~

ජනපති පරීක්ෂනය එන්න පෙර වෙරළ සංරක්ෂණ ලොක්කෝ කූඨ ලේඛන හදන්න පටන් අරන්...! දෙවැනි කොටස මෙන්න..!

-සුනිල් ගාමිණී ජයලත්ගේ ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.සැප්.10, ප.ව‍.10.45) "ජනපති ගේ CLEAN SRILANKA ව වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තුව DIRTY කරළා..! දූෂිත නිලධාරීන්ගේ නම් ගම් මෙන්න..!!" යන ශීර්ෂ පාඨය යටතේ පසුගිය සැප්තැම්බර් මස 02 දා අප පළ කළ වාර්තාවෙන් පසුව කැළඹීමට පත් වී සිටින වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන්, එම දූෂණය වසන් කිරීම සඳහා කූඨ ලේඛන සැකසීමේ මෙහෙයුමක් දියත් කරමින් සිටින බවට වූ තොරතුරු අප වෙත ලැබෙමින් පවතී.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන CLEAN SRILANKA වැඩ සටහනට මුවා වී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගාල්ලේ ප්‍රාදේශීය කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ W. K. G. පුෂ්ප කුමාර යන අය සිදු කරමින් සිටි දූෂිත ක්‍රියාව සහ එම දූෂිත ක්‍රියාවට රැකවරණය ලබා දෙමින් සිටි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර ඇතුළු දූෂිත නිලධාරීන් පිළිබඳවත් පසු ගිය සැප්තැම්බර් මස 02 පළ කළ  ලිපියෙන් අපි හෙළිදරව් කළෙමු.

මහමෝදර වෙරළ උද්‍යානය ඉඳිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස සිදු කිරීමට අනුමත වූ ඇස්තමේන්තුවට අනුව බංකු සවිකිරීම සහ ගස් සිටුවීම සිදු නොකොට, කිසිදු ඇස්තමේන්තු අනුමැතියක්, මිල ගණන් කැඳවීමක් හෝ කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය නොකොට රැඳවුම් බැම්මක් ඉඳිකිරීමට කොන්ත්‍රාත් ලබා දී එය ඉඳිකරමින් ඇති අයුරු ජායාරූප සහ ලිපි ලේඛන සමඟ අපි පෙන්වා දුන්නෙමු.

එසේම මෙම බැම්ම ඉඳිකරමින් සිටින්නේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් සංරක්ෂණ කලාපය තුළ බවත්, ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියෙන් කිසිදු ලිඛිත අවසරයක් ඒ මොහොත වන තුරු ලබාගෙන නොතිබූ බවත් අපි හෙළිදරව් කළෙමු.

මෙවැනි අනීතික සහ අන්ත දූෂිත ක්‍රියාවන් සිදු කරන්නේ කාගේ බලපුලුවන්කාර කමකට අනුව දැයි, සොයා බලන මෙන් මේ ආයතනය භාරව සිටින ඇමැතිවරයා සහ නියෝජ්‍ය ඇමැතිවරයා වෙත අපි යෝජනා කළෙමු. එසේම ඇමැතිවරුන්ට මේ ගැන සොයා බැලීමට අපහසු නම්, ජනාධිපතිවරයාගේ අවධානය යොමු කොට CLEAN SRILANKA ව්‍යාපෘතිය යටතේ පත් කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් හෝ මැදිහත් වී මේ දූෂිත ක්‍රියාව වහාම නතර කිරීමට කටයුතු කරන මෙන් ද අපි ඉල්ලා සිටියෙමු.

කූඨ ලේඛන සැකසීම කඩිමුඩියේ..

මෙතෙක් ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදු වන බවට පැහැදිලි තොරතුරු තවමත් අප වෙත ලැබී නැතත්, එම පරීක්ෂණය සිදු කිරීමට පෙර අදාළ ආයතනයේ ඉහළ නිලධාරීන් සහ බලධාරීන් එකට එක් වී අදාළ දූෂිත ක්‍රියාව වසන් කර, එය නීත්‍යානුකූලව සිදු වූ ක්‍රියාවක් බවට පෙන්වීමට අවශ්‍ය කූඨ ලේඛන සැකසීමේ මෙහෙයුමක් කඩිමුඩියේ දියත් කරමින් සිටින බවට වූ තොරතුරු අප වෙත ලැබෙමින් තිබේ.

එකී තොරතුරු වලට අනුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර පළමුවෙන්ම සිදු කොට ඇත්තේ, වෙරළ උද්‍යානය ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරු ලෙස මෙතෙක් කටයුතු කරමින් සිටි B. H. J. ප්‍රේමතිලක යන නිලධාරියාව එම කටයුතු වලින් ඉවත් කිරීමට කටයුතු කිරීමය. මෙතෙක් මෙම නිළධාරියා භාරයේ තිබුණු වෙරළ උද්‍යානය ව්‍යාපෘතියට සම්බන්ධ සියලුම ලිපි ගොනු ඔහුගෙන් ආපසු ලබා ගෙන සුරංග නන්දසේන නමැති නිලධාරියෙකුට ලබා දී ඇත. 

සුරංග නන්දසේන හෙවත් B.G.S.C. නන්දසේන නමැති මෙම නිලධාරියා මාතර ප්‍රාදේශීය කාර්යාලයේ සේවය කළ අයකු වන අතර ඔහුට ස්ථාන මාරුවක් ලබා දී කොළඹ ප්‍රධාන කාර්යාලයට ගෙන්වා ගෙන ඇත්තේ මහමෝදර වෙරළ උද්‍යානය ව්‍යාපෘතියේ දූෂිත ක්‍රියාව මාධ්‍ය මගින් අනාවරණය වීමෙන් පසුව ය. නිර්මාණ හා පර්යේෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස පත් කර ඇති මෙම නිළධාරියාට ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ වැඩ බලන ඉංජිනේරුවරයා ලෙස කටයුතු ආවරණය කිරීමට ද අවස්ථාව ලබා දී ඇත.

ප්‍රධාන ඉංජිනේරු සකුන්ත පත්මසිරිගේ කෙරුවාව..

අපට ලැබෙන තොරතුරු වලට අනුව, මහමෝදර වෙරළ උද්‍යානය ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස සිදු කිරීමට නියමිත වූ රැඳවුම් බැම්මට අදාළ ඇස්තමේන්තුව, පෙර දින දාතම් යොදා අත්සන යෙදීමට නියමිතව ඇත්තේ මෙම නිලධාරියා සහ වෙරළ සංවර්ධන අංශයේ ප්‍රධාන ඉංජිනේරු සකුන්ත පත්මසිරි යන අය ය.

සකුන්ත පත්මසිරි යනු මීට පෙර පැවැති ටෙන්ඩර් කැඳවීමක දී, ලංසු විවෘත කිරීමේ ලේඛන වෙනස් කොට, ලංසු ඉදිරිපත් නොකළ පුද්ගලයෙකුට කොන්ත්‍රාත්තුවක් ලබාදීමට කූඨ ලේඛන සැකසීම සම්බන්ධයෙන් පැවැති අභ්‍යන්තර විගණන පරීක්ෂණයකදී අදාළ වරද සිදු කළ බවට ඔප්පු වූ අයෙකි. අදාළ විගණන පරීක්ෂණයේ වාර්තාව පසු ගිය ජූලි මස අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාරට භාර දී ඇතත්, අධ්‍යක්ෂ ජනරාල් මෙතෙක් මොහුට විරුද්ධව කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නැත. මේ වන විට මෙම ආයතනයේ ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරීවරයෙක් නොමැති අතර, අභ්‍යන්තර විගණන අංශය මුලුමනින්ම අකර්මණ්‍ය වී ඇත. 

මහමෝදර වෙරළ උද්‍යානය ව්‍යාපෘතියේ සිදු වූ දූෂිත ක්‍රියාව සඟවා තබා ගැනීමට අවශ්‍ය කූඨ ලේඛන සහිත ලිපි ගොනු සකස් කිරීමේ කටයුත්ත සිදු කිරීමට භාරදී ඇත්තේ මෙවැනි දූෂිත නිලධාරීන්ටය.

කූඨ වැඩ ඊයේ සිට ඇරඹුනා.. 

මෙහි දී ඇස්තමේන්තුව පෙර දින දාතම් යොදා සම්පූර්ණ කිරීමට අමතරව, ඉදිකිරීම් ආයතන කීපයකින් මිල ගණන් කැඳවීමක් සිදු කළ බවටත්, අනතුරුව අඩු මිල ගණන් ඉදිරිපත් කළ අයකුට කොන්ත්‍රාත්තුව නියමිත පරිදි ලබා දී ඇති බවටත් දැක්වෙන සියලු ලිපි ලේඛන, පෙර දින දාතම් යොදමින් කූඨ ලෙස සකස් කිරීමේ කටයුතු ඊයේ (09) දින සිට ආරම්භ වී ඇති බව වාර්තා වේ.

මේ අතර වෙරළ උද්‍යානය ඉඳිකිරීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරු ලෙස කටයුතු කළ B. H. J. ප්‍රේමතිලක යන නිළධාරියාව එම වගකීමෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර ඉන් නොනැවතී, ප්‍රේමතිලක යන අයට හිමිවීමට නියමිතව ඇති සේවා උසස්වීම ඔහුට අහිමි කිරීමට ද කටයුතු යොදමින් සිටින බව ද වාර්තා වේ. මේ සඳහා ටර්නි ප්‍රදීප් කුමාර යොදා ඇති උපාය වී ඇත්තේ දැනට විශ්‍රාම යෑමට නියමිතව සිටින වෙරළ සම්පත් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ නිමල් ශ්‍රී රාජරත්න නමැත්තාට තවත් වසරක් සඳහා සේවා දිගුවක් ලබාදීමට කටයුතු කිරීමය. ඒ සඳහා අධ්‍යක්ෂ ජනරාල් ලෙස අනුමැතිය ඔහු සිය ලබා දී ඇති අතර, උපායිකව අමාත්‍යංශ ලේකම්වරයාගේ ද අනුමැතිය ලබා ගැනීමට කටයුතු කර ඇත. ඉදිරියේ දී ඊට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට ද නියමිත ය. කැබිනට් අනුමැතිය ලබා ගැනීමට හැකි වුවහොත්, ප්‍රේමතිලක යන අයට විශ්‍රාම යෑමට සිදුවන්නේ ඔහුට හිමිව තිබූ සේවා උසස්වීම නොමැතිව ය.

දීර්ඝ කාලයක සිට අන්ත දූෂිත ආයතනයක්..

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව යනු දීර්ඝ කාලයක සිට අන්ත දූෂිත නිළධාරීන්ගේ ග්‍රහණයට හසු වී පවතින රාජ්‍ය ආයතනයක් බව ප්‍රචලිත ය. එසේ තිබියදීත් එම ආයතනය තුළත්, දූෂණයට එරෙහිව කටයුතු කරන රාජ්‍ය සේවකයන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටිති. ජාතික ජන බලවේග රජයක් යටතේ එවැනි අදූෂිත නිළධාරීන් මහත් බලාපොරොත්තු සහගතව සිටින බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ නිසාම මේ ආයතනය තුළ සිදුවන විවිධ දූෂිත ක්‍රියාවන් පිළිබදව තොරතුරු ඔවුන් විසින් විවිධ අංශ වලට ලබා දෙමින් සිටිති.

පුදුමයට කාරණය වන්නේ එවැනි නිලධාරීන්ව සහ සේවකයන්ව දිරිගන්වනවා වෙනුවට, පැරණි දූෂිත නිලධාරීන් සමඟ කරට කර සිටිමින් දූෂණයට එරෙහි සේවකයන්ගෙන් පලිගැනීමට, ඔවුන්ව අකර්මණ්‍ය කිරීමට වත්මන් ආණ්ඩුව යටතේ මෙම රාජ්‍ය ආයතනයට පත් කර ඇති බලධාරීයා ක්‍රියා කිරීමය. 

මහමෝදර වෙරළ උද්‍යානය ඉඳිකිරීමේ ව්‍යාපෘතියේ සිදු වී ඇති මෙම දූෂිත ක්‍රියාව, ව්‍යාජ සහ කූඨ ලේඛන සකසමින් සාදන ලිපිගොනු වලින් සඟවා තැබීමටවත්, දූෂිත රාජ්‍ය සේවකයන්ට එරෙහිව සිදු කරන පලිගැනීම් වලට ඉඩ නොතැබීමටත් වග බලාගන්නා ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමු.

(සේයාරුවේ දැක්වෙන්නේ දූෂිත අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර ය)

සබැඳි ලිපිය;
ජනාධිපතිගේ CLEAN SRILANKA ව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව DIRTY කරළා..! දූෂිත නිලධාරීන්ගේ නම් ගම් මෙන්න..!!

-සුනිල් ගාමිණී ජයලත්ගේ

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/106

---------------------------
by     (2025-09-10 17:33:51)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links