~

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පිලපිටිය ‘අලි හොරුන් කොරහේ නෑවීම‘ දෙවන කොටස හෙවත් පිලපිටිය බිඳ දැමූ ‘මහජන විශ්වාසය‘: අපූරු අලිහොරා ‘වින්සන්ට් මහත්තයා‘..!

(ලංකා ඊ නිව්ස් -20­­­­16.මැයි.21, ප.ව‍‍.11.30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය විනිසුරුවරයා විසින් පසුගිය 18 වෙනිදා නීතිපති දෙපාර්තමේන්තු නීතිඥයන් නොමැතිව අතුරු තීන්දුවක් දෙමින් අලි හොරුන් කොරහේ නෑවීම හෙවත් හොර අලි ලඟ තබා ගත් අලි හොරුන්ටම බැඳුම්කරයක් යටතේ යලිත් අලි බාර දීමේ වැරදි තීන්දුව සම්බන්ධයෙන් නඩුව ඊයේ(20) යලිත් විභාග විණ.

ඊයේ දිනයේදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජය කරමින් රජයේ නීතිඥ දිලීප පීරිස් මහතා පෙනී සිටි අතර සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක, රාවය කර්තෘ ජනරංජන, මහින්ද රත්නායක, ඇතුළු පිරිසක් ‘පුරවැසි බලය‘ සංවිධානය ලෙස මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයක් වශයෙන් නඩුවට මැදිහත් විය. පුරවැසි බලය වෙනුවෙන් නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා පෙනී සිටියේ ය. 

දිලීප පීරිස් සහ කුමාරප්පෙරුම නීතිඥ මහත්වරුන් විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේ 18 වෙනිදා දුන් තීන්දුව වැරදි සහගත එකක් බවත් එය වෙනස් කරමින් මේ අලි නඩු අවසන් වන තුරු වන ජීවි දෙපාර්තමේන්තුව බාරයේම තබා ගත යුතු බවයි.

පිලපිටිය විනිසුරු තැබූ ශ්‍රී ලංකා වාර්තාව

ඊට පිලිතුරු දෙමින් පිලපිටිය විනිසුරුවරයා කියා සිටියේ තමන් එදින අතුරු තීන්දුවක් දුන්නේ මෙදින එනම් ඊයේ 20 දා නීතිපති දෙපාර්තමේන්තු දේශනයෙන් පසුව නියත තීන්දුවක් වන ලෙස මිස එදින නිශ්චිත තීන්දුවක් නොදුන් බවය

එහිදී දිලීප පීරිස් සහ උපුල් කුමාරප්පෙරුම නීතිඥවරුන් පෙන්වා දුන්නේ මෙය අපරාධ නඩුවක් වන අතර අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 431 වගන්තිය යටතේ එලෙස අපරාධ නඩු සම්බන්ධයෙන් අතුරු තීන්දු දිය නොහැකි බවයි. මෙතෙක් අධිකරණ ඉතිහාසයේ කිසිදු දිනෙක අපරාධ නඩුවක් සම්බන්ධයෙන් පසුව නියත තීන්දුවක් වන ලෙස අතුරු තීන්දු දී නැත. පිලපිටිය විනිසුරු මෙහිදී ශ්‍රී ලංකා වාර්තාවක් තබා තිබේ.

දිලීප පීරිස් මහතා තම දේශනය ආරම්භ කරමින් කියා සිටියේ මෙය කෝටිපතියන් 15 දෙනෙකු ඉදිරිපත් වී සිටින නඩුවක් බවයි. එනම් බලපත්‍ර රහිතව ලඟ තබා ගත් අලි 15 දෙනෙකු මේ වන විට වන ජීවී දෙපාර්තමේන්තුව භාරයේ සිටින අතර ඔවුන් යලි ලබා ගැනීම වෙනුවෙන් අලි හොරුන් 15 දෙනෙකු ඉදිරිපත්ව සිටි අතර එක් අලියෙකු සාමාන්‍යයෙන් මිලියන 10 ක් පමණ වටිනා බැවින් කෝටිපතියන් 15 දෙනෙකු ලෙස දිලීප පිරීස් මහතාගේ හැඳින්වීම නිවැරදි විය. 

පටිපාටියක් ලෙස පිලපිටිය වැරදියි 

පිලපිටිය විනිසුරුගේ තීන්දුව සම්බන්ධයෙන් දිලීප පීරිස් මහතාගේ මූලික විරෝධය වූයේ එය පටිපාටියක් ලෙස වැරදි සහගත බවයි. එනම් මෙම අලි දැන් නඩු භාණ්ඩයකි. කිසියම් හේතුවක් මත නඩු භාණ්ඩයක් ලබා දිය හැක්කේ වින්දිතයාට මිස දැන් හෝ අනාගතයේදී හෝ චුදිතයෙකු වන අයට බැඳුම්කර මත හෝ නඩු භාණ්ඩයක් ලබා දිය නොහැකිය යන්න දිලීප පීරිස් මහතාගේ මූලික තර්කය විය. 

පිලිටිය විනිසුරු කියා සිටියේ මෙම අලින්ට බලපත්‍ර තිබෙන බවයි. එහිදී රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේ මෙම නඩුවේ බරපතල ලෙස ප්‍රශ්නකාරී වී තිබෙන්නේ ද එම බලපත්‍ර බවයි. රහස් පොලිසිය පරීක්ෂණ කරමින් සිටින්නේ ද ඔය කියන බලපත්‍ර පිලිබඳව යැයි කී රජයේ නීතිඥවරයා මේ අලි, මව් ඇතින්න මරා කැලයෙන් අල්ලා ගන්නා ලද අලි බවත් පසුව ව්‍යාජ බලපත්‍ර හදා තිබෙන බවත් හෙලිවෙමින් තිබෙද්දී මේ අලි, ඒ අලි හොරුන්ටම ලබා දීමට හැකියාවක් නැතැයි ඔහු පෙන්වා දුන්නේය. ලංකාවේ අලි යනු ඕනෑම පුද්ගලයෙකු ලඟ සිටියද එවුන් රජයේ දේපොලක් බවද ඔහු පැවසීය.

බුද්ධාගම විනාශ කිරීමේ එන්ජීඕ කුමන්ත්‍රණයක් කියා අලිහොරුන් සුද්ද කිරීම

අලි හොරුන් වෙනුවෙන් පෙනී සිටි ප්‍රශන්ත ලාල් ද අල්විස් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙය බුද්ධාගම රැක ගැනීමේ ක්‍රියාවක් බවයි. පෙරහැර පැවැත්වීම බුද්ධාගමේ අංගයක් බවත් අලි නොමැතිව පෙරහැර පැවැත්විය නොහැකි වන අතර ඉන් බුද්ධාගම විනාශ වන බව ඔහු කීය. බුද්ධාගම රැක ගැනීමට ව්‍යවස්ථාවෙන්ම බැඳී සිටින බව කී ඔහු පුරවැසි බලය මෙයට ඉදිරිපත් වීම ලංකාවේ බුද්ධාගම විනාශ කිරීමට ගෙනයන එන්ජීඕ කුමන්ත්‍රණයක් යැයිද කීවේය.

ඊට පිලිතුරු දෙමින් උපුල් මාරප්පෙරුම නීතිඥවරයා කියා සිටියේ මෙයට බුද්ධාගම පැටලැවීමට පදනමක් නැති බවයි. පෙරහැර යනු සංස්කෘතික අංගයක් මිස බුද්ධාගමේ කොතැනකවත් පෙරහැර පවත්වන්න යැයි කියා නැති බව ඔහු පැවසීය. තමන්ගේ සොයුරෙකුද පැවිදි වී ඇතැයි කී කුමාරප්පෙරුම නීතිඥවරයා කියා සිටියේ අල්විස් නීතිඥවරයාට වඩා තමා හොඳ බුද්ධාගම් කාරයෙක් බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියෙන් බුද්ධාගම ආරක්ෂා කිරීමට වගකීමක් තිබෙන නමුත් බුද්ධාගමේ නාමයෙන් හොර ජාවාරම් කිරීමට ඉඩ දීම රජයේ වගකීම නොවන්නේ යයි ඔහු අවධාරණය කෙළේය. එන්ජීඕ කුමන්ත්‍රණ කතාවට පිලිතුරු දෙමින් කුමාරප්පෙරුම නීතිඥවරයා කියා සිටියේ මෙහි සිටින රාවය කතුවරයා තම පුවත්පත මගින් කාලයක් තිස්සේ මේ අලි හොරුන් ගැන හෙලිකරමින් අලි හොරුන්ට දඬුවම් දිය යුතුයැයි කියා සිටි අයෙක් මිස එන්ජීඕ කාරයෙක් නොවන බවයි. 

හෙම්බිරිස්සාව හැදෙන අලි..!

මෙම අලි පෙරහැර සඳහා ඉල්ලීම බොරුවක් යැයි කී දිලීප පීරිස් මහතා කියා සිටියේ මෙම අලින් සත්ව හිංසනයට ලක් කරමින් අලි අයිතිකරුවන් මුදල් උපයන බවයි. අලි නෑවීමට ගඟකට දමා පොල් කොස්සකින් අලියාගේ ඇඟ ඇතිල්ලීමට අවස්ථාව සුද්දන්ට ලබා දෙමින් එක් සුද්දෙකුගෙන් ඩොලර් 300 - 500 අතර මුදලක් කඩා ගන්නා අලි අයිතිකරුවන් අලියා නෑවිල්ලෙන් දිනකට ඩොලර් 5000 ක පමණ මුදලක් උපයා ගන්නා බව පැවසීය. එක් සුද්දෙක් පිට අතුල්ලන අතර තවත් සුද්දෙක් කකුලද, තවත් සුද්දෙක් හොඬයද, තවත් සුද්දෙක් වලිගයද, පොල් කොසුවලින් අතුල්ලමින් අලියා නෑවීමට වඩා අලියාව හිංසනයට ලක් කරන්නේ යයි ඔහු පැවසීය. මෙම අලි දවස පුරා වතුරේම තැබීමෙන් අලින්ට හෙම්බිරිස්සාව හැදී මිය නොගියොත් පුදුමයක් යැයි ඔහු උසාවිය හිනස්සමින් පැවසීය.

පෙරහැර සඳහා අලි නිදහස් කරන්නැයි මහ නායක හිමිවරුන් ලිපියක් මගින් තමාගෙන් ඉල්ලා ඇතැයි පිලපිටිය විනිසුරුවරයා පැවසීය.

ඊට පිලිතුරු දෙමින් කුමාරප්පෙරුම නීතිඥවරයා ප්‍රශ්න කෙළේ මෙය අපරාධ නඩුවක් බවත් අපරාධ නඩුවකදී මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම් සලකා බැලිය යුත්තේ නීතියේ රාමුව අනුව යැයි පැවසීය. මෙය වැරදි පූර්වාදර්ශයක් සපයන්නක් යැයි කී ඔහු මින්පසු තවත් අපරාධ නඩුවකට අගරදගුරුතුමන්ලා ද, තවත් අපරාධ නඩුවකට හින්දු පූජකතුමන්ලාද, තවත් අපරාධ නඩුවකට මවුලවි තුමන්ලාද විනිසුරුවරුන්ට ලිපි එවුවහොත් ඒවාද සලකා නීතියට පිටින් තීන්දු දෙනවා දැයි විනිසුරු පිලපිටියගෙන් ප්‍රශ්න කෙළේය.

පිලපිටිය බිඳ දැමූ මහජන විශ්වාසය පිලිබඳ සිද්ධාන්තය

එම නිසා හොර බඩු හොරාට දෙමින් 18 වෙනිදා දුන් තීන්දුව අත්හිටුවන්නැයි ඉල්ලා සිටි කුමාප්පෙරුම නීතිඥවරයා ඉතා වැදගත් කාරණයක් කෙරෙහි අධිකරණයේ අවධානය යොමු කෙරෙව්වේය. ඒ නම්  Doctrine of public trust හෙවත්  මහජන විශ්වාසය පිලිබඳ සිද්ධාන්තය කෙරෙහිය.

වත්මන් ආණ්ඩුව පෙර සිදුකරන ලද දූෂන සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රථිපලයක් ලෙස මේ අලි ජාවාරම කෙරෙහි ද ක්‍රියාමාර්ග ගෙන තිබේ. පහුගිය කාලයේ සිදුකරන ලද අපරාධ රැල්ල නතර කිරීමට ජනතාව තුලද දැඩි උනන්දුවක් ඇති වී තිබේ. මෙයට රාජ්‍යයේ සෑම ආයතනයක්ම සහයෝගය දැක්විය යුතුය. ‘මහජන විශ්වාසය පිලිබඳ සිද්ධාන්තය‘ රාජ්‍ය පාලනයේදී ඉතාම වැදගත් වන කාරණයයි. මේ පිලිබඳ ප්‍රථමයෙන්ම ෆොස්පේට් නිධිය සම්බන්ධ නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සැලකිල්ලට ගත්තේය. දෙවැන්න නම් වෝටර්ස් එජ් නඩුවයි. එහිදී ‘රජයේ ආයතන සහ රජයේ නිලධාරීන් මහජන විශ්වාසය තහවුරු කරන ආකාරයෙන් ක්‍රියා කළ යුතුය‘ යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව දක්වා තිබේ. එහිදී රජයේ ආයතන යන්නට අධිකරණයද ඇතුලත් වන බවත් රජයේ නිලධාරීන් යන්නට විනිසුරුවරුන්ද ඇතුලත් වන බවත් පෙන්වා දුන් උපුල් කුමාරප්පෙරුම නීතිඥවරයා කියා සිටියේ මෙම නඩුවේදී මහජන අවධානයට ලක්ව ඇති අපරාධය වැළැක්වීමට සහ අපරාධය සම්බන්ධ විමර්ශන ක්‍රියාවලියට අධිකරණය සහාය දැක්විය යුතු බවයි. අධිකරණය සහ විනිසුරුවරුන් මහජන විශ්වාසය ඇතිවන අයුරින් ක්‍රියා නොකළහොත් මහජනතාව නීතිය අතට ගනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය. එබැවින් මෙම තීන්දුව අත්හිටුවන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය. 

මේ සියල්ල අසා සිටි ගිහාන් පිලපිටිය විනිසුරුවරයා අවසානයේදී පෙරදා කෝටියක බැඳුම්කරය කෝටි 3 ක් දක්වා වැඩි කර මාසයක කාලයකට අලි හොරුන්ටම අලි ලබා දීමට තීන්දු කෙළේය. දැනට නඩු පවරා ඇති උඩුවේ ධම්මාලෝකගේ අලියා සහ තිලිණ ගමගේ විනිසුරුගේ අලියා එසේ ලබා ගැනීමට නොහැකි බවද ගිහාන් පිලපිටිය තීන්දුව දෙමින් ප්‍රකාශ කෙළේය.   

කව්ද මේ අලුත් අලි හොරා ‘වින්සන්ට් මහත්තයා‘ ?

මෙම නඩු විභාගයේදී අපූරු සිදුවීමක් විය.

අලි හොරුන් වෙනුවෙන් පෙනී සිටි අජිත් පතිරණ නීතිඥවරයා අලි හොරෙකු වන ‘වින්සන්ට්‘ නමැත්තෙකු වෙනුවෙන් පෙනී සිටින බව පැවසීය. ඔහු නිතර සඳහන් කෙළේ ‘වින්සන්ට්ගේ අලියා‘ ගැනය. කව්ද මේ වින්සන්ට්..? යයි සොයා බැලූ විට හේ අන් කිසිවෙක් නොව තිළින වින්සන්ට් සුලෝචන ගමගේ හෙවත් තිලින ගමගේ විනිසුරුවරයා ය. 

වින්සන්ට් කවුදැයි හෙලිකරමින් උපුල් කුමාරප්පෙරුම නීතිඥවරයා, “කව්ද මේ වින්සන්ට් මහත්තයා ඔහු අන් කවරෙක් හෝ නොවෙයි, මේ උඩ තට්ටුවේ නඩු අහන තිලින ගමගේ කියන විනිසුරුවරයා නේද? ඇයි මේ හංගලා ගහන්නේ ? ඇයි බය? “ යැයි ප්‍රශ්න කෙළේය. නීතියට පිටින් ක්‍රියා කරන්න අධිකරණයේ නිලධාරීන්ට හැකියාවක් නැතැයිද ඔහු පැවසීය. 

එහිදී අජිත් පතිරණ සහ සංජය ගමගේ නීතිඥවරුන් කීවේ එසේ නම හෙලිකිරීමෙන් අධිකරණය ගැන මහජනතාවගේ විශ්වාසය නැති වන බවයි. 

අධිකරණය ගැන විශ්වාසය නැති වන්නේ අපරාධ චෝදනා ලත් නඩුකාරයා හෙලිකිරීමෙන් නොව ඔහු සඟවා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමෙන් යයිද නඩුකාරයෙක් වැරදි කළත් වරදට දඬුවම් දෙනවා නම් අධිකරණය ගැන මහජනතාවගේ විශ්වාසය ඇති වන්නේ යයි ඊට පිලිතුරු දෙමින් කුමාරප්පෙරුම නීතිඥවරයා පැවසීය. 

තිලින ගමගේ අනිවාර්ය නිවාඩු යවයි

මේ අතර ඊයේ අධිකරණ සේවා කොමිසම විසින් අලි හොරා තිලින ගමගේ විනි-සොරා ඊයේ සිට අනිවාර්ය නිවාඩු යැවීමට තීන්දු කරන ලදී. නොයෙක් මාධ්‍ය තිලින ගමගේ ගේ වැඩ තහනම් කළා යැයි වාර්තා කර තිබුනද එය වැරදි සහගත ය. කොමිසම කර තිබුනේ වැඩ තහනම් කිරීමක් නොව අනිවාර්ය නිවාඩු යැවීමකි. රජයේ නිලධාරියෙකුගේ වැඩ තහනමකදී ලැබෙන්නේ වැටුපෙන් බාගයක් වුවද අනිවාර්ය නිවාඩු යැවීමකදී සම්පූර්ණ වැටුප ලැබෙනු ඇත.

-විශේෂ ලියුම්කරුවෙකු විසිනි- 

සබැඳි පුවත - ‘කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පිලපිටිය අලි හොරුන් කොරහේ නාවයි.! විජේදාස, පිලපිටිය, පමිල, පූජිත, හෙට්ටිආරච්චි ‘අලිහොරා-විනිසොරා‘ බේරාගැනීමේ කුමන්ත්‍රණය හෙලිවේ‘

---------------------------
by     (2016-05-22 02:11:11)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

මේ කියන මහේස්ත්‍රාත් පිලපිටිය කියන එකාත් මේ තිරිසනුන් රැළ කාලයක් තිස්සේ කර ගෙන ආ අලි හොරකමට අනියම් සම්බන්ධයක් ඇති බව මේ ප්‍රවෘත්තියට අනුව නම් පැහැදිලියි. රහස් පොලීසිය ඒ ගැනත් සොයා බැලුවොත් මහන්සිය අපතේ යන එකක් නැහැ?
-- by Chan on 2016-05-22

හොරකමකට චෝදනා ලැබූවෙකු අනිවාර්ය නිවාඩු යැවීමට පෙර අධිකරණ සේවා කොමිෂමේ මැට්ටන්ටත් ටිකක් කල්පනා කර බලන්නට තිබුණා. හොරකම් චෝදනා ලද විට අනිවාර්යයෙන්ම වැඩ තහනමට ලක් වන රජයේ අනිකුත් සේවකයින් මින් පසුව මෙම තීන්දුව උපයෝගී කර ගනිමින් අනිවාර්ය නිවාඩු ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට නොයනු ඇතැයි සහතික කර කිව හැක්ක‍ේ මොන නීතිවේදියාට ද?
-- by චාන් on 2016-05-22

මටනං පට්ට ලැජ්ජයි බං
-- by අරුණ on 2016-05-22

පොඩි මිනිහට පමනයි නීතිය සහ... --------------------------------------- මහජන විශ්වාසය පිලිබඳ සිද්ධාන්තය ඒ නම් Doctrine of public trust හෙවත් මහජන විශ්වාසය පිලිබඳ සිද්ධාන්තයයි. --------------------------------------------------------------------- ‘රජයේ ආයතන සහ රජයේ නිලධාරීන් මහජන විශ්වාසය තහවුරු කරන ආකාරයෙන් ක්‍රියා කළ යුතුය‘ යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව දක්වා තිබේ. එහිදී රජයේ ආයතන යන්නට අධිකරණයද ඇතුලත් වන බවත් රජයේ නිලධාරීන් යන්නට විනිසුරුවරුන්ද ඇතුලත් වේ... ---------------------------------------------------- http://www.lankaenews.com/news/4008/si ----------------------------------------------------------------------- සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා දේදුනු විප්ලවයට උරදුන් යහපාලන ලැදි යුක්තිගරුක ජනතාව සමග ඒකාබද්ධව නිසි මගට රට ගෙනෙනා තුරු රජයට බලපෑම් සිදුකරනා වගයි... අප හට දැන් හිටියත් එකයි... වෙඩි කාල මැරුනත් එකයි... https://www.facebook.com/sathpurawasiya/posts/227948474251805
-- by SathPurawasia on 2016-05-22

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links