~

උසස් අධ්‍යාපන මගඩි රැසක සුලමුල..! පේරාදෙණි උපකුලපති සමග පීඨාධිපතිගේ අම්බුළුවා කන්දේ සවාරිය..! විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති සහ පේරාදෙණි උපකුලපතිගේ ඇමරිකානු සවාරිය..!!

-පේරාදෙණි ශාස්ත්‍ර පීඨ පීඨාධිපති ඒකනායක ගැන පරීක්ෂණ යට යෑම පිළිබඳ හේතු එළියට..!

(ලංකා ඊ නිව්ස් -2025.ඔක්.04, ප.ව‍.11.00)  

(උසස් අධ්‍යාපන මගඩි රැසක සුලමුල පිළිබඳ ලංකා-ඊ-නිවුස් සිදුකරණ හෙළිදරව් මාලාව)

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක සහ සහචරයින්ගේ ‘වැඩකිඩ’ ගැන ලංකා-ඊ-නිවුස් අප ලියන්නට ගත්තේ ටික කලකට පෙර සිට ය. ඒකනායක හා නඩය ශාස්ත්‍ර පීඨය වනසන අන්දමත්, නඩයේ සාමාජිකයින්ගේ මගඩිත් අපි ලිපි දෙකකින් එළි දක්වද්දීම, වෙනත් පාර්ශවවල පැමිණිලි ද ඉහළ ගිය හෙයින්, ඒකනායක සම්බන්ධයෙන් පියවරක් ගන්නට ඉහළ නිලධාරීන්ට සිදු විය. ඒකනායකගේ පීඨාධිපති නිලයේ වැඩ නවත්වා, ත්‍රිපුද්ගල කමිටුවක් යටතේ පරීක්ෂණයක් පවත්වන්නැයි යෝජනා වන්නේ ඒ අනුව ය. එය පේරාදෙණි උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් වෙත එන්නේ ඊ-මේලයක් ලෙස ය. 

කලින් ලිපියේ අප හෙළිදරව් කළ, ත්‍රිපුද්ගල සිට ඒක-පුද්ගල දක්වා තැනකට කමිටුව හරවා හොරා රැකීමේ පාලක සභා තක්කඩි ක්‍රියාව සිදුවන්නේ ඉන් අනතුරුව ය. ඒ ගැන අපි අවසන් ලිපියේ දී කරුණු හෙළිදරව් කළෙමු. (ලිපිය අවසානයේ ඇති දිගු වලින් කියවන්න) අප අද කියන්නේ පාර්ශව ගණනාවක් හරහා තොරතුරු ලැබුණු මෙන්ම මෙම විශේෂ ලියුම්කරු විසින් ගවේශනාත්මකව සොයාගත් නවතම කරුණු පෙළකි. 

මධුජිත් - ඒකනායක නඩය සමග අම්බුළුවා කන්දේ සිරි නරඹයි..! අනතුරුව ‘හොරු’ රැකෙයි..!

පහුගිය දිනයක ඒකනායක සහචරයෝ තමන් උපකුලපතිවරයා සමග ඉන්නා ‘මිතුරන්’ බව පෙන්වීමට ඡායාරූපයක් බෙදා හැරියෝ ය. එහි තිබුණේ උපකුලපති ටෙරන්ස් මධුජිත් සමග කථානායකයා වන ඒකනායකත්, තවත් සහචර පිරිසකුත් අම්බුළුවාව කඳු මුදුණේ ඇති කුළුණ බලන්නට ගොස් ඇති අයුරුයි. ඒ හරහා ‘උපකුලපති අපේ යාළුවෙක්’ කියාගන්නට ඒකනායකලාට අවශ්‍ය වන්නට ඇත.

ඇත්ත තත්වයත් උපකුලපතිවරයා ඒකනායකලාගේ ‘යාළුවෙක්ම’ වීමයි. ඔහුට ඒකනායක සහ නඩය කරන විනාශය පෙනෙන්නේ නැත. පෙනුන ද නොපෙනුනා සේ සිටීම ඔහුගේ විධියයි. අප කලින් ලිපියක හෙළි කළ මහින්ද හේරත් (බෞද්ධ හා පාලි දෙපාර්තුමේන්තු මහාචාර්ය) විසින් සිය සිසු පෙම්වතියගේ ලකුණු විභාග අංශයේ පරිගණක පද්ධතියට හොරෙන් ඇතුළු වී වෙනස් කොට, ඇය පළමු පන්ති සාමාර්ථයකට ඔසවා තබා, ඇයට බාධා වන සිසු කණ්ඩායම්වල ලකුණු පහත හෙළා සැහැසි අපරාධයක් කළ වෙලාවේ ඔහු ශිෂ්‍යයින්ට කියා තිබුණේ ‘හාමුදුරුවන්ගෙ එකවුන්ට් එකෙන් ගිහින් තමයි මේක කරල තියෙන්නෙ. ඒත් ඉතින් එවිඩන්ස් තමයි නැත්තෙ!’ යනුවෙනි. ඒකනායක පිළිබඳ පරීක්ෂණය ත්‍රි-පුද්ගල සිට ඒක-පුද්ගල වීමත්, එහි පත් කළ ඒක-පුද්ගල චරිතය වූ මහාචාර්ය කළ්‍යාණි ඉවත් කොට, ඒකනායක හිතවත් පාර්ශවයක් වෙත, එනම් කුප්‍රකට 'සූරියබන්ඩාර සිකියුරිටි' මැදිහත් වීමෙන්, ඔහුගේ ඥාතියෙකු වන විශ්‍රාමික විනිසුරුවරයකු පත් කරගනිමින් ඔහු වෙත යොමු කරගෙන, පේරාදෙණියේ 'වේගවත්ම පරීක්ෂණය' හරහා, ඒ නම් ඊළඟ පාලක සභා රැස්වීමට ද කලින් ඔහු නිදොස් කොට නිදහස් වීම සිදුවුණු අන්දම ගැන අප වෙත නම් ‘එවිඩන්ස්’ ලැබී ඇත..!

මධුජිත්ලා සිය ‘අම්බුළුවා ට්‍රිප් යාළුවා’ බේරාගන්නේ ඔහුගේ දෙවන වාර උපකුලපති සිහිනය ඇත්තක් කරන්නට අනාගත සුබ සිහින පෙන්වන හොඳම යාළුවා ද ඒකනායක බැවිනි. පසුගිය ජනපතිවරණයට මාස කිහිපයකට කලින්, වික්‍රමසිංහ ජනපතිවරයාගෙන් පත්වීම ලබන මධුජිත් වත්මන් ආණ්ඩුවට පෙර පැවති ආණ්ඩු හා සමීප සබඳතා ඇති තැනැත්තෙකි. ඒකනායක ඇතුළු සජබ හිතවන්තයෝ මධුජිත්ගේ ද නෑයෝ ය. ජාජබ ආණ්ඩුව බිඳ වැටෙන දිනයක් ගැන මේ හැමෝම හීන දකින්නේ එකට ය.

ඒ ඇයි? මධුජිත්ගේ වැඩ මොනවා ද?

මීට මාස කිහිපයකට පෙර පේරාදෙණි පාලක සභාව අපූරු අභ්‍යන්තර චක්‍රලේඛයක් අනුමත කොට බෙදා හැර තිබුණේ ය. පේරාදෙණි විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුට අවශ්‍යතාව හෙළි නොකොට, පෞද්ගලික හේතුවක් බව දන්වා වුණත්, විරාම නිවාඩු (vacation leave) ලබාගෙන විදෙස් රටකට යා හැකි බව ඒ අභ්‍යන්තර චක්‍රලේඛය හරහා දන්වා තිබුණි. බොහෝ ආචාර්ය මණ්ඩල සාමාජිකයින් මේ ගැන පුදුම වූයේ වෘත්තීය සමිති ඉල්ලීමක් හැටියට හෝ අභ්‍යන්තර ආයතන ඉල්ලීමක් හැටියට හෝ මේ ආකාරයේ දෙයක් ගැන කතාබහක් වුව නොතිබුණු බැවිනි.

ජාතික මට්ටමේ දී ‘වැකේෂන් ලීව්’ ලබන ආචාර්ය මණ්ඩල සාමාජිකයෙකු විදෙස්ගත වන්නේ නම් අනුමත විය යුතු කරුණු ගණනාවක් විය. ඒ කතා-බතා මේ ලියවිල්ලෙන් අහෝසි වී තිබිණි. මධුජිත්ගේ පාලක සභාව ගෙන ආ මෙම ‘අමුතු’ චක්‍රලේඛයෙන් මාස කිහිපයක ඇවෑමෙන් මධුජිත් ‘වැකේෂන් ලීව්’ ගෙන කැනඩාවට හා අනතුරුව ඇමරිකාවට ගියේ ය. ඒ ගිය හේතු අතර, සිය දරු පවුල හමුවීම හා ඇමරිකාවේ 'සිවා' හමුවීම වැනි කුමන පෞද්ගලික හෝ ‘නොවන’ කටයුත්තක් යෙදී තිබුණ ද, නැත ද, ඉහත චක්‍රලේඛය නිසා පසුබිම් හේතු අදාල ආයතනය, එනම් පේරාදෙණිය දැනගත යුතු වීම අත්‍යාවශ්‍ය වූයේ නැත.

කුමන නිවාඩු මත වුණත්, ශාස්ත්‍රාලීය කටයුත්තකට ආචාර්ය මණ්ඩල සාමාජිකයෙකු විදේශ රටකට යෑම අදාල විශ්වවිද්‍යාලයටම ගෞරවයකි. ඒ සඳහා එම සාමාජිකයාට පිළිගත් ආයතනයක ආරාධනයක් ද තිබිය යුතු වෙයි. නමුත්, පෙර කී අභ්‍යන්තර චක්‍රලේඛ සැදීමෙන් අනතුරුව, ඒ කිසිවක් නොපෙන්වා, මාසයක කාලයක් විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා දිවයිනෙන් බැහැර වීම පහසුවෙන් තැකිය යුතු නැත. ඒකනායක පන්නයේ හොරදෙටුවන්ගේ තිප්පලක් වෙමින් පවතින, ඉහළ කීර්තියක් ලබා තිබුණු පේරාදෙණිය, ‘පයිලට් කෙනෙක් නැති ගුවන් යානයක්’ ලෙස මාසයක් දුවන්නට සැළැස්වීම අවධානය යොමු විය යුතුම වන්නේ පහත හේතුව නිසා ය!

යූජීසී සභාපති කපිල සෙනෙවිරත්න කාගේ කවුද?

මධුජිත් කලින් ආණ්ඩු සමයේ පත් වූ උපකුලපතිවරයෙක් වුව, ප්‍රතිපාදන කොමිසමේ සභාපති හැටියට කැලණියේ මහාචාර්ය කපිල සෙනෙවිරත්න පත් කරන්නේ වර්තමාන ජාජබ ආණ්ඩුවයි. සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතියම පාලනය වෙන, තීරණාත්මක තැනක මහ පුටුව, සිය ජයග්‍රහණය වෙනුවෙන් දර-දිය නොඇද්ද ‘නිර්පාක්ෂික’ කපිලට පිරිනමන්නට ආණ්ඩුව තීරණය කරන්නේ ‘පක්ෂයට පක්ෂ’ පත්කිරීම් නොකරන්නට තීරණය කරමිනි. ඒත්, කපිලගේ පැටිකිරිය දන්නා ඕනෑම කෙනෙකු ඔහුගේ අතීත-පාක්ෂිකකම් දනී. කපිල ද ‘හිටපු’ ‘අහවල්-ආණ්ඩුවේ’ හාදයෙකි.

ඒ නිසාම කපිල හරහා හොඳ දෙයක් ඉටුකර ගැනීම ලෙහෙසි නැත. ඔහු සජබකාරයින්, පොහොට්ටුකාරයින් බව හොඳටම ප්‍රසිද්ධ, විශ්වවිද්‍යාල කාබාසිනියා කරන්නන් රකියි. ඒකනායකලාට, සබරගමු උපකුලපතිලාට රජ මගුල් වන්නේ එබැවිනි. 

‘අයිසෙ, තමුසෙලා නං කියයි. මුං අද ආණ්ඩු කරයි. හෙට යයි. අපි එපැයි මේවගෙ දිගටම ඉන්ඩ!’ ජාතියේ හෝ, ‘මම ජේවිපීකාරයෙක් නෙවෙයිනෙ අයිසෙ, තමුසෙලා කියන ජාතියෙ වැරදි හදන වැඩ මට කරන්න කියන්ඩ එපා!’ යනුවෙන් තමන් හමුවට එන මහාචාර්ය-ආචාර්යවරුන්ට කියන කපිල, ‘යනව අයිසෙ යන්ඩ! මට ඔය එන්පීපී තියරි වැඩක් නෑ!’ යනුවෙන් ඇතැමුන් පන්නා දමයි. 

ඒකනායක සහ නඩය සුරැකෙන්නේ ද කපිලගේ ඒ තියරි නිසා ය!

මධුජිත් සහ කපිල: ඇමරිකාවේ සිරි නරඹන්න ගිහින්..!

ඒ අනුව, කපිල සහ මධුජිත්ට ද වක්‍ර නෑකමක් ඇත. මධුජිත් පරණ ආණ්ඩුවේ පත් කිරීමකි. කපිල පරණ ආණ්ඩු හිතවතෙකි. ඒකනායකගේ ‘අම්බුළුවා කන්දේ යාළුවා’ වන මධුජිත්, අභ්‍යන්තර චක්‍රලේඛ වෙනස් කිරීම් හරහා කැනඩාවට ගොස් අනතුරුව යන්නේ ඇමරිකාවට ය. ගමන් සගයා වෙන කවුරුවත් නොව, කපිල සෙනෙවිරත්න ය!

මධුජිත් සහ කපිල ගුවන්තොටේ දීම අතට ඩොලර් තුන්දාහ බැගින් ලබමින් ඇමරිකාවට සේන්දු වන්නේ ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය නගන්නට, පේරාදෙණිය දියුණු කරන්නට නොවේ. ඔවුන්ට ආරාධනා දෙන්නේ මහාචාර්ය 'සිවා' ය! සිවා මධුජිත්ගේ පේරාදෙණි සගයෙකි. සිවා යන කෙටි නමින් හැඳින්වෙන 'සිවලිංගම් සිවනන්දන්' දැනට ඇමරිකාවේ, ඉලිනොයි විශ්වවිද්‍යාලයේ භෞතිකවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස සේවය කරන ප්‍රකට බුද්ධිමතෙකි. ලංකාවේ, තමා උගත් පේරාදෙණියේ මිතුරකු ලෙස මධුජිත්ට ලැබෙන සිවාගේ ආරාධනාව පදනම් කරගෙන මධුජිත් එහි යන්නේ කපිලගේ ද කරට අත දමාගෙන ය. රාජකාරි නොවන මෙම සංචාරයට මධුජිත් කපිලව කැඳවාගැනීම සමගම බරපතල ලබැඳියා ගැටුමක් ඇති වෙයි. මධුජිත් හෝ මධුජිත්ගේ පිරිසෙහි කිසිවකුට විරුද්ධ කිසිවක් විමර්ශනය කරවන්නට දැන් කපිලට අසීරු ය. අනිත් අතට, කපිල ගියේ ද, රාජකාරි  නිවාඩු මත, විදෙස් ගත වන රාජ්‍ය නිලධාරීන්ට ලැබෙන ඩොලර් දීමනා ආදිය ද සමග නම් තත්වය තවත් දරුණු ය. 

කපිලලාගෙන්, මධුජිත්ලාගෙන් පද්ධතිය රැකෙයි ද? නැත්තම් ඒකනායකලා සුරැකෙයි ද?

ඉහත කී පරිදි යූජීසී සභාපති කපිල සිට, උපකුලපති මධුජිත් හරහා ඒකනායක සහ සහචර රැළ ද ඉන්නේ එකම බෝට්ටුවක ය. කලින් ආණ්ඩු සමයන්ගේ දූෂණ වංචා එළිවෙද්දී සියලු පක්ෂ එකට එක්වුණු පරිදි මේ හැමෝම එකට 'සෙට් වී' සිටිති. ඒ නිසා සිදුවීම් පිළිබඳ පරීක්ෂන යට ගසනු හෝ වෙනස් කරනු හැර වෙන යමක් සිදුවන්නේ නැත. 

ඒකනායක රකින මධුජිත්, Sexual and Gender-based Harassment and Sexual Violence Prevention Committee (SGBVC) වෙත ඔහු පිළිබඳ යොමු වුණු චෝදනා දෙකක් අනීතිකව යට ගසා ඇත. පළමුවැන්න, තමන්ට විරුද්ධව කැලෑ පත්තරයක් එවූ බව කියා ප්‍රසිද්ධියේ වට්ස්ඇප් කාණ්ඩවල, නම නොකියා නමුත් කවුරුදැයි හඳුනාගත හැකි අයුරින්, ඉංග්‍රීසි අංශයේ 'මහාචාර්ය කාමන් වික්‍රමගමගේ' ට ඒකනායක සිදු කළ අශ්ලීල ප්‍රහාරයට එරෙහිව ලැබී තිබුණු නිර්ණාමික පැමිණිල්ලයි. මහාචාර්ය කාමන් ‘තමන් එවැනි පැමිණිල්ලක් නොකල බව’ කීම පදනම් කර ගනිමින්  එම නිර්ණාමික පැමිණිල්ල මධුජිත් ඉවතට විසි කර දමන්නට උපදෙස් දුන්න ද, එම කමිටුවෙහි නීති ප්‍රකාරව නිර්ණාමික පැමිණිල්ලක් වුව විභාග කිරීමට අදාල කමිටුවට අවසර හිමිය. මෙම පැමිණිල්ල කාමන් විසින් නොකළ බව කාමන්ම කියා සිටිය ද, ඇය නොකළ නමුත් එවැන්නක් ලැබී ඇති බැවින්, එය ඉවත් කරන්නැයි ඉල්ලන්නට කාමන්ටවත්, ඉවත් කර දමන්නැයි අණ කරන්නට මධුජිත්ටවත් ඉඩක් නැත. 

ලංකාවේ ප්‍රකට ගුරුවරියක වූ 'තිළිණි ෂැල්වින්', ගුරුවරියන්ට පහසු ඇඳුමක්  ඉල්ලා කළ අරගලයෙහි ප්‍රධාන භූමිකාවක් වූ අතර ඇයට අපහාස කරමින් ඒකනායක ඇගේ  මුහුණට ‘හරක්’ මුහුණක් තබා, බැරි මර ගාතේ කවියකුත් ලියා එය සමාජ මාධ්‍ය හරහා බෙදාගත්තේ ගුරුවරියන්ගේ ඔසරිය අනිවාර්ය කිරීම තමන්ගේ පුද්ගලික කටයුත්තක් කර ගනිමිනි. ඒ පිළිබඳ පැමිණිල්ල ද මධුජිත් ඉහළට ගෙන එන්නට ඉඩ තබා නැත.

ඔව්! මධුජිත්ලා ඒකනායකලා රැකිය යුතු ය. ඒ නැතිනම් වැඩබලන අභ්‍යන්තර විගණන නිලධාරී තනතුරට 'තුසිල් වීරසේකර' අනීතිකව පත් කළ සිද්ධිය ඉහළට ආවොත් මධුජිත් වෙනුවෙන් මුර ගාන්නට මුර බල්ලන් අහිමි වන නිසා ය. මධුජිත්ලාගේ මූල්‍ය ගණුදෙනු ඇතුළු සියල්ලේ වගතුග රැක දී, ඔහුව සුරකින තුසිල් වීරසේකර රැඳිය යුතුව තිබුණු, මාස හයක සේවා කාලය වෙනුවට ඔහු අවුරුදු එක හමාරක් රැඳී සිටි ආකාරයත්,  එය හසුවන්නට යද්දී රහසිගතව ඔහුට අතීතයට බලපාන ලෙස පත්වීම සකස් කළේත් ඇයිදැයි  මධුජිත්ට පැහැදිලි කළ හැකි ද? ඒ තොරතුරු මෙන්ම තවත් විගණන තොරතුරු වෙනත් පිරිස් අතට පත් වද්දී, වැරදි නිවැරදි කරනු වෙනුවට, කරුණු එළියට දෙන්නට ඇතැයි සැක  කරමින් සහකාර ලේඛකාධීවරියක අදාල පුටුවෙන් වෙනත් තැනකට යැව්වා ද නැද්ද? 

දැන් ඉතින්...

පුනරුදයක් තනන්නට වෙර දරන වත්මන් රජය මෙවැනි ක්‍රියා ගැන ගැඹුරින් සොයා බැලිය යුතු ය. ජාජබයට සමීපතමයින් නොවන අය ප්‍රධාන නිලතල තැබීම වරදක් නොවෙතත්, ඒ සැවොම පෙර ‘සමීපතා’ අනුව වැඩ කරන්නේ ද, සැබෑ පෙර ගමනක් වෙනුවෙන් කැප වන්නේ ද, ඒත් නැතිනම් ‘නීති නවා’, ‘හොරා රැක’ කටයුතු කරන්නේ ද යන්න විමසිය යුතු ය. ඇමරිකා සවාරියේ තතු ගැන දැනටම යොමු වී ඇති ඇස, ඒකනායකලා වෙත, මහින්ද හේරත් ලා වෙත, සුදර්ශන බණ්ඩාරලා වෙත ද යොමු විය යුතු ය!

ඒ සඳහා අවශ්‍ය තොරතුරු අපි දිගින් දිගටම සම්පාදනය කර දෙමු! පහත ලිපි ඉක්මණින් බලාපොරොත්තු වන්න.

1. අනුමත විශේෂවේදී සිසුන් හැත්තෑපහක සංඛ්‍යාව එකසිය හැත්තෑවක් දක්වා නංවමින්, ඒකනායකගේ අධ්‍යයනාංශය වූ අධ්‍යාපන දෙපාර්තමේන්තුව, 2024 වසරේ සිදු කළ මගඩිය සහ එයට විරුද්ධව ලැබුණු පැමිණිලි හා පරීක්ෂණ හමුවේ, නීතිවිරෝධී ලෙස 2025 වසරේදී සුදුස්සන් පසෙක තබා තමන්ගේ ලේඛණවල සිසු සිසුවියන් බඳවා ගැනීම ගැන හෙළිදරව්ව.
2.  ශිෂ්‍ය පෙම්වතියගේ ළකුණු, තම අධ්‍යයනාංශයේම ආචාර්ය හිමිනමකගේ එකවුන්ට් එකෙන් හොරෙන් ගොස් වෙනස් කළ හෙයින් අංශාධිපතිකම අහිමි වී, නමුත් හිත සැනසීම වෙනුවෙන් ඒකනායකගෙන් ඊටත් ඉහළ පන්නයේ තනතුරක් ද ලැබ සිටින, ඒකනායකගේ ‘වම් අත’ වන මහින්ද හේරත් ගැන සම්පූර්ණ හෙළිදරව්ව.
3. ව්‍යාජ ලේඛණ සාදා රාජ්‍ය මුදල් හරහා ලැබුණු ශිෂ්‍යත්වයක් හොරෙන් ගන්නට ගොස් අතටම අහුවුණු, ලෝ ප්‍රකට මහාචාර්යවරයෙකුගේ කෘතියක කොටස් තමන්ගේ ලෙස පරිවර්තනය කොට, උසස්වීම්වලට අවශ්‍ය පොත් සාදා, ඒ ජාත්‍යන්තර වශයෙන් හෙළිදරව් කර ගනිමින් ‘ඉහළ කීර්තියක්’ ලැබ සිටින, සිය අනියම් පෙම්වතිය වන 'රත්නායක නෝනා' කිසිදු පදනමකින් හෝ නීත්‍යානුකූල අවසරයකින් තොරව සිය විශ්වවිද්‍යාල කාර්යාල කාමරයේම තබාගෙන සිටින, ඒකනායකගේ ‘දකුණු අත’ වන සුදර්ශන බණ්ඩාර ගැන සම්පූර්ණ හෙළිදරව්ව.

(සේයාරුවේ ඉන්නේ පේරාදෙණි උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් ය)

-විශේෂ ලියුම්කරුවකු විසිනි. 

සබැඳි ලිපි;
* මෙන්න මෙන්න පේරාදෙණි පාලක සභාව කම්බ හොරා රකිනවෝ..! ශාස්ත්‍ර පීඨාධිපති කුප්‍රකට ප්‍රභාත් ඒකනායකගේ මගඩි සොයන්නට පත් කළ කමිටුව වෙනස් කළේ ඇයි..?
* පේරාදෙණිය ශාස්ත්‍ර පීඨයේ 'සජබකරණය' - පීඨාධිපති ප්‍රභාත් සහ සහචරයෝ ශාස්ත්‍ර පීඨය වනසති..!

---------------------------
by     (2025-10-04 19:27:41)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links