~

මෙන්න මෙන්න පේරාදෙණි පාලක සභාව කම්බ හොරා රකිනවෝ..! ශාස්ත්‍ර පීඨාධිපති කුප්‍රකට ප්‍රභාත් ඒකනායකගේ මගඩි සොයන්නට පත් කළ කමිටුව වෙනස් කළේ ඇයි..?

-විශේෂ ලියුම්කරුවෙකු හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2025.සැප්.17, ප.ව‍.11.20)  ලංකා ඊ නිවුස් විසින් පසුගිය සමයේ හෙළිදරව් කළ පේරාදෙණි ශාස්ත්‍ර පීඨාධිපති ප්‍රභාත් ඒකනායක සහ සහචර පිරිසගේ තොරතුරු මෙන්ම ඒකනායකට විරුද්ධව ඉහළ නිලධාරීන් වෙත ලැබී ඇති දුසිම් ගණන් පැමිණිලි සැලකිල්ලට ගනිමින් වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභාත් ඒකනායක පීඨාධිපති ධූරයෙන් ඉවත් කොට, ඔහුට විරුද්ධව තිබෙන පැමිණිලි විමර්ෂණය කරන්නැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ප්‍රමුඛ ඉහළ පරිපාලනය පේරාදෙණි උපකුලපතිවරයා වෙත දැනුම් දී තිබිණි. කෙසේ වෙතත්, මෙම දැනුම් දීම විශ්වවිද්‍යාල පාලක සභාව වෙත ඉදිරිපත් වීමත් සමග පාලක සභාවේ බහුතරය කුපිත වී තීරණය කර ඇත්තේ ‘හොරා රැකීමේ’ ප්‍රතිපත්තියකට මාරු වන්නට ය. ඒ අනුව ‘නඩුව හාමුදුරුවන් ළඟ’ තියෙන ආකාරයෙන්, ඒකනායක පීඨාධිපති පුටුවේ තබාගෙනම ඒ පැමිණිලි සහ ඔහුගේ දූෂන ගැන හෙළිදරව් කිරීම් ‘ඒක පුද්ගල කමිටුවක්’ හරහා විමසා බැලීමට පාලක සභාව තීරණය කොට ඇත.

'අම්මට සිරි' විමර්ශනය..

කෙසේ වෙතත්, මේ ඒක-පුද්ගල කමිටුවට පත්කෙරුණු වෙනත් පීඨයක මහාචාර්ය නෝනා අභියස ඒ වන විටත් විශ්වවිද්‍යාලයේ ලිංගික අපචාරාදිය දැනුම් දීම සඳහා වූ කමිටුවට වාර්තා වී තිබුණු අපචාර ඇතුළු බොහෝ කරුණු නිසි පරිදි හෙළිදරව් වුවහොත් පීඨාධිපතිකම තබා ඇඳිවතවත් ඉතිරි නොවන බව දැනගත් ඒකනායක හා සහචරයෝ මහාචාර්ය නෝනා වෙනුවට, බලපෑම් කොට, ‘සම්බන්ධතා සහිත’ බාහිර පුද්ගලයෙකු ‘ඒක පුද්ගලයා’ ලෙස පත් කරගෙන ඇත. මෑතදී ආන්දෝලනයට තුඩු දුන් විශ්වවිද්‍යාල ආරක්ෂක අංශ නිලයකට සබඳතා ඇති මේ ‘බාහිර ඒක-පුද්ගලයා’ ඒකනායක පාර්ශවයේ මනදොල සපුරා දෙමින් ඔහුව නිදොස් කොට නිදහස් කර ඇත.

මේ මොන විහිලුවක් ද? නරියාට කුකුළු කොටුව දී යතුරත් දීලා..!

ඒකනායක පිළිබඳ කෙරුණු හෙළිදරව් මෙන්ම පැමිණිලි ද, ඔහුගේ සහචරයින්ගේ මගඩි ද විමසා බලන්නට ‘ඒක පුද්ගල’ තබා ‘දස පුද්ගල’ කමිටුවකට ද ලේසි නැත. අපගේ මුල් ලිපියෙන් හෙළිදරව් කළ මහින්ද හේරත් සිද්ධිය දැන් යළි විමසෙමින් පැවතිය ද, ඒ නිසා මහින්ද හේරත් බෞද්ධ හා පාලි දෙපාර්තමේන්තුවේ අංශාධිපති ධූරයෙන් පැත්තකට කොට තිබුණ ද ඒ විමර්ෂණ යන්නේ ද ඉබි ගමනිනි. අංශාධිපතිකම නැතත් මහින්ද හේරත් පීඨයේ පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ මුලසුන දරමින් මෑතදී නිම වූ ශිෂ්‍ය පර්යේෂණ සමුළුවේ මූලිකත්වය හෙබවී ය. ඊටත් වැඩි පුදුමය නම්, අංශාධිපතිකම අහිමි වන විටම හේරත්ට පීඨයේ ඇති ප්‍රධානම ඒකකයක් වන ‘සිව්කෝ’ (CIVCO) හි මුල් පුටුව ද පවරා දීමයි. දැන් පීඨයේම සිසු සිසුවියන් සිය බාහිර පුහුණු වැනි දේවල් සදාගන්නට යා යුත්තේ හේරත් ළඟට ය. නරියාට කුකුළු කොටුව දී යතුරත් පරිස්සම් කර තියන්නැයි භාර දී ඇත. 

ඒකනායක ගැන හොයන්නට එන ‘ඒක-පුද්ගල කමිටුවේ’ තැනැත්තාට සැබෑවටම අවශ්‍ය වී නම් රිංගන්නට සිදුවන ගුහා, බේරීමට ඇති බොරුවලවල් මෙන්ම නගින්නට සිදුවන කටු ඉඹුල් මහ ගොඩක් තිබිණි. ඒකනායක ගැන හොයන්නට ඒකනායකගේම අඩවියට තනියම යට සඳහන් මහාචාර්ය නෝනා ආවානම් ඇයට අත් කරදෙන්නේ කුමන ඉරණමක්දැයි දැන සිටින්නට ඇත්තේ ඒකනායකලාම පමණි.

ඉදිරියට කුමක් ද?

‘උන්න හැටියට මළා මදැයි’ කීවා සේ මේ ගැන ඉහළට අවධානය යොමු වී තිබීම  යහපත් ය. ඇතුළේ ‘සෙල්ලම් දමන’ ඒකනායක සහ සහචරයින්ගේ ඇත්ත වැඩ හෙළි කිරීම අප විසින් දිගටම සිදු කරන අතර වෙනත් පාර්ශවවලින් ද පැමිණිලි කිරීම්  සිදුවනු නියත වන්නේ ඉදිරි ලිපිවල අප දීර්ඝව හෙළි කරන, අධ්‍යාපන දෙපාර්තමේන්තු මගඩිය, ආකාරයේ ක්‍රියාවල කෙළවරක් නොමැති බැවිනි. මේ පිළිබඳ ස්වාධීන, ඉහළ ආයතනයක පාලනයේ වන, කමිටුවක අවධානය වෙනස්ම ප්‍රතිඵල රැගෙන එනු ඇති බව අපි සක්සුදක් සේ දනිමු. 

අධ්‍යාපන මගඩිය ගැනත්, ඒකනායකගේ දකුණු අත සහ වම් අත ලෙස පෙනී සිටින මහා(අනා)චාර්යවරු දෙපළ ගැනත් සහ වෙනත් අරුම දේ ගැනත්, තිගස්සවන සුළු ලිපි පෙළක් ඉක්මණින් බලාපොරොත්තු වන්න.

(සේයාරුවේ දැක්වෙන්නේ කුප්‍රකට ප්‍රභාත් ඒකනායක ය)

-විශේෂ ලියුම්කරුවකු විසිනි

වැඩිදුර කියැවීමට පෙර පුවතක්
* පේරාදෙණිය ශාස්ත්‍ර පීඨයේ 'සජබකරණය' - පීඨාධිපති ප්‍රභාත් සහ සහචරයෝ ශාස්ත්‍ර පීඨය වනසති..!

---------------------------
by     (2025-09-17 18:27:22)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links