-විශේෂ ලියුම්කරුවකු හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.07, ප.ව.5.55) පේරාදෙණි ශාස්ත්‍ර පීඨය වනසන ‘සජබ’ මහාචාර්ය-ආචාර්ය එකතුව ගැන අප ලියා ඒ හැටි කලක් ගත වී නැතත් දෙබරයට ගල් ගැසුවා වාගේ ඇවිස්සුණු එම පීඨයේ බොහෝ දෙනා විවිධාකාර අකටයුතුකම් ගැන අපට දන්වා එවන්නට පටන් ගෙන ඇත. පීඨාධිපති ප්‍රභාත්ගේ සහචරයින් සමහරෙක් හිමින් සීරුවේ ඔහුගෙන් වෙන්ව යන්නට පටන් ගෙන ඇත්තේ අප පුවත සමග ඉහළ අධ්‍යාපන බලධාරීන් ද සිය අවධානය පේරාදෙණිය වෙත යොමු කර ඇති බැවිනි.
අපට ලැබෙන සමහර තොරතුරු එකවර විශ්වාස නොකළ හැකි තරම් ඒවා ය. ඒ එක එකක් විස්තරාමකව ලිවීම ඉදිරි වටවලට තබා තමන්ගේ දුව ඇතුළු ශිෂ්‍ය කණ්ඩායමේ ප්‍රතිඵල ගැන අවසන් තීරණය ගන්නා මීටිම බහුතර ආචාර්ය මණ්ඩලයට නොදන්වා, දර්ශන අංශාධිපති බිරිඳත් කැඳවාගෙන, හොරෙන් පැවැත්වීම ගැන අද කතා කරමු. ඒ හරහා ලජ්ජාසහගත ලෙස ‘ලබැඳියා අතර ගැටුමක්’ (Conflict of Interest) ඇති වී තිබෙන්නේ කෙසේදැයි බලමු.
පේරාදෙණිය ශාස්ත්‍ර පීඨය වර්තමානයේ දෙපාර්තමේන්තු 19 කින් සමන්විත ය. ඒ අතරට අලුතින් එක්වුණු දෙපාර්මේන්තු ලැයිස්තුවේ නීති දෙපාර්තමේන්තුව ද වෙයි. 2009 වර්ෂයේ ආරම්භ වුණු නීති දෙපාර්තමේන්තුවට සිවු වාර්ෂික එල්.එල්. බී උපාධි පාඨමාලාවක් සඳහා සිසු සිසුවියන් බඳවා ගනී.
වර්තමාන පීඨාධිපති ප්‍රභාත් සහ වර්තමාන දර්ශන දෙපාර්තමේන්තු අංශාධිපතිනි නාමලී දෙපළගේ දියණියක් නීති දෙපාර්තමේන්තුවට තේරී එන්නේ දැනට අවුරුදු තුනකට පමණ උඩදී ය. තමන්ගේම දුව පීඨයේ විභාගවලට පෙනී ඉඳිද්දී පීඨාධිපති හැටියට පුටුවේ ඉඳීම හරි නැති බව කියමින් තමන් පළමු වර නිළය දැරූ කාලයේ, දුවගේ විභාග සමය තුළ පීඨාධිපති ප්‍රභාත් නිවාඩු ගත්තේ ය. ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, බෙදා හැරීම, පිළිතුරු පත්‍ර එකතු කිරීම සහ දෙපාර්තුමේන්තුවලට යළි සමීක්ෂණය සඳහා බෙදා දීම ඇතුළු පියවර සියල්ලම පාහේ මෙම සමය තුළ සිදුවන බැවින් ඔහුගේ පියවර කාගේත් පැසසුමට ලක් විය.
කෙසේ වුවත්, සිය සහචරයින් සමග කළ කුමන්ත්‍රණ හරහා දෙවන වර පීඨාධිපති බවට පත්වන අවදිය වන විට මෙවැනි පියවර අනුගමනය කරන ප්‍රභාත් ඒකනායක කෙනෙක් දකින්නට සිටියේ නැත. මෑතදී හෙළි වී ඇත්තේ ඔහු සිය දියණියගේ ද ප්‍රතිඵල තීරණය කෙරෙන විභාග ප්‍රතිඵල සම්බන්ධ මීටිම බහුතර ආචාර්ය මණ්ඩලයට නොදන්වා, අංශාධිපතිවරුන් ඇතුළු කිහිප දෙනෙකුට පමණක් දැනුම් දී පවත්වා ඇති බවයි. දුවගේ ප්‍රතිඵල ලේඛණ මුලින්ම දෑසින් දැකගැනීමේ වාසනාව දිනාගැනීම මේ අම්මා-අප්පා දෙපළගේ ආසාව වී ඇති බව පෙනේ.
මීට වසර කිහිපයකට පෙර ඉංජිනේරු පීඨයේ හිටපු පීඨාධිපතිවරයෙකු සිය ධූරයෙන් හදිසියේම ඉල්ලා අස් විය. එයට හේතු වී තිබුණේ පසු දින ඔහුගේ පුතා ඉංජිනේරු පීඨයේ පළමු වසරේ ශිෂ්‍යයෙකු ලෙස සිය අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම ය. තමන්ගේ දරුවා පීඨයේ අධ්‍යාපනයට එක්වීම සමග තමන් පීඨාධිපති ලෙස තව දුරටත් කටයුතු කිරීම හරහා ‘ලබැඳියා අතර ගැටුමක්’ (Conflict of Interest) නිර්මාණය වන බව එම මහාචාර්යවරයාට මනා අවබෝධයක් තිබිණ. විශේෂයෙන් විභාග කටයුතු ආදියේ දී පීඨාධිපතිවරයෙකුට හිමිවන බලතල ආදිය හේතුවෙන් සිය දරුවා අධ්‍යයනය ලබන පීඨයේම පීඨාධිපති ලෙස කටයුතු කිරීම දරුවාගේ සැබෑ දක්ෂතා මත ලබාගන්නා ප්‍රතිඵල පිළිබඳව පවා සැකයන් නිර්මාණය වීමට ඉඩ ඇති බව අපට පැහැදිලි ය.
එපමණක්ම නොවේ. බොහෝ බාහිර උපාධි පිරිනමන විශ්වවිද්‍යාල, ඒවායේ විභාග පිළිතුරු පත්‍ර පරීක්ෂාවට පෙර අදාල ආචාර්යවරුන්ගෙන් සිය පවුලට සම්බන්ධ යම් අයෙකු විභාගයට සහභාගි නොවූ බවට ස්ථිර කිරීමක් ලබා ගනියි. එහි අරමුණ ද මෙම ‘ලබැඳියා අතර ගැටුම’ හේතුවෙන් ඇති විය හැකි අකටයුතුකම් වළක්වා ගැනීම ය.
දෙවන වාරයට පත් වුණු පීඨාධිපති ප්‍රභාත්ට ඉහත කී පීඨාධිපතිවරයාට මෙන් සදාචාරාත්මක හැඟීම් හෝ ‘ලබැඳියා අතර ගැටුම්’ (Conflict of Interest) පිළිබඳ කිසිදු තැකීමක් තිබුණේ නැත. එක් අතකට, තමන්ගේ පීඨයේ ශිෂ්‍යයින්ට නිර්ලජ්ජිතව කුණුහරුපයෙන් අමතන ඒකනායකගෙන් එවැන්නක් බලාපොරොත්තු වීම ද විහිලුවකි. මුල් අවදියේ විභාග කාල සීමාවේ නිවාඩු ගන්නා ඒකනායක පසු කාලය වන විට විභාග කාලයේ පීඨාධිපති කාර්යාලයේම සිටියේ ය. ප්‍රශ්න පත්‍ර මුද්‍රණය වූයේත්, බෙදා හැරුණේත්, උත්තර පත්තර එකතු වී ආවේත්, ඒවා සමීක්ෂණයට බෙදා හැරුණේත් ඔහුගේ යටතේ වූ කාර්යාලවලිනි. ඔහුට වගකියන සේවකයින් අතිනි.
ඒ සියල්ලෙන් අනතුරුව ඒකනායක සිදු කර තිබුණේ ඉහත කී ‘ආචාර්ය මණ්ඩලයෙන් කොටසක් පමණක් කැඳවූ’, අනීතික විභාග ප්‍රතිඵල රැස්වීම පැවැත්වීම ය. ඒ සඳහා තමන්ට කිසිදු දැනුම් දීමක් නොකළ බව පීඨයේ බහුතර ආචාර්ය මණ්ඩලය තරයේ කියා සිටිති.
මෙම ප්‍රතිඵල රැස්වීමේ දී ඔහු සිදු කර තිබුණු ක්‍රියාකාරකම් ද අර්බුදකාරී ය. සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ පළමු වසර පාඨමාලාවක දරුවන්ට ‘ඒ පාස්’ මදියැයි කියා ඔහු ඒ ගැන හොයන්නට තමන්ම මැදිහත්වී පත් කළ අංශාධිපතිනිය වූ මහාචාර්ය මල්ලිකාට භාර දී තිබුණේ ය. දුවගේම නොවෙතත්, දුවගේ දෙපාර්තමේන්තුව වන වන නීති දෙපාර්තමේන්තුවේ ශිෂ්‍ය ශිෂ්‍යා කණ්ඩායමක් මේ පාඨමාලාව හදාරා ඇති බවත්, ඔවුන්ට ‘ඒ පාස්’ නැතිවීම ගැටලුවක් බවත් ඔහුගේ මතය වී තිබුණේ ය.
කෙසේ වෙතත්, අවසානයේ පීඨ රැස්වීමට මල්ලිකා යොමු කළ, ඒ පිළිබඳ නිරීක්ෂණ සහිත ලිපිය බොරු පිරුණු එකක් බව එහි සිටි සියලු සමාජ විද්‍යා ආචාර්ය මණ්ඩලය එක හඬින් කීවේ ලු. ප්‍රභාත්ගේ සතුට වෙනුවෙන් ලිපි හැදූ මල්ලිකාත්, තමන් රකින්නට කිසිදු සහචරයෙකු නොමැති වීම හේතුවෙන් ලජ්ජාවට පත් වූ ප්‍රභාතුත් දෙදෙනාම අසරණ වී ලු.
සැබෑවටම හිරිකිතයකින් තොර කෙනෙකු නම් ප්‍රභාත් ඒකනායකට තීබුණේ දියණිය විශ්වවිද්‍යාලය එද්දීම යටකී ඉංජිනේරු පීඨ පීඨාධිපතිවරයා ලෙස ඉල්ලා අස්වීම ය. එසේ නොකළ පසු අඩු තරමින් යළි වටයකට ඉල්ලා නොසිටීම ය. ඒත් ඒ කිසිවක් සිදු වූයේ නැත.
දෙවැනි වතාවේ පත් වූ පසු ඔහු කලින් වතාවල මෙන් විභාග කාලයේ නිවාඩු ගැනීම හෝ කළේ නැත. ඔහුට එය හෝ කළ හැකිව තිබිණි. අඩු තරමින් විභාග ලකුණු රැස්වීම් වෙනත් අයෙකුගේ මූලිකත්වයකට පත් කොට, දුව ගැන සිතා හෝ එතනට රිංගීම නොකර ඉඳිමු නේදැයි බිරිඳගෙන් ඇසීම ය. ඒ කිසිවක් නොවූවා පමණක් නොව ඔහු බහුතරයකට හොරා මීටිම තබා දුවගේ දෙපාර්තමේන්තු ප්‍රධානියා සතුටු කිරීමට හෝ එම පාඨමාලාව හදාරන කණ්ඩායම් ෂේප් කිරීමට හෝ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ පාඨමාලාවකට ලියා නීති දෙපාර්තමේන්තු කණ්ඩායමකට ලකුණු අඩු වීම ප්‍රශ්ණ කළේ ය.
ඒකනායක පාලනය පේරාදෙණිය ශාස්ත්‍ර පීඨය වළ පල්ලට යවා අවසාන ය. තමන් පෙර දුටු බැබලුණු පීඨය සිහිකරමින් තතු දත් අතීත විද්‍යාර්ථීයෝ හූල්ලති. කොයි මොහොතක හෝ යළිත් ඉහළ අධ්‍යාපන නිලධාරීන්ගේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ මෙන්ම විශ්වවිද්‍යාල පාලක සභාවේ අවධානය ලැබී මේ ඛේදවාචකය කෙළවර වනු ඇතැයි සිහින දකිති.
සබැඳි ලිපියක්
පේරාදෙණිය ශාස්ත්‍ර පීඨයේ 'සජබකරණය' - පීඨාධිපති ප්‍රභාත් සහ සහචරයෝ ශාස්ත්‍ර පීඨය වනසති..!
---------------------------
by (2025-07-07 12:26:53)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි