෙනෙකු කප්පම් රැගෙන ඝාතනය කිරීම පිළිබඳ නඩුවේ විත්තිකරුවන් ගණනාවකි. රවීන්ද්‍ර විජේගුණවර්ධන, ඩී. කේ. පී. දසනායක, සුමිත් රණසිංහ සහ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ඒ අතර ප්‍රධානය. හිතක් පපුවක් තිබූ නාවික හමුදාවේ තවත් පිරිසක් මොවුන්ට විරුද්ධව සාක්ෂි දුන්හ. ලුතිනන් කොමාන්ඩර් ගලගමගේ ලක්සිරි ගීතාල් ඒ අතර සාක්ෂි ප්‍රධාන සාක්ෂි කරුවෙකි. මොහු නඩුවේ සාක්ෂිකරු වූ පසු නිලධාරි නිවස්නය තුලදී පහරදීමකට ලක් විය. නාවික හමුදාවේ කිසිදු රාජකාරියක් නොපවරා, මාස 9 ක කාලයක් නිලධාරි නිවස්නයේ සිරකර තැබුවේය. උසස්වීම් අත්හිටවූයේය. අවසානයේ ඔහු සිය ජීවිතය බේරා ගැනීමට රට හැර ගියේය. ලුතිනන් කමාන්ඩර් කේ.සී. වෙලගෙදර තවත් සාක්ෂිකරුවෙකි. ඔහුට අත්වූයේද පෙර නිලධාරියාට අත්වූ ඉරණමය. නාවික හමුදාව එම නිළධාරියාටද විවිධ හිරිහැර කළේය
පැහැරගැනීම් පිලිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු සහ සාක්ෂි දුන්නේ මෙම නිළධාරින් දෙදෙනා පමනක් නොවේ. හමුදාවේ සෙසු නිලයන් දැරූ (Other ranks) කිහිප දෙනෙකුද සාක්ෂි දුන්හ. එක් අයෙකු නාවික හමුදා සාමාජික ඩබ්ලිව්.ආර්. සෙනෙවිරත්නය. ඔහු 2017 නොවැම්බර් 30 දින නාවික හමුදාවෙන් විශ‍්‍රාම ගියේය. 2018 ඔක්තෝබර් 14 දින ඔහු ඉතා සැක කටයුතු අන්දමින් මිය ගියේය. මරණයට හේතුව ලෙස සඳහන් වූයේ දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදුවූ මරණයක් බවයි. ඔහුගේ බිරිඳ ද වාහනයක හැපී මිය ගිය බව වාර්තා විය. මේ රටේ වින්දිතයන් සාක්ෂිකරුවන් ආරක්ෂා කරන ආයතන මේවා ගැන ප්‍රශ්න කෙළේ නැත. අසරණ වූ දියණියන් දෙදෙනා අවිනිෂ්චිත හෙටක් තුල තනි වූ අතර මරා දැමූ මව පියා ගැන සොයා බැලිය හැකි වටපිටාවක් නොවිණ.
බස්නායක මුදියන්සේලාගේ විජයකාන්ත්ද ගන්සයිඞ් කඳවුර පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශ ලබාදුන් අයෙකි. ඔහුත් මේ අකාරයේම සැක කටයුතු මරණයකට ගොදුරු විය . විජයකාන්ත් හිටපු එල්ටීටීඊ ආධාරකරුවෙකි. පසුව නාවික හමුදාවේ ඔත්තුකරුවකු බවට පත් විය. ඒ අනුව නාවික හමුදාවේ ස්වේච්ඡා සාමජිකයෙකු ලෙස සේවා අංකයක් හිමි විය. මොහු ගන්සයිඞ් කඳවුර ගැන බොහෝ තොරතුරු දැන සිටි අයෙකු විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සියල්ල කියා තිබුණි. ඒ හේතුව නිසා නාවික හමුදා කප්පම් කරුවන්ට මොහු කෙසේ හෝ නිෂ්ක්‍රීය කර දැමීමේ අවශ්‍යතාවය විය. උසාවියේ සාක්ෂි දීමට පෙර විජයකාන්ත් නිෂ්ක්‍රීය කිරීමේ කුමන්ත්‍රණය දියත් කෙළේ චූදිත සුමිත් රණසිංහ විසින්ම ය. ඔහු විජයකාන්ත් හමුදාවෙන් නිෂ්කාශණය කිරීම සඳහා ලිපි ගොනුවක් හදා කොළඹ යැවුවේ ය.
කොළඹ සිටි නාවික හමුදා බුද්ධි ප‍්‍රධානියාට විජයකාන්ත්ගේ ලිපි ගොනුව ගැන සැකයක් පහල විය. සුමිත් රණසිංහ විසින් විජයකාන්ත් සිරගත කොට ඇති බව බුද්ධි ප්‍රධානියට දැන ගත හැකි විය. ඔහු වහා සුමිත් රණසිංහගේ කඳවුරට ගියේය. බුද්ධි ප්‍රධානියා ලද තොරතුර සත්‍යයකි . සුමිත් රණසිංහ විසින් විජයකාන් ගන්සයිඩ් කඳවුරේ සිර ගත කොට තිබුනි. නාවික බුද්ධි ප්‍රධානියා විජයකාන්ත් කොළඹට ගෙනැවිත් සේවයේ පිහිටු වූයේ ය. වසර දෙකකින් එකී නාවික බුද්ධි ප්‍රධානියා විශ්‍රාම ගියේය. මාස කිහිපයකින් විජයකාන්ත් අතුරුදහන් විය. මේ දක්වා ඔහු ගැන කිසිදු තොරතුරක් නොමැත. නාවික හමුදා අභ්‍යන්තර තොරතුරු වලින් දැක ගැනීමට ලැබෙන පරිදි සුමිත් රණසිංහ විසින් විජයකාන්ත් පැහැර ගෙන ගොස් නොඑන ගමන් යවා ඇත. දැන් ගන්සයිඩ් කඳවුර ගැන සාක්ෂි දීමට කිසිවෙකු නොමැත.
කප්පම් නඩුවේ සාක්ෂි කරුවන්ට අත්වූ ඉරණම එසේ වුවද චූදිතයන්ට උපරිම වරප්‍රසාද ලැබුණේය. නඩුවේ ප්‍රධාන චූදිත ඩී.කේ.පී. දසනායකට විත්තිකරුවෙකු වී සිටියදීම උසස් වීම් ලැබුනේය. සාක්ෂි කරුවන් මරු තුරුලට යද්දී චූදිත දසනායකලා මැදමූලන මගුල් ගෙවල් වල ගියේය. නඩුවේ තවත් සැකකරුවෙක් වන කමාන්ඩර් සුමිත් රණසිංහටද චූදිතයෙකු ලෙස සිටියදීම උසස්වීම් ලැබුනි. ජනපති සිරිසේන කප්පම් කරුවෙන් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. නියමිත සේවා කාලයට අමතරව සේවා දිගු ලබා දුන්නේය. ෆීල්ඩ් මාෂල් තනතුරට සමාන නාවික හමුදා නිලයන් සඳහා උසස් වීම් දුන්නේය. හමුදාපතිවරු තිදෙනෙකුට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරය අහිමි කරමින් චූදිත රවීන්ද්‍ර විජේගුණවර්ධන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ දිගින් දිගටම තබා ගත්තේය.
නාවික හමුදා මිනීමරුවෝ පැහැරගත් උන් ගෙන් කප්පම් ගෙන මරා දැමූහ. එම අපරාධ දුටු සාක්ෂි කරුවන්ද ඒ අයුරින්ම මරා දැමූහ . පාලකයන් විසින් භීෂනය සහ ප්‍රෝඩාව දියත් කිරීමට වඩා ජනයා ඒවා අනුමත කිරීම භයානකය. පුරවැසියන්ගේ අන්ධ අනුගාමිකත්වයේ අවසාන ප්‍රතිඵලය වන්නේ පාලකයන් භීෂණය මුදා හැරීම කරා පෙළඹවීමය. යම් හෙයකින් පාලකයන්ට ප්‍රගතිශීලී වෙනසක් කිරීමේ උවමනාවක් පැමිනියද ජනයාගේ නිවටභාවය විසින් එය වලකාලනු ලබයි. අවසානයේ සිදුවන්නේ සමස්ථ ක්‍රමය විනාශය වෙත රැගන යාමය. ෆැසිස්ට්, ප්‍රෝඩාකාරී දේශපාලකයන් සහ නිවට පුරවැසියන් එකම කාසියේ දෙපැත්තය. ලොව වඩා භයානක වන්නේ දුෂ්ඨ මිනිසුන්ගේ කෲරත්වය නොව හොඳ මිනිසුන්ගේ නිහැඬියාවය
හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී
ලියුම්කරුගේ පෙර ලිපි පහත දිගුවෙන් කියැවිය හැකිය
https://www.lankaenews.com/category/48
---------------------------
by (2019-10-12 16:43:18)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි