~

රාජපක්ෂ සහ චෞර රැලේ දොළදුක පිනවූ මෘග, පාදඩ, නරුමයෙකුට දඬුවම්..! දඬුවම මදි වුනත් 'මන නන්දනීයයි'..! ඒ ඇයි..?

-ලංකා ඊ නිව්ස් මාණ්ඩලික වාර්තාකරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.සැප්.19, ප.ව‍.10.30) රාජපක්ෂලාගේ වනචර පාලන යුගයේ දී සිදු වූ එක් අපූරුතම හොරකමක් නම් ('අපූරු' යන සිංහල වචනයේ තේරුම 'පූර්වයේ නොවූවක්' එනම් අතීතයේ සිදුනොවූ දෙයක් සිදු වීමයි)  "අලි හොරකමයි". චෞර රාජපක්ෂ පවුලේ උන්ට සේම උන් හා එකට ලැග සිටි චෞර රැලේ උන්ට ද අපූරු දොළ දුකක් වීය. උන් පාරම්පරික ධනපතියන් නොවූ, මොනවා හෝ මගඩි වලින් සල්ලි හොයා ගත් ලුම්පන් සල්ලිකාරයන් වූ නිසා උන්ට 'ඇරියස්' දොළ දුකක් තිබිණ. එනම් 'හුරතලේට' අලි පැටවෙකු ඇති කිරීම යි. 

දොළ දුක පිනවූ 'අලි රොෂාන්'..

අලි පැටව් නිකම් ලේන් පැටවුන් සේ අල්ලා ගත නොහැකි නිසා කැලයේ සිටින අලි පැටවුන් අල්ලා ගෙන රාජපක්ෂ චෞර රැලට සැපයීමට ඒ සඳහාම සැදී පැහැදුනු මගඩිකාරයෙක් ද සිටියේ ය. හේ නමින් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් ‘අලි රොෂාන්’ ය. ඔහු තම අලි ජාවාරම කෙළේ මහරගම පුවක්පිටිය පන්සල කේන්ද්‍රකරගෙන වීම ද විශේෂය. ඊටත් වඩා මෘග, පාදඩ, නරුම කාරණය වන්නේ මේ තක්කඩියා කැලයේ වෙසෙන අලි පැටව් ලබා ගත්තේ පැටවාගේ මව් කෙනෙර මරා දැමීමෙන් වීම යි.

හීනමානයට බේත 'හුරතලේට' අලි පැටව්.. 

අලි රොෂාන් සැපයූ අලි පැටව් සියළු දෙනාම හොරෙන් ලබා ගත් අලි පැටවුන් නිසා උන්ට නිසි ලියා පදිංචියක් තිබුනේ නැත. එවිට මේ අලි හොරු රැල කෙළේ වනජීවී දෙපාර්තමේන්තුවේ අලි පිළිබඳ ලේඛණය ( අලි පොත) ව්‍යාජ ආකාරයෙන් යාවත් කාලීන කිරීම යි.

ඇමරිකාවේ සුළු රැකියාවක් කරමින් සිට ලංකාවට පැමිණි පසු අයියා ජනාධිපති වී තමා ආරක්ෂක ලේකම්වීම හේතුවෙන් තමන් පෙළුනු හීනමානයකින් මිදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ කෙළේ ද තමන්ට කියා 'හුරතලේ' ට අලි පැටවෙකු ඇති කිරීමයි. එකී අලි පැටවා සැපයුවේ ද අපගේ කතානායකයා වන අලි රොෂාන් ය. ඌද හොර අලි පැටියෙකි. ඊට අමතරව බොහෝ ප්‍රසිද්ධ වී ඇති පරිදි දැනට වැඩ තහනම් වී සිටින විනිසුරු තිළින ගමගේ ලඟ සිටියේ ද අලි රොෂාන් ගෙන් මිල දී ගත් හොර අලි පැටියෙකි. උඩුවේ ධම්මාලෝක සහ කොලොන්නාවේ සුමංගල යන සිවුරුකරුවන් ලඟ සිටියේ ද අලි රොෂාන්ගෙන් මිල දී ගත් හොර අලි පැටවුන් ය.

රාජපක්ෂ වනචර දශකයේ දී කැලෙන් අලි පැටව් 40 ක්, වන ජීවී උද්‍යාන වලින් 13 ක් හොරකම් කළා.. 

මේ තක්කඩියන්ගේ හොර අලි පැටවුන් ජාවාරම සුළු පටු නොවේ. ආසියානු අලින් පිළිබඳ ප්‍රවීණයෙකු වන ජයන්ත ජයවර්ධන මහතා 2021 දී පමණ ඒඑෆ්පී ප්‍රවෘත්ති සේවයට පවසා තිබුනේ 2005 සිට 2015 දක්වා වූ වසර 10 ක කාලය තුළ [රාජපක්ෂලාගේ වනචර පාලන කාලය] අලි පැටවුන් 40 ක් පමණ රංචුවලින් සොරකම් කර, එකෙකු ඩොලර් 1,25,000 ක් බැගින් විකුණා ඇති බවයි. දඩයම්කරුවන් පැටවුන් අල්ලා ගැනීමට පෙර සාමාන්‍යයෙන් මව් ඇතින්න කෙනෙර මරා දමන බව ද ඔහු එවක දී ඒඑෆ්පී ප්‍රවෘත්ති සේවයට පවසා තිබිණ. 

රාජපක්ෂලාට බලය තිබූ වනචර යුගයේ දී අලි රොෂාන් ලා හොරකම් කර තිබුනේ කැලයේ සිටින අලි පැටවුන් පමණක්ම නොවේ. වන ජීවී උද්‍යානවලින් ද අලි පැටවුන් හොරකම් කර තිබිණ. එලෙස වන ජීවී උද්‍යානවලින් සොරකම් කර,  අලි පොත ව්‍යාජව වෙනස් කර, තැන් තැන් වලට විකුණා තිබී, 2015 දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් අලි පැටවුන් ගණන 13 කි.

ඉහත පූර්විකාව ලියුවේ 'මන නන්දනීය' පුවතක් වාර්තා කිරීමට යි..  

ඉහත පූර්විකාව ලියුවේ මේ කියන කතානායක සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් ‘අලි රොෂාන්’ ට අද (19) ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් වසර 15 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කිරීමේ 'මන නන්දනීය පුවත' වාර්තා කිරීමට ය. අපට මේ පුවත 'මන නන්දනීය' වන්නේ මේ අලි රොෂාන් නමැති තක්කඩියා මේ ආකාරයෙන් අලි පැටවුන් හොරකම් කර රාජපක්ෂලාට විකුණා ඇති බව මුල්වරට ජනතාවට වාර්තා කෙළේ 'ලංකා ඊ නිව්ස්' වන අප විසින් නිසා ය.

දඬුවම මදි වුනත්, දප්පුල ලිවේරාට ස්තූතියි..   

අපගේ තස්සේරුව අනුව නම් කරණ ලද අපරාධයන්ගේ තරමට මේ තක්කඩියාට ලැබුණු දඬුවම මදි ය. නමුත් එය එසේ වීමට ද කරුණු කාරණා රාශියක් බලපෑ බව ද අමතක නොකළ යුතු ය. පසුගිය යහපාලන සමයේ මොහුට එරෙහිව විමර්ශන සිදුවුවද යහපාලනය තුල ද රාජපක්ෂලාගේ බලය මොනවට තිබූ බැවින් අවසන ඒවායේ තත්ත්වය ද වෙනස් විය. වරෙක මහාධිකරණයේ නඩු පැවරූ නමුත් නඩුව විසි වී මොවුන් නිදහස් වීමට ද කරුණු සිද්ධවිය. ඒ එවකට නීතිපතියේ තිබූ 'ගේම්' නිසා ය. වරෙක අල්ලා ගත් අලි පැටවුන් යළි සොරුන්ටම බාර කිරීමට තීන්දු ලැබිණ. කෙසේ වෙතත් ඉතා තනුක කර හෝ මෙම නඩුව පැවරුනේ හිටපු නීතිපති දප්පුල ලිවේරාට පින්සිදුවන්නට බව ඔහුට කරන ගෞරවයක් ලෙස සටහන් කර තැබිය යුතු ය. රටේ වන අලි සම්පත විනාශයට ලක්කළ මෙම ජාවාරම හේතුවෙන් සමාජයීය කැළඹීමක් සිදුවීම හේතුවෙන් මෙම නඩුව ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ලක් යටතේ විභාග කළ යුතු යැයි කියා සිටියේ එවක නීතිපති දප්පුල ලිවේරා ය. එසේ නැතිනම් පොදු දේපොළ, වන සත්ව සහ වෘක්ෂ ලතා ආඥාපනත යටතට ගැණෙන වැරදි විභාග කිරීමට විශේෂ මහාධිකරණයට බලයක් නැතැයි කියා මෙම නඩුව ඊට පෙර විසි වී අලි රොෂාන්ලා නිදහස් වී තිබිණ. 

කෙසේ වෙතත් අද(19) මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න (සභාපති) ආර්.එස්.එස්. සපුවිද, ලංකා ජයරත්න මෙනෙවිය යන ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කෙරුණේ වසර 6 ක පමණ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ය.

අලි පැටව් 40 ක් පමණ හොරකම් කළත් ඔප්පු වුනේ එක් ඇතින්නක් පමණයි.. 

අලි පැටව් 40 ක් පමණ හොරකම් කළ තක්කඩියෙක් වුව ද අලි රොෂාන්ට එරෙහිව මෙම නඩුව පැවරුනේ අලි පැටවුන් 5 දෙනෙකු සම්බන්ධයෙනි. අධි චෝදනා 33 ක් නැඟිණි. නමුත් ඉන් අද ඔප්පු වූයේ 'සිඟිති' නමැති ඇතින්න බලපත්‍රයක් නොමැතිව ලඟ තබාගැනීම ඇතුළු චෝදනා දෙකක් පමණි. අලි රොෂාන්ට එරෙහි එකී චෝදනා දෙක පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇතැයි විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කෙරිණ. 

එල්ල වූ එක් චෝදනාවකට බරපතල වැඩ සහිතව වසර 5 ක සිරදඬුවමක් ද රුපියල් ලක්ෂ 2 ක දඩයක්ද නියම කෙරිණ.  දෙවන චෝදනාවට වසර 15 ක සිර දඬුවමක්ද රුපියල් ලක්ෂ 204 ක දඩයක්ද නියම කළ අතර වසර පහක සිර දඬුවම සහ වසර 15 ක සිර දඬුවම එකවර එනම් වසර 15කින් ගෙවී යන ලෙස නියම කෙරිණ. මුළු දඩ මුදල වූයේ රු. ලක්ෂ 206 කි. එනම් රුපියල් කෝටි දෙකකට වැඩි ය.

නීති විරෝධී අයුරින් සන්තකයේ තබාගත් පොදු දේපළක් වන 'සිඟිති' නම් ඇතින්න   රාජසන්තක කිරීමට නියම කළ විනිසුරු මඩුල්ල ඇතින්න වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා භාරයට පත් කරන ලෙසට ද නියම කෙරිණ.

කීප දෙනෙක් නිදහස් වුනා..

මෙම නඩුව මුලින් විභාගයට ගනිද්දී ම 'අලි පොත' භාරව සිටි වනජීවියේ ලිපිකාරිනිය සහ ඇත්ගොව්වන් තිදෙනෙක් විත්ති වාචකය නොකැඳවාම නිදහස් කෙරිණ. මෙම නඩුවේ අලි රොෂාන්ට නැගූ චෝදනාම නගා තිබූ තවත් විත්තිකරුවන් තිදෙනෙකු නිදහස් කෙරුණේ ඔවුන්ට එරෙහිව නගා තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වූ බව කියමිනි. එම චුදිතයන් තිදෙනා නම් වනජීවී දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (නීති) පැස්කුවල් ෆොන්සේකලාගේ උපාලි පද්මසිරි, වනජීවී දෙපාර්තමේන්තුවේ සමරප්පුලි හේවගේ උචිත නිෂාන් ධම්මික සහ පලිහපිටිය ගමගේ ජයලත් නමැත්තන් ය.

කෙසේ වෙතත් රාජපක්ෂලාගේ වනචර දශකයේ සිද්ධකළ අපරාධ අතරින් මෘග, පාදඩ, නරුම අපරාධයකට එකෙක් හෝ දඬුවම් ලැබීම ගැන සියලු සුධීමත් ජනයා සතුටු වන බව නම් නිසැක ය.

-ලංකා ඊ නිව්ස් මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි

සබැඳි පුවත්
* 'අලියා කැටුව ගිය නන්දසේන..!' හෙවත් හිටපු අංගාරක්ෂකයෙකු හෙළි කරන 'මෝඩ ගෝඨාගේ කතන්දර'
* අලි රොෂාන් නිදහස් වීමෙන් නීතිපතිවරයා නීතිය නොදන්නෙකු බව දෙවන වරටත් ඔප්පු කරයි..!

---------------------------
by     (2025-09-19 18:40:47)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links