~

නාකොටික් රංගජීවලාට පිළියන්දලදී වෙඩි තැබුවේ ලොක්කන්ගේ කුමන්ත්‍රණයකින්? සාගලගේ නියෝග පූජිත පැහැර හැර පරීක්ෂණ යට ගහයි: ඩග්ලස් නිමල්ට සේ රංගජීවලාටත් වැඩේ දුන්නේ පූජිත දැනුවත්ව ද?

(ලංකා ඊ නිව්ස් -2017.මැයි.13, පෙ.ව‍.8.45) පසුගිය මැයි 9 වෙනිදා පිළියන්දල මොරටුව පාරේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් නිලධාරියෙකු ඝාතනය කරමින් තවත් දෙදෙනෙකුට  බරපතල තුවාල කරමින් එල්ල කළ ප්‍රහාරයට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ඇතුලින්ම සම්බන්ධයක් තිබෙන බවට දැඩි සැකයක් මතුව ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

ඊට ප්‍රධාන හේතුව වන්නේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය අමු පට්ටපල් බොරු මාධ්‍ය වෙත මුදා හැරීමත් පොලිසිය බාර සාගල රත්නායක ඇමැතිවරයා සිද්ධිය ගැන පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් දීමට ජ්‍යෙ.නි.පොලිස්පති ලතීෆ් මහතා නම් කළද  මෙම ලිපිය ලියන මොහොත දක්වාම පොලිස්පතිවරයා විසින් ලතීෆ්ට එවැනි වගකීමක් බාර නොදී මගහැරීමත් නිසාය. ලතීෆ් යනු ඕනෑම වගකීමක් පක්ෂපාතීත්වයකින් තොරව නීතියට අනුකූලව සිදුකරන නිලධාරියෙකු ලෙස ප්‍රකට ය. අනෙක් අතට ඔහු වර්තමානයේ එස්ටීඑෆ් කොමඩාන් වරයාද වන බැවින් නිසි පරීක්ෂණයක් පැවැත්වීමට අදාල සම්පත් සියල්ල එස්ටීඑෆ් සතු බැවින් නොහැකියාවක් ද නැත.  

සුදුසු සූදානමකින් තොරව මෙවැනි වැටලීමක් සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායමක් පිටත්ව යෑමට හේතුව ඇතුළුව සිද්ධිය සම්බන්ධයෙන් සම්පුර්ණ වාර්තාවක් දින තුනක් ඇතුළත දෙන්නැයි ඇමැතිවරයා පොලිස්පතිට නියෝග කළද අද(13) වන විට දින 3 සම්පූර්ණ වී ඇති නමුත් පොලිස්පතිවරයා ලතීෆ් ට වැඩේ බාර දෙනවා තබා අපරාධය ගැන සෙවීම සීඅයිඩියටවත් මෙතෙක් බාර දී නැත. තවමත් සිද්ධිය ගැන පරීක්ෂණ සිදුකරන්නේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින්ම ය. මෙයින් පෙනී යන්නේ සිද්ධියේ සත්‍ය වසන් කර යට ගැසීමට පොලිස්පතිවරයාට මෙන්ම මත්ද්‍රව්‍ය නාශක අංශය බාර නි.පොලිස්පති /අධ්‍යක්ෂ කමල් ද සිල්වාට ද අවශ්‍යතාවයක් තිබෙන බවයි.

ප්‍රහාරය පිලිබඳ පසුබිම

මෙම ප්‍රහාරය ඉතාම පැහැදිලිව මත්ද්‍රව්‍ය නාශක අංශයේ දීර්ඝ කලක් සේවය කරන කුප්‍රකට පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව නමැත්තා ඝාතනය කිරීම සඳහා කරන ලද සැලසුමකි. රංගජීව යනු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග ඩීල් දමාගෙන ජීවත් වන නමුත් ජඩමාධ්‍ය අල්ලාගෙන මං පොර ජාතකය ලියාගෙන වීරයා වෙන කපටි කෛරාටික නිලධාරියෙකි. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් අති විශාල ලෙස මුදල් ලබා ගන්නා අතර ඉහල නිලධාරීන්ද මුදල් ලබා ගන්නේ ඔහු හරහා ය. ඔහු කෝටිපතියෙකි. ඔහු සතුව ඇතැයි සුපිරි නිවාස 5 ක් දැනට පොලිසිය විසින්ම සොයා ගෙන ඇත. කොළඹ වරායේ කන්ටේනර් ප්‍රවාහනය කරන ට්‍රක් රථ ද, කුලියට දෙන කැටපිලර්, බැකෝ යන්ත්‍රද රාශියක් තිබේ. සාමාන්‍ය පොලිස් පරීක්ෂක වරයෙකුට තම වැටුපෙන් සහ මත්ද්‍රව්‍ය වැටලීම් වලින් ලැබෙන පාරිතෝෂික දීමනාවන්ගෙන් මෙතරම් ධනයක් රැස් කර ගැනීමට නොහැකිය. එනිසාම ඔහුට එරෙහිව හිටපු පොලිස්පති ඉලංගකෝන්ගේ කාලයේ සිටම පොලිසියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 15 කට අධිකය. 

රංගජීවට ඕනෑම වෙලාවක මත්ද්‍රව්‍ය ඇල්ලීමේ හැකියාවක්ද තිබිණ. එනම් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් ඉහලට වාර්තා කළ යුතු තරම් අවශ්‍ය ප්‍රමාණයකට වැටලීම්  සිදුකර නොමැති නම් රංගජීව මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු සමග සාකච්ඡා කර මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ඇල්ලුවා යයි ඉදිරිපත් කරයි. මෙහි ඇති විශේෂත්වය නම් ඔහු මත්ද්‍රව්‍ය සහ ඒවා භාවිතා කරන ඇච්චන් මිස කිසිදු ජාවාරම් කරුවෙක් ඒ සමග අල්ලා ඉදිරිපත් නොකිරීමයි. 

මත්ද්‍රව්‍ය නාශක අංශයේ මේ වන විට වැඩිම කලක් අධ්‍යක්ෂවරයා වී සිටින්නේ කමල් සිල්වා ය. ඔහු එම ධූරයේ සිට නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් වීම් ලැබුවද සාමාන්‍ය පොලිසියේ පටිපාටිය අනුව වෙනත් අංශයකට මාරුවීමක් ලැබිය යුතු නමුත් පූජිත කමල් සිල්වාව මත්ද්‍රව්‍ය නාශක අංශයම බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස තබා ගත්තා පමණක් නොව ඔහුගෙන් හිස්වූ අධ්‍යක්ෂ ධූරයට වෙනත් අයෙකු පත් නොකර කමල්ටම වැඩ බැලීමට බාර දුන්නේ ය. පොලිස්පති පූජිත ද කලක් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර ඇති බැවින් ඔහුට මේ ස්ථානය හරහා නීති විරෝධීව අල්ලස් ලෙස උපයා ගත හැකි ධනස්කන්දය ගැන මනා අවබෝධයක් තිබේ. එබැවින් පොලිස් ඉතිහාසයේ කවරදාකවත් කර නැති අන්දමට මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂක ලෙසත් එහිම නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් කමල් සිල්වා තබා ගැනීමෙන් පොලිස්පති  පූජිතද මේ ජාවාරමට සම්බන්ධ බව මොනවට ඔප්පු කර තිබේ.

කමල් සිල්වා විසින් පසුගිය මාර්තු 11 වෙනි සෙනසුරාදා තට්ටු 4 කින් යුත් නවීන හෝටලයක් ඇලකන්ද පාරේ රහසිගතවම විවෘත කළ බවත් මෙම හෝටලය විවෘත කිරීමට පොලිසියේ ‘පෙත්තප්පුවා‘ ලෙස හඳුන්වන එක් මාධ්‍ය ප්‍රකාශකයෙක් වන නීතිඥ අජිත් රෝහණද රහසේම සහභාගී වූ බවත් ලංකා ඊ නිව්ස් පසුගිය මාර්තු 13 වෙනිදා වාර්තා කෙළේය. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් ලැබෙන මුදල් වලින් හැදූ මේ හෝටලයේ සුපර්වයිසර් වරයා වන්නේ ද තවත් මත්ද්‍රව්‍ය නාශක අංශයේම නිලධාරියෙකු වන එස්අයි මහින්ද බවත් කමල් සිල්වා ඔහුටද හෝටලය අසලින් ඉඩමක් ගෙන නිවසක් හදා දී තිබෙන්නේ තමන්ගේ හෝටලයේ වැඩ කටයුතු ටික බලා කියා ගැනීමට බවත් ලංකා ඊ නිව්ස් වාර්තා කෙළේය. පොලිස් නිලධාරියෙකුට තට්ටු 4 ක හෝටල් හැදීමට ධනය කොහෙන්ද? ( කියවන්න -ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.13, පෙ.ව‍‍.8.05 ට පළ කළ පුවත- “සීනි කන්ටේනර් සමග කොකේන් කිලෝ ගණන් ගෙන්වූ මහ මොළ කාරයා හසුවුනත් පොලිස්පති සහ මත්ද්‍රව්‍ය නාශක ලොක්කා එකතු වී ලිස්සා යවයි..! මත්ද්‍රව්‍ය නාශක ලොක්කා තට්ටු 4 ක හෝටලයක් විවෘත කරයි..!! )

මේ අනුව මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රධානියා වන කමල් සිල්වා ගේ සිට රංගජීව ඇතුළු කල්ලියක් පොලිස්පතිවරයාගේ අනුදැනුම යටතේම මහා පරිමාණ වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් අල්ලස් ලබා ගන්නා බව බඩේ බත් සේ පැහැදිලිය. අප දශකයක පමණ කාලයක් පුරා මේ දූෂණ පිලිබඳ සාක්කි සහිතව වාර්තා රාශියක් ගෙන හැර දක්වා තිබේ. 

රංගජීව යනු තමන් සඳහා මෙන්ම ලොක්කන් සඳහාද අල්ලස් ලබා ගත් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රධාන පුරුක ය.

ප්‍රහාරය පිළිබඳ සත්‍ය සිද්ධිය

පසුගිය මැයි 9 වෙනිදා රංගජීව ඇතුළු දෙදෙනෙකු මත්ද්‍රව්‍ය වැටලීමකට ගියා යැයි මත්ද්‍රව්‍ය නාශක ලොක්කන් අද කියන්නේ බොරුවකි. එය වැටලීමක් සඳහා ගිය ගමනක් නොවේ. ඒ ගියේ ඩීල් එකක් සඳහා ගමනකි. ඩීල් එකක් සඳහා ගියා යැයි කියන්නේ වැටලීමකට ගියා නම් රියැදුරාද සමග පොලිස් නිලධාරීන් තිදෙනෙකු පමණක් නොයන බැවිනි. නමුත්  ගමන රංගජීව ඝාතනයට ඇටවූ උගුලක් බව ඔහු නොදැන සිටියේ ය. 

මෙම ගමනේ ඔත්තුකරුවා වූයේ නසාර් නමැති අයෙකි. මේ කියන නසාර් මීට වසර කිහිපයකට පෙර හොරොයින් කිලෝ 8 ක් සමග පුත්තලමේ දී අල්ලා ගත් අයෙකි. ඒ අත් අඩංගුවට ගැනීම කෙළේ රංගජීව සහ ඔහුගේ කණ්ඩායමකි. අත් අඩංගුවට ගැනීමෙන් පසු පොල් ගසක් වටා අත් යවා මාංචු දමා ඔහුට හොඳ හැටි තඩි බා තිබිණ. නසාර් කොළඹට ගෙන එද්දී පිරිස ගිය වාහනයට පුත්තලමේ දී ඉන්ධන ගැසූහ. ඒ සඳහා භාවිතා කෙළේ නසාර්ගේ ක්‍රෙඩිට් කාඩ් එකය. පසුව නසාර් අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ රංගජීවගේ ගෝලයෙකු වූ රුවන් කුමාර නමැති නිලධාරියා ය. නසාර් කොළඹට ගෙන ආ වේලාව ලෙස ලිය කියැවිලි වල සඳහන් කළ වේලාවත් පෙර කී පුත්තලමෙන් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඉන්ධන ගැසූ වේලාවත් අතර කාලය විනාඩි 15 කි. පුත්තලමේ සිට කොළඹට විනාඩි 15 කින් පැමිණිය නොහැකිය යන තර්කය උඩ නසාර් නිදොස් කොට නිදහස් කර හරින්නේ කමල් සිල්වා සහ පිරිස මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවා සමග ගැසූ ඩීල් එකක් අනුව ය. ඉන්පසුව නසාර් යලිත් අපූරුවට මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යන නමුත් වෙනත් නිලධාරීන්ට පවා ඔහුව අත් අඩංගුවට ගැනීම වළක්වන්නේ කමල් සිල්වා ප්‍රමුඛ පිරිසම ය. පසුගිය 9 වෙනිදා රංගජීවලාගේ ඔත්තු කරුවා ලෙස කටයුතු කරන පුද්ගලයා මෙම නසාර් ය. ඔහු කමල් සිල්වාගේ අංක එකේ ගෝලයෙක් වන මත්ද්‍රව්‍ය නාශක අංශයේම සිටින පොලිස් පරීක්ෂක විජේසේකරගේ අති ජාත හිතවතෙකි. එනම් නසාර් රංගජීව පාවා දුන්නා නම් ඒ පිටුපස විජේසේකරද ඒ පිටුපස කමල් සිල්වාද ඒ පිටුපස පූජිතද නිසැකවම සිටිති.

පසුගිය 9 වෙනිදා රාත්‍රියේ රංගජීව සහ පොලිස් නිලධාරීන් දෙදෙනා ඔත්තු කරුගේ මග පෙන්වීම අනුව කිසියම් පුද්ගලයෙකු හමුවීම සඳහා පිළියන්දල මොරටුව පාරේ මහජන බැංකුව කොමර්ෂල් බැංකුව ආදී බැංකු අසල රථ ගාලේ රංගජීවගේ ඇල්ටෝ රථය නවතාගෙන සිටියේ ය. ඒ අසල තවත් ඇල්ටෝ රථයක් නවතා තිබිණ. දුරකථන ඇමැතුමක් දුන් හමුවීමට එන අය නියම රථය කුමක්දැයි හඳුනාගැනීමට මඳක් රථය ඉදිරියට ගෙන ආපසු ගන්නැයි පවසා ඇත. ඒ අනුව රංගජීව ඇතුළු පිරිස සිටි රථය ඉදිරියට ගෙන පසුපසට ගන්නවාත් සමග මෝටර් සයිකලයකින් පැමිණි දෙදෙනෙකු ටී-56 අවියකින් නිකුත් කෙරෙන උණ්ඩ පොකුරකින් එක්වරම රථයේ සිටි පිරිසට වෙඩි තැබූහ. එහිදී රියැදුරු අසුනේ සිටි කොස්තාපල් චන්දිම අබේවික්‍රම එතැනම මිය ගිය අතර රංගජීවගේ හිසටත් පපුවටත් වෙඩි වැදින. හිසට වැදුනු වෙඩි පහරින් ඔහුගේ මොළයට දැඩි සේ හානි සිදුව තිබේ. දැන් ඔහු සිටින්නේ කිසිදු සිහියක් නොමැතිව කෘතිම ස්වසන යන්ත්‍රයක ආධාරයෙන් දැඩි සත්කාර ඒකකයේ ය. ඔහු ජීවත් කරවීම අසීරු බව වෛද්‍යවරු පවසති. 

වෙඩි තැබූ දෙදෙනා යන අතරේ පිළියන්දල පොලිසිය ඉදිරිපිටදී අහසට වෙඩි තබා තම බලපුළුවන්කාර කමද පොලිසියට පෙන්වා ගොස් තිබේ. පසුව ඔවුන් පැමිණි මෝටර් සයිකලය මහරගම දෙහිවල පාරේ වෙළඳසැලක් අසල දමා ගොස් තිබියදී සොයා ගෙන තිබිණ.

ඔත්තුකරුවා ලෙස කටයුතු කළ නසාර් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් ප්‍රශ්න කිරීමෙන් පසුව නිදහස් කර යවා ඇත. 

මේ තරම් බරපතල අපරාධයක් සිදුව තිබියදී එහි පරීක්ෂණ පොලිසිය බාර ඇමැතිවරයා බාර දෙන්නැයි කියන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, විශේෂ කාර්ය බලකායේ කොමඩාන් ලතීෆ් ට බාර නොදී අඩුම ගණනේ සීඅයිඩියටවත් බාර නොදී මත්ද්‍රව්‍ය නාශක අංශය විසින්ම තවමත් පරීක්ෂණ පැවැත්වීමේ රහස කුමක්ද? ඔවුන්ට මත්ද්‍රව්‍ය නාශනය හැරුණු විට සංවිධානාත්මක කල්ලි සිදුකරන අපරාධ ගැන විශේෂඥ දැනුමක් තිබේද? නැතිනම් අන් කිසිවෙක් පරීක්ෂණ කළහොත් හෙළිවන බරපතල කරුණු කාරණා වසන් කිරීමට තිබෙන නිසාද?

ප්‍රහාරය පිළිබඳ ඇඟිල්ල දිගුවීම

අපරාධකරුවන්ට එරෙහිව නිසි පරීක්ෂණයක් සිදු නොවන බැවින් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත ලැබී ඇති තොරතුරු හෙළි කිරීම අපරාධකරුවන්ට වාසියක් විය හැකි බැවින් අප ඒවා පසුව හෙළිකරන නමුත් මෙම අපරාධය පිළිබඳ දැනට සැකයේ ඇඟිල්ල දිගු වී ඇති පැති ගැන හෙළිකිරීමක් කරමු.

ප්‍රධාන වශයෙන්ම ඇඟිල්ල දිගුවන්නේ ඉහත කී හෙළිදරව් කිරීම් අනුව පොලිස්පතිවරයාද සහිතව මත්ද්‍රව්‍ය නාශක අංශයේම ලොක්කන්ට ය. රංගජීව ඔවුනට එරෙහිව යාවි යැයිද එසේ වුවහොත් ඔහු මගින් ලබා ගත් මුදල් පිළිබඳ ඔහු තොරතුරු හෙළිදරව් කරාවි යැයි ද බියට ඔහුව මරා දැමීමට සැලසුම් කළා ද? 

දෙවැන්න ගෝඨාගේ නියෝග අනුව සිදුකළ වැලිකඩ හිරගෙදර සමූහ රැඳැවියන් ඝාතනය පිලිබඳ සජීවී සාක්කියක් වූ රංගජීව අහවර කිරීමට සැලසුම් කළාද? එහිදී යුද හමුදාව හිරගෙදර කැරැල්ල මැඩ පැවැත්වීමෙන් පසුව සිරකරුවන්ගේ නම් කියා එළියට රැගෙන ඝාතනය කරද්දී මත්ද්‍රව්‍ය චෝදනා වලට රඳවා සිටි රැඳැවියන්ගේ නම් ලැයිස්තුවක් අතේ තබාගෙන නම් අඬ ගසමින් පුද්ගලයින් හඳුනාගනිමින් ඝාතනයට දුන්නේ රංගජීව ය.  ඒ පිලිබඳ පරීක්ෂණ කළ කොමිෂන් වාර්තාවේ සහ සීඅයිඩිය විසින් සිදුකළ පරීක්ෂනයේ දී රංගජීව විසින් සාක්කි දී තිබේ. එහිදී රංගජීව සහ ගෝඨාභය රාජපක්ෂ ඊට පෙර දුරකථන සංවාදයක යෙදී ඇති බවට සාක්කි ලැබී තිබේ. එබැවින් ගෝඨාභය බේරීම සඳහා රංගජීව අහවර කිරීමට සැලසුම් කළාද?

තුන්වැන්න රංගජීව සමග වෛර බැඳගත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිරිසක් මෙය කළාද? මන්ද යත් ඔහු කිසියම් ජාවාරම් කරුවන් පිරිසක් සමග පයුරු පාසාන පවත්වමින් අල්ලස් ලබා ගනිමින් ඔවුන්ට වරදාන ලබා දෙමින් ක්‍රියා කරන විට තවත් ජාවාරම් කරුවන් පිරිසක් ඊට එරෙහිව වෛර බැඳ ගැනීමට ඕනෑතරම් ඉඩ කඩ ඇති බැවිනි. එසේ වී නමුත් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ලොක්කන් මාධ්‍ය වලට පවසන තොරතුරු සේ වෙලේ සුදා මෙය කළා යැයි කීම අසීරුය. අද කෝකටත් තෛලය සේ බොහෝ දෙනා වෙලේ සුදා ඈඳා ගත්තද ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ඉතිහාසය පුරා කිසිදු විටෙක කොන්ත්‍රාත් ක්‍රමයේ ඝාතන සඳහා ඔහු පෙළැඹී නැත. ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම් දර්ශනය වී ඇත්තේ මුදල් දී මිනිසුන් මිලදී ගැනීම මිස මුදල් ගෙවා මිනිසුන් ඝාතනය කිරීම නොවේ. රංගජීව විසින් වැලිකඩ දී ඝාතනය කරවූ පිරිසට සම්බන්ධ අයෙකු එහි පළිය ගත්තාද විය හැකිය.

රංගජීව ඝාතනයට තැත්කිරීම සහ ඩග්ලස් නිමල් ඝාතනය

රංගජීව ඝාතනයට තැත්කිරීම ගැන පරීක්ෂණ කරනවා නම් මීට වසර කිහිපයකට පෙර 2006 අප්‍රේල් 25 දා අතුරුගිරිය පෝරේ දී ඝාතනයට ලක් වූ පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල් ගැනද යලි මතක් කිරීම වැදගත් ය. මන්ද යත් සිද්ධි දෙකටම පූජිත ජයසුන්දරට ඇඟිල්ල දිගුවන බැවින් සහ සිද්ධි දෙකම එකිනෙකට වෙනස් කාරණා මත වුව සමාන කම් තිබෙන නිසාය. 

ඩග්ලස් නිමල් සමග එහිදී ඔහුගේ බිරිඳ ද ඝාතනය කෙරිණ. එයද සිදුකළ පුද්ගලයන් අද දක්වා කව්දැයි හෙලි වී නැති නමුත් සිද්ධිය සම්පූර්ණයෙන්ම පොලිසියේ ඇතුලත වැඩක් බව ඕනෑම ළදරුවෙකු පවා දන්නේ ය. 

ඩග්ලස් නිමල් දෙමටගොඩ මත්ද්‍රව්‍ය නාශක අංශයේ සේවය කළේය. එකල පූජිත ජයසුන්දර එහි අධ්‍යක්ෂක වරයා ද විය. ඩග්ලස් නිමල් යනු පොලිස් විශේෂ කාර්ය බලකායේ වසර 9 ක් තිස්සේ නැගෙනහිර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ අභීත නීති ගරුක නිලධාරියෙකි. ඔහු මත්ද්‍රව්‍ය නාශනයට පැමිණි පසු වසරක් තුලදී 300 කට අධික මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකර ජාවාරම් කරුවන් අත් අඩංගුවට ගත්තේය. මෙය දිරවූයේ නැති අය එකලද සිටි බැවින් ඔහු මත්ද්‍රව්‍ය නාශනයෙන් ඉවත් කර මාස කිහිපයක් තුල කොළඹ පොලිසි 4 කට මාරු කරමින් සාමාන්‍ය වගකීම් පැවරීය. අවසානයේ ඔහු සිටියේ දෙමටගොඩ පොලිසියට අනුයුක්තවය. දිනක් ඔහු කළ මත්ද්‍රව්‍ය වැටලීමකදී එහි සිට පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු හසුවිය. ඔවුන් නිදහස් කරන්නැයි ඉහලින් නියෝග ලැබිණ. ඒ වන විට පූජිත ජයසුන්දර කොළඹ බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ය. දෙදෙනා නිදහස් කළද ඩග්ලස් නිමල් ඒ පිලිබඳ සටහන් තැබීය. සිද්ධිය නොරිස්සූ පූජිත ජයසුන්දර, සරත් ලූගොඩ ඇතුළු ඉහළ නිලධාරීන් කෙළේ හෙරොයින් විකුණන කුප්‍රකට කාන්තාවක් වූ සුල්ෆිකාර් නමැත්තියක් ලවා ඩග්ලස් නිමල්ට එරෙහිව කට උත්තරයක් ලබාගෙන එය පාදක කරමින් ඩග්ලස් නිමල් ඇතුළු ඉතා දක්ෂ පොලිස් නිලධාරින් 8 ක් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමයි. සුල්ෆිකාර්ගේ පළමු කට උත්තරයක ඩග්ලස් නිමල් කෙනෙකු ගැන සඳහන් නොවුනු නමුත් එදා පූජිතලා කෙළේ ඇය ලවා දෙවන කට උත්තරයක් හදවා ඩග්ලස් නිමල්ට එරෙහිව ලබාගෙන ඔහුව අත් අඩංගුවට ගැනීමයි. කුඩු කාරියකගේ කට උත්තරයක් මත කිඹුලා ඇලේ ගුණාගේ මාෆියාවද ඇතුළුව 300 කට අධික කුඩු කාරයන් ඇල්ලූ අවංක නිලධාරියාට කෙළවූ අයෙක් වූයේ වත්මන් පොලිස්පති පූජිත ජයසුන්දරය. මාස 3 කට අධික කාලයක් නිකරුණේ රිමාන්ඩ් බන්ධනාගාරයේ අපා දුක් විඳි ඩග්ලස් නිමල් ඇතුළු පිරිස නීතිපතිවරයාගේ නිර්දේශ මත නිදහස් කෙරිණ. නමුත් පූජිත ජයසුන්දරගේ වෛරය ඉවත් වූයේ නැත. ඩග්ලස් නිමල් නිදොස් කොට නිදහස් කළද යලි සේවයේ පිහිටැවූයේ නැත. ඩග්ලස් නිමල් තමන්ට සිදුවූ අසාධාරණයට එරෙහිව පූජිත ජයසුන්දරට සරත් ලූගොඩට එරෙහිව 2006 වසරේ අප්‍රේල් 27 වෙනිදා මානව හිමිකම් නඩුවක් පැවරීමට සියල්ල සූදානම් කර තිබිණ. ඊට දින දෙකකට පෙර 25 වෙනිදා ඔහු ඝාතනය කෙරිණ. ටී-56 අවියකින් වෙඩි තැබූ සාහසිකයෝ පළා ගිය අතර ඒ වන විට යුද්දය නිසා එක මොහොතකින් කොළඹ සියළු මර්මස්ථාන වසා මාර්ග සෝදිසි කිරීමට සියල්ල සූදානම්ව තිබූ නමුත් කොළඹ බාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ පූජිත ජයසුන්දර පළා යන සාහසිකයන් මාර්ග බාධක දමා ඇල්ලීම සිතා මතා මග හැරියේ ය. එක්තරා පොලිස් නිලධාරියෙකු පූජිතගෙන් ඒ සඳහා අවසරය ඉල්ලූ විට පූජිත ඔහුට බැන වැදිණ. ටික කලෙකට පසුව මහජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා මෝදර ප්‍රදේශයේ දෙදෙනෙකු අත් අඩංගුවට ගත්තේය. ඔවුන්ද මඳ කලකට පසුව ඇප මත නිදහස් කෙරිණ. ඇප මත සිටි ඔවුන් 2010 ජූනි මාසයේ 29 දා එම නඩුවට පෙනී සිට ත්‍රීවීලරයකින් ගෙදර යද්දී සුදු වෑන් රියකින් පැහැරගත්තේය. අද වන තුරු ඔවුන්ට සිදුවූ දෙයක් දන්නේ නැත.

ඉන්පසුව පොලිස්පති ධූරයට පත් වන පූජිත ජයසුන්දර තම මෘග කම වසා ගැනීමට බොරුවට පොලිසිය භාවනා කරවන්න හදයි. බුදු පිළිම 100 ක් පමණ එකට තබාගෙන වඳියි. ඕනෑවට වඩා ආගමික භක්තිය පෙන්වන්නට හදන එකා අමු තක්කඩියෙකි.  

නීතිය හරියට ක්‍රියාත්මක කිරීමට යෑම නොරිස්සූ පූජිතලා දැනුවත්ව ඩග්ලස් නිමල් ඝාතනය කළ බව නොදන්නා පොලිස් කාරයෙක් නැත. එමෙන්ම නීතිය අවශ්‍ය අයුරින් නවා ලොක්කන්ටත් එක්ක ජරාව කෑමට ගොස් පූජිතලා දැනුවත්ව රංගජීවලාට වෙඩි කෑමට සිදුවූ බව නොදන්නා පොලිස් කාරයෙක් ද නැත.  

-ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයේ මාණ්ඩලිකයෙකු විසිනි- 

---------------------------
by     (2017-05-13 03:59:27)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

Why don't you put pressure on President and PM to get rid of drugs mafia and all the officers connected it?
-- by Asoka on 2017-05-13

ගෝඨාගේ නියෝග අනුව සිදුකළ වැලිකඩ හිරගෙදර සමූල ඝාතනය පිලිබඳ සජීවී සාක්කියක් වූ රංගජීවගේ කට වැසීමට කරපු ප්‍රහාරයක් මේක.එදා යුද හමුදාව හිරගෙදර කැරැල්ල මැඩ පැවැත්වීමෙන් පසුව සිරකරුවන්ගේ නම් කියා එළියට රැගෙන ඝාතනය කරද්දී මත්ද්‍රව්‍ය චෝදනා වලට රඳවා සිටි රැඳැවියන්ගේ නම් ලැයිස්තුවක් අතේ තබාගෙන නම් අඬ ගසමින් පුද්ගලයින් හඳුනාගනිමින් ගෝඨාගේ නියෝග අනුව ඝාතනයට අණ දුන්නේ රංගජීව ය. ඒ පිලිබඳ පරීක්ෂණ කළ කොමිෂන් වාර්තාවේ සහ සීඅයිඩිය විසින් සිදුකළ පරීක්ෂනයේ දී රංගජීව විසින් සාක්කි දී තිබේ. එහිදී රංගජීව සහ ගෝඨාභය රාජපක්ෂ ඊට පෙර දුරකථන සංවාදයක යෙදී ඇති බවට සාක්කි ලැබී තිබේ. එබැවින් ගෝඨාභය බේරීම සඳහා රංගජීව ඝාතනය කර දැමීම සඳහා මෙම ප්‍රහාරය සැලසුම් කොට ඇති බව පැහැදිලියි.
-- by කමල් on 2017-05-13

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links