-විශේෂ ලියුම්කරුවෙක් හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2025.ඔක්.18, පෙ.ව.6.10) ලංකාවේ මානව ශාස්ත්‍ර, සමාජ විද්‍යා හෝ ශාස්ත්‍ර යන නම්වලින් තැනෙන බොහෝ පීඨවලට ඇතුළත් වන සිසු සිසුවියන්ට හමුවන, ලැබෙන උපාධි වර්ග දෙකකි. එකක්, පළවෙනි වසරේදීම තෝරාගන්නා දෙපාර්තමේන්තු තුනෙන්ම නියමිත පාඨමාලා හදාරමින් වසර තුනකින් උපාධිය හමාර කිරීමයි. එය සාමාන්‍ය උපාධියක් ලෙස හැඳින්වේ. දෙවැන්න, පළමු වසරේ තෝරාගත් දෙපාර්තමේන්තු තුනෙන් තමන් වඩාත් කැමැත්ත දක්වන දෙපාර්තමේන්තුවට දෙවන වසර මුලදී ඉල්ලුම් පත් යොමු කොට විශේෂවේදී උපාධියකට මග පාදා ගැනීමයි. ඒ සඳහා ඉඩ ලැබුණහොත්, තවත් වසර තුනක් අදාල දෙපාර්තමේන්තුව මුල් කොට ගනිමින්, එහි යෝජනා කෙරෙන විෂයයන් හදාරමින් ගෞරව උපාධියක් දිනාගන්නට ඉඩ ලැබෙයි. ඒ වෙනුවෙන් වසර හතරක් විශ්වවිද්‍යාලයේ රැඳිය යුතු ය. නමුත් පන්ති සාමාර්ථයක් සහිතව ගෞරව උපාධියක් දිනා ගන්නට ලැබුණොත් ලැබෙන අවස්ථා ඉහළ ය.
කාලයක් තිස්සේ අපේ කතා නායකයා ව සිටින, ඒකනායකගේ පීඨාධිපතිත්වයෙන් යුක්ත පේරාදෙණියේ ශාස්ත්‍ර පීඨය ලංකාවේ පැරණිම හා ඉහළම ඇගයීමක් ඇති ශාස්ත්‍ර පීඨවලින් එකකි. අද එය ඒකනායක හා සහචර නඩය වළ පල්ලට ඇද දමමින් හිටියත් අතීතය බොහෝ සතුටුදායක එකකි.
අද වන විට ශාස්ත්‍ර පීඨයේ දෙපාර්තමේන්තු විස්සකට ආසන්න සංඛ්‍යාවක් වෙයි. නීති දෙපාර්තමේන්තුව වැනි වෙනස් බඳවා ගැනීමේ ක්‍රමයක් ඇති, එනම් සෘජුවම සිවු වාර්ෂික නීති උපාධියකට සිසුන් බඳවා ගන්නා පාඨමාලා කිහිපයක් පැවතිය ද, බොහෝ දෙපාර්තමේන්තු කලින් කියූ ආකාරයේ සාමාන්‍ය සහ විශේෂ උපාධි පිරිනමනු ලබයි. භූගෝල විද්‍යාව, සමාජ විද්‍යාව වැනි දෙපාර්තමේන්තු බිහිවීමෙන් බොහෝ පසුව ඇති වුණු අධ්‍යාපන දෙපාර්තමේන්තුව ද පිරිනමන්නේ අධ්‍යාපනවේදය මූලික කරගත් ගෞරව උපාධියකි. එක් එක් කාලවලදී පීඨයේ විශේෂ උපාධිවලට ඇති ශිෂ්‍ය කැමැත්ත විවිධ හේතු මත උඩ-පහළ යන අතර වර්තමානයේ වැඩිම ශිෂ්‍ය කැමැත්ත ඇත්තේ අධ්‍යාපනය විශේෂ විෂයයක් ලෙස දිනන්නට ය.
සිසුන්ගේ මේ උනන්දුව මූලිකවම රැකියා වෙළඳපොළ නිසා ය. අධ්‍යාපනවේදය සඳහා උපාධියක් හිමිවීම ඉක්මණින්ම ගුරු පත්වීම් ලබන්නටත්, ඒ ක්ෂේත්‍රය හා බැඳුණු ඉහළ රැකියා සඳහා යාමටත් සුදුසුකමක් බව සිසුහු විශ්වාස කරති. මේ විශ්වාසය අධ්‍යාපන විශේෂ උපාධිය සඳහා ලොකු තරගයක් සදා දී තිබේ. පළමු අවුරුද්දේ විභාගවලින් වැඩි ලකුණු ලබා මෙහි විශේෂ උපාධියට සිහින මවන සිසු සිසුවියෝ මහ ගොඩක් පේරාදෙණියේ දී හමු විය හැකි ය.
කොයි හැටි වෙතත්, මේ සිහිනය සැබෑ කරන්නට ඉන්නා අධ්‍යාපන අංශයේ ආචාර්ය බුරුත්ත නම් භයානක සිහිනයක ඉන්නා අස්වාභාවික සත්ව කොටසකට වැඩි වෙනසක් නැත. ඒ නිසා සිහිනය සැබෑ වී ඇත්තේ ද, වෙන්නේ ද වෙනම අවසානයක් සහිතවම ය.
අධ්‍යාපන අංශය 2024 වන තෙක්ම විශේෂ උපාධියට තෝරාගනු ලැබුවේ සිසු සිසුවියන් 75කි. ඒ පළමු වසරේ විභාගවලින් දිනාගත යුතු වුණු බී සාමාර්ථ මට්ටම හෝ ඉහළ විෂයය ප්‍රතිඵල සමග නියම කර තිබුණු GPA (Grade Point Average) අංකය සැලකිල්ලට ගනිමිනි. අදාල කඩඉම දිනාගෙන සතුටු කඳුළු සළන්නන් මෙන්ම, නොදිනා වැළපෙන අය ද ඒ සමයේ දී දකින්නට විය. නමුත්, 2024 අවුරුද්දේ හොර රහසේම මේ 75ක ශිෂ්‍ය අංකය 172ක් දක්වා හදිසියේම ඉහළ ගොස්, තවත් 97ක පමණ ශිෂ්‍ය පිරිසකට අධ්‍යාපන විශේෂ උපාධි දොරටු විවර වී තිබිණ. සුදුසුකම් සපුරා ඇත්නම් ඉඩ දුන්නාට ඇති වැරැද්ද මොකක්දැයි කෙනෙකුට ඇසිය හැකි වුවත්, මෙහි ඇති පුදුමය නම් මේ 97 තුළ සුදුසුකම් නැති සිසුන් පිරිසක් ද වීමයි. හිටපු ආණ්ඩු සමයන්වල රස්සා බෙදද්දී, ‘තමන්ගේ එවුන්’ අනිත් සෙනග අස්සේම රිංගවා ලැයිස්තුවල ලියා, රස්සා බෙදූ පරිදි, අංකය අමතර සීයකට ලං වෙද්දී ඒ අතර නුසුදුස්සන් තොගයක් ද අධ්‍යාපනය ඇතුළට කැඳවාගෙන තිබිණි.
ඒ පිළිබඳ ආ කසුකුසු, ශිෂ්‍ය හා ආචාර්ය මණ්ඩල චෝදනා හේතුවෙන් අවසානයේ පරීක්ෂණයක් කැඳවුණු අතර එහි තොරතුරු කාලයේ වැලි තලාවට වැසී ගියේ ය. කෙසේ වුණත්, 2025 වන විට යළිත් අනුමත සංඛ්‍යාව වූ 75 දෙනාගේ ශිෂ්‍ය සංඛ්‍යාවම තෝරාගත යුතු බවට තීරණය වී තිබිණ. එකසිය හැත්තෑ ගණනක් දක්වා ඉහළට එසවුණු ශිෂ්‍ය අංකය පිටුපස වූ අභිරහස පිළිබඳ කතාව තවම හෙළිදරව් වී නැත.
75ක අංකය අවසන් නියමිත අගය බව හා ඉන් ඔබ්බට පැන, නුසුදුස්සන් රිංගවීමට බැරි බව දැනගත් පේරාදෙණි අධ්‍යාපන ආචාර්ය-හොරු 2025 දී අලුත් අනීතික මගඩියක් නටා ඇති බව දැන් කරළියට පැමිණ ඇති තොරතුරයි. ඒ නම්, විශේෂ උපාධියකට තෝරාගන්නා, ඉහත කී ප්‍රතිඵල විමසන සම්මත ක්‍රමයට පිටින් ගොස්, සම්මුඛ පරීක්ෂණ පවත්වා 75ක් තේරීමයි! කලින් අවුරුද්දේ 75 තෝරා, ඉන්පසු තමන්ගේ ලැයිස්තුව ද පුරවාගත් ආචාර්ය-හොර රැළ මෙවර තමන්ගේම ලිස්ට් එකක් හදාගෙන ඔවුන් තෝරාගැනීමට සම්මුඛ පරීක්ෂණයක් තබා ඇත.
මෙය නම් ‘අම්මට සිරි’ වැඩකි..! අහපු විගස, ‘අම්මා -මුත්තා’ මතක් කෙරෙන නරි නාඩගමකි..!! ෆැකල්ටි බෝඩ්, සෙනෙට් බෝඩ්, කවුන්සිල් බෝඩ් ආදී නොයෙක් ශාස්ත්‍රීය හා පරිපාලන බෝඩ් හරහා අනුමත කොට කළ යුතු වැඩක් ‘හිතු මනාපේ’ කරන්නට අධ්‍යාපන අංශයට බලයක් දුන්නේ කවුද?
නමුත් වැඩේ යට ගියේ නැත. සුදුසුකම් තිබුණු සිසුවෙක් තමන්ට අවස්ථාවක් නොලැබුණු බව කියා යූජීසී ගියේ ය. යූජීසිය පේරාදෙණිය ඇමතී ය. කලින් ලිපියේ කී පරිදි, මධුජිත් උපකුලපති රට සවාරියක සිටි නිසා වැඩ බලමින් සිටියේ නියෝජ්‍ය උපකුලපති රංජිත් පල්ලේගම ය. ඔහු මධුජිත් පන්නයේ ‘දියබරි’ සෙයියාවකට නොගොස් වහාම සොයා බලන්නට කමිටුවක් කැඳවී ය. අධ්‍යාපන අංශයේ විශේෂ උපාධියට සම්මත ක්‍රමයට සිසුන් තෝරාගත යුතු බවත්, සිදු කර ඇත්තේ වරදක් බවත් තීරණය විය..!
මේ වන විට අනීතික සම්මුඛ පරීක්ෂණ හරහා තෝරා ගැනුණු සිසු සෙට් එකට ‘හරි හරියට’ විශේෂවේදය උගන්වන්නට අධ්‍යාපනයේ ආචාර්ය හොර-රැළ පටන්ගෙන තිබුණු බැවින් ‘වැඩේ රිවස් කරන්නට’ බැරිව, අංශාධිපති වෝල්ටර් සෙනෙවිරත්න ඇතුළු නඩය ‘ගෙදර ගියොත් අඹු නසී - මග සිටියොත් තෝ නසී’ නොව, ‘කොහෙට ගියත් බඩුම තමා!’ තැනක ‘එලුවා බෙල්ල හිරකරගත්’ ආකාරයට කැරකෙමින් සිටිති. ඒකනායකගේ සහචර නඩය වැඩේ ගොඩ දාගෙන ඒකනායකගේ බෙල්ල බේරා ගන්නට ක්‍රම සොයමින් සිටිති.
පේරාදෙණියේ ශාස්ත්‍ර පීඨයේ විශේෂ උපාධිවලට සිසු සිසුවියන්ට සුදුසුකම් ලැබිය හැකි, අනුමත ක්‍රමයක් ඔවුන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන විටම දැනුම් දෙන බව හැමෝම දනිති. ඉන් පිට පැන, මේ නටාගෙන යන මගඩියෙහි තොරතුරු හෙළි කරගන්නට අපි ප්‍රශ්ණ කිහිපයක්, අභියෝග ලෙස, පීඨාධිපති ඒකනායක සහ අධ්‍යාපන අංශාධිපති වෝල්ටර් වෙත ඉදිරිපත් කරමු. ‘ඊ නිවුස් ප්‍රශ්නවලට අපි මොකට උත්තර බඳින්න ද?’ කියා නොසිතා, මේවාට උත්තර සොයා ගන්නා ලෙස අපි යෝජනා කරන්නේ ‘කෝප් කමිටුව’ හෝ සමාන කමිටුවක් ඉදිරිපිට මේ මගඩි විමසන දිනයන් දුර නොවන බව පැහැදිලි බැවිනි.
1. 75ක සිසු අංකය 173කට නංවන්නට බලපෑ, 2024 දී ක්‍රියාත්මක කළ වැඩසටහන කාගේ යෝජනාවක් ද? ඒ සඳහා තීන්දු-තීරණ ගත් දෙපාර්තමේන්තු හා පීඨ වාර්තා තිබේ ද?
2. මූලික සුදුසුකම් සපුරා නොතිබුණු සිසු-සිසුවියන් කොපමණ ගණනක් එම වටයේ තෝරාගත්තා ද? ඒ ඇයි?
3. එම සුදුසුකම් රහිත පිරිසෙහි වැඩි පිරිසක් ‘නවක වදය’ සඳහා සහාය දක්වන කණ්ඩායම් නියෝජනය කරන්නන් බව ඔබ දැනුවත් ද?
4. මෙම විශේෂවේදී උපාධි අවස්ථා, තමන්ගේ ජඩ හැසිරීම්වලට එරෙහිව ආ ශිෂ්‍ය විරෝධතා යටපත් කරන්නට ඒකනායකගෙන් දුන් අල්ලසක් යැයි අප කීවොත් ඔබගේ පිළිතුර කුමක් ද?
5. 2025 දී පෙර ක්‍රමය වෙනුවට යළි 75 ක්‍රමයටම ආවේ ඇයි? එහිදී කෙරුණු සම්මුඛ පරීක්ෂණ යෝජනාව කාගේ ද? එය අනුමත වුණු ලියකියවිලි ඉදිරිපත් කළ හැකි ද?
6. එම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සැදුම් ලද්දේ කාගෙන් ද? ඇසූ ප්‍රශ්න මොනවාද? ඇගයුම් නිර්ණායක මොනවා ද?
7. ඒ පිළිබඳ සිදු කෙරුණු පරීක්ෂණවලින් පසු ඉදිරිපත්ව ඇති නිවැරදි කිරීමේ යෝජනාවලිය යට ගසන්නේ ඇයි? එහි වර්තමාන ප්‍රගතිය පැහැදිලි කළ හැකි ද?
8. මේ සියල්ලට පිළිතුරු කෙසේ දුන්න ද, ගෙවුණු වසර දෙක තුළ විශේෂ උපාධියට සිසු සිසුවියන් තෝරාගනිද්දී අගතියක් සිදුව ඇති බව ඔබ පිළිගන්නේ ද?
පේරාදෙණි ශාස්ත්‍ර පීඨ, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන විද්‍යාව පිළිබඳ පිළිගත් දැනුමක් ඇති කෙනා මහාචාර්ය සේතුංග ය. ඔහු ද දැන් ජාතික තලයේ වැඩකටයුත්තක ය. පාසැල් ගුරුකම් කොට, සිසුන් දණ ගස්සවා, කොණ්ඩ කප්පවා, ගවුම් වාටි දික්කර දී, අධ්‍යාපනය ඒ යැයි හිතමින් අත්දැකීම් ගෙන ආ බහුතරයක් දැන් මෙහි ආචාර්ය මණ්ඩලයේ ය. මදිවාට, එක් අයෙකු පීඨාධිපති පුටුවේ ය..!
ඉස්කෝල ගුරු ඇඳුම් සැරසිලිවලින් විශ්වවිද්‍යාල බිමට එන මෙහි නෝනලා -මහත්තුරු බහුතරය, රටෙහි අධ්‍යාපනයේ අනාගතයට සිදු කරන මේ විනාශය වහා විමසිල්ලට ලක්විය යුතුම ය. නැත්නම්, 2026 දීත්, ඉන්පසුවත්, ‘තමන්ගේ ලිස්ට්’ අය විශේෂ උපාධියට දාගන්නා තක්කඩි වැඩ මේ උන්නැහේලා, අම්මණ්ඩිලා දිගටම කරන්නට ඉඩ ඇති බැවිනි. විමසිල්ලේ බරපතල බව අදාල දඬුවම් කවර ආකාර විය යුතු දැයි තෝරා දෙනු ඇත.
(ශාස්ත්‍ර පීඨාධිපති ප්‍රභාත් ඒකනායක සේයාරුවේ දැක්වේ)
සබැඳි ලිපි;
* මෙන්න මෙන්න පේරාදෙණි පාලක සභාව කම්බ හොරා රකිනවෝ..! ශාස්ත්‍ර පීඨාධිපති කුප්‍රකට ප්‍රභාත් ඒකනායකගේ මගඩි සොයන්නට පත් කළ කමිටුව වෙනස් කළේ ඇයි..?
* පේරාදෙණිය ශාස්ත්‍ර පීඨයේ 'සජබකරණය' - පීඨාධිපති ප්‍රභාත් සහ සහචරයෝ ශාස්ත්‍ර පීඨය වනසති..!
* උසස් අධ්‍යාපන මගඩි රැසක සුලමුල..! පේරාදෙණි උපකුලපති සමග පීඨාධිපතිගේ අම්බුළුවා කන්දේ සවාරිය..! විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති සහ පේරාදෙණි උපකුලපතිගේ ඇමරිකානු සවාරිය..!!
---------------------------
by (2025-10-18 00:44:55)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි