~

හොර කපු මාමෙකු හා බෑනෙකු සමඟ මැදමුලනේ රාජපක්ෂ හොර මුල කතරගම දෙවොල බංකොලොත් කළ හැටි..!

-LeN පර්යේෂන අංශයේ වාර්තාවකි

(ලංකා ඊ නිව්ස් -2022.අගෝ.28, ප.ව.4.30) සමස්ත ශ්‍රී ලංකාවේ ජාතික සම්පත් මං කොල්ල කමින් මුලු රටම කාබාසිනියා කළ මැදමුලනේ රාජපක්ෂ සොර මුල කතරගම දෙවාලයේ සේවය කරන කපු මාමණ්ඩියක හා බෑණා කෙනෙකු හා එක් වී සාමාන්‍යයෙන් මාසයකට රුපියල් ලක්ෂ හාරසියයක පමණ ආදායමක් තිබූ කතරගම රුහුණු මහා දේවාලය ද අද විට නට්ටං කොට තිබේ. ඒ සඳහා වන නවතම හෝඩුවාව සැපයෙනුයේ දීර්ඝ කාලයක් තිස්සේ සුරැකෙමින් පවතින වටිනා කෞතුක භාණ්ඩ සේම රන්, රිදී, මුතු, මැණික් ආදියෙන් සමන්විත ඇතුල් මාලිගය හෙවත් දේව මාලිගය ද සහිත කතරගම ප්‍රධාන දේවාලයේ යතුරු පසුගිය ජුනි 29 දා සිට කිසියම් පුද්ගලයකු බලහත්කාරයෙන් අත් පත් කොට ඇති බවට කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර විසින් කතරගම පොලීසියට සහ තංගල්ල පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිලි කොට තිබීමෙනි. ඒ පසුගිය 19 දායි. නමුදු මෙහි විශේෂත්වය වනුයේ ඔහුගේ මෙම පැමිණිල්ල ද තමන් කතරගම මහා දේවාලයේ "ප්‍රධාන කපු මහතා" යන ව්‍යාජ හැඳින්වීමකින් සමාජය හමුවේ පෙනී සිටින මෙම කපු මාමා හෙවත් සොමිපාල ටී. රත්නායක නම් පැරණිම කපුවාට එරෙහිව වීම ය. 

බස්නායක නිලමේලා ගේ "ඔළුවට අත හෝදන" කපුවෝ..

කතරගම දේවාලයේ පුද සිරිත් පිළිබඳව සටහන් වන කතරගම සන්නසට අනුව හෝ 1931 අංක 19 දරන විහාර හා දේවාල ගම් පනතට අනුව ‘කපු ධූරය’ සම්බන්ධයෙන් ප්‍රධාන අප්‍රධාන භේදයක් සඳහන්ව නැත. අප රටේ පැරණි සම්ප්‍රදායන් අනුව දේවාලයක සමස්ත පරිපාලන කටයුතු සම්බන්ධ නිසි බලධරයා බස්නායක නිලමේ වන අතර එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා හැඳින්වෙනුයේ ‘බෙත්මේ රාළ’ යනුවෙනි. කපුවන් යනු ඔවුන්ගේ අධීක්ෂණය සහ නියාමනය යටතේ වැටුපට සේවය කරන අවශේෂ සුළු සේවක පිරිසක් වන අතර ඔවුන් කිසිවකුටත් මුලාදෑනී බලතල නැත. එහෙත්, දැනට දශක ගණනාවක් තිස්සේ කතරගම දේවාලය වෙත අඛණ්ඩව ගලා එන මහා ධනස්කන්ධය මුල් කොට මීට සිය වසකට හමාරකට පෙර පෙර එහි කපුවන් ලෙස වෙස් වලාගෙන දේවාලය තුළට කඩා වැදුණු පිරිසක ගේ වර්තමාන පරපුර අද වන විට ඒ මහා ධන උල්පත් තමන් වෙතට යොමු කර ගැනීම පිණිස කතරගම දේවාලයේ බස්නායක නිලමේ වරුන් ගේ "ඔළුවට අත හෝදන" මට්ටම දක්වා ප්‍රබල වී තිබේ. බස්නායක වරයා ගේ ඉහත සඳහන් පැමිණිල්ලට පාදක වී ඇත්තේ ඉහත සඳහන් විකෘතියේම ඔඩු දිවීම සම්බන්ධ තත්වයකි.

දැනට කතරගම මහ දේවාලයේ සේවය කරන කපුවෝ පහළොස් දෙනෙක් සිටිති. ඉන් සිව් දෙනෙක් ම එහි කපුවන් ගේ පුත්තු ය. එහෙත්, එහි පැරණිම කපුවා වන සොමිපාල ටී. රත්නායකට දියණි වරුන්ම අට දෙනකු මිස පුතකු නොමැති බැවින් ඔහු තම එක් දියණියක් බුත්තල කපුවා නමින් හැඳින්වුණු කපුවකු ගේ පුතෙකුට විවාහ කර දී තිබේ. ඒ කපු බෑණා ගේ නම ලාල් අරාපක්ෂ ය. තම පියා ගෙන් කපුකම උරුම කර ගත්ත ද මෙම ලාල් කපුවා දේවාලයේ රාජකාරී ගැන දැනුමක් තබා මල් පූජා කිරීමේ ගාථාව වත් කට පාඩමින් කීමට වත් නොදත් අමුම අමු ගොබ්බයෙක් බව කතරගම ආරංචි මාර්ග තහවුරු කරයි.

කපුවන් සේ වෙස් වලාගත් හොරු...

ලාල් කපු බෑණා ගේ තත්වය එසේ තිබියදී සොමිපාල කපු මාමා ගේ තත්වයේ ද ඊට වඩා වෙනසක් නොමැති බවත් අද වන විට මොවුන් කපුවන් සේ වෙස් වලාගෙන දේවාලය ආක්‍රමණය කොට ඇත්තේ කතරගම දේවාලයේ සැබෑ පාරම්පරික කපු පරපුර හීන් සීරුවේ දේවාල භූමියෙන් අතු ගා දමා බවත් කතරගම ආරංචි මාර්ග කියයි.

බස්නායක නිලමේ වරයා වෙත පැවරී ඇති බලතල අනුව එහි සිටින කපුවන් පහළොස් දෙනා ගෙන් දිය කපන කපුවා සහ කපු පුතුන් හැරුණු කොට සෙසු කපුවන් සඳහා මාස ක්‍රමයට රාජකාරී බෙදා දීම සිදු කෙරේ. නමුදු ඒ මාස අතුරින් සිංහල අලුත් අවුරුදු මාසය සහ ඇසල උත්සව මාසය යන දේවාලය මහා ධන ආකරයක් වන මාස වලදී එහි රාජකාරී කිරීම සොමිපාල ටී. රත්නායක කපුවාට ලබා දීමේ කිසිදු නිල නොවන සම්ප්‍රදායක් හිටපු බස්නායක නිලමේ වරුන් විසින් දිගින් දිගටම අනුගමනය කොට ඇත. ඒ සාමාන්‍යයෙන් එම මාස තුළ දේවාලයේ ආදායම රුපියල් මිලියන සියයක් පමණ වන බැවිනි.

මහින්ද රාජපක්ෂ බහිරවයා දෙවොල් බිමට..

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා ගේ නියාමයට අනුව ක්‍රියාත්මක වන විහාර හා දේවාලගම් පනත යටතේ එසේ දේවාලය වෙත ලැබෙන මුදල් සහ රන්, රිදී, මුතු, මැණික් ආදී සියළුම භාණ්ඩ සම්බන්ධ වගකීම දැරිය යුත්තේ බස්නායක නිලමේවරයා විසිනි. නමුදු පසුගිය කාලය තුළ දිගින් දිගටම මෙහි සිටින හොර කපුවන් බස්නායක නිලමේ ගේ ඔළුවට අත හේදීමේ ක්‍රියාවලිය තුළ සෑම මාසයකම දේවාලයේ ආදායම් ලබා ගැනීම ඒ මාසයට අදාල කපුවාට භාර දී ඉන් ලබා ගන්නා කොමිස් මුදලකින් සෑහීමකට පත් වීමට බස්නායක නිලමේ වරුන්ට සිදු වී තිබේ. මෙම අස්වාභාවික ක්‍රියාදාමය තුළින් කපුවන්ට "පොල් ගෙඩිය" පුදා දේවාලයට හිමිවන “පොල් ලෙලි" දේවාලයේ කාර්ය මණ්ඩල වැටුප්, බැතිමතුන් ගේ සුබ සාධන කටයුතු ආදී දහසක් දේ කිරීමට බස්නායක නිලමෙලාට සිදු වේ. එහෙත්, මෙහි දී එම සම්ප්‍රදාය කඩකොට පසුගිය ඇසල උත්සව මාසයේ දේවාලයේ කපු රාජකාරිය ඒ මාසය සඳහා රුපියල් ලක්ෂ දෙසීයක් ලබා දීමේ පදනම මත යම් කපුවකුට පැවරීමට බස්නායක නිලමේ කටයුතු කර ඇත්තේ දේවාලය තුළ මෙතෙක් රජයන ‘සොමිපාල - ලාල්’ ‘මාමයි බෑණයි’ ජාවාරම් යාන්ත්‍රණය පිටු දැකීමට සෙසු කපුවන් කිහිප දෙනකු කළ ඉල්ලීම් ද පෙරදැරි කර ගනිමිනි.  ඒ ක්‍රියාදාමයේ ආරම්භයත් සමඟ ලාල් රාජපක්ෂ කපු බෑණා පසුගිය ජුනි 29 දා දේවාලයේ යතුරු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තම සොමිපාල කපු මාමා කතරගම දේවාලයට රුපියල් කෝටි ගණනක ආදායමක් ලැබෙන ඇසල උත්සව මාසයේ රාජකාරී බලහත්කාරයෙන් ලබා දී තිබේ. නමුදු සොමිපාල කපුවා ඉහත කී රුපියල් ලක්ෂ දෙසීය තබා එක සත පහක් වත් දේවාලයට දී නැත. එහෙත්, මෙහි විස්මයට කරුණ වනුයේ මෙතරම් බරපතල නීති විරෝධී යතුරු පැහැර ගැනීමක් සිදු වූ විටෙක පවා නිහඬව සිටි බස්නායක නිලමේ වරයා මේ වන විට දේවාලයේ පරිපාලන කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන නොමැති වීම මත කර කියා ගත හැකි කිසිවක් නොමැතිව ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීම ය. එහෙත්, ඒ සම්බන්ධයෙන් වඩාත් ගැඹුරට කරුණු විමැසීමේදී වටහා ගත හැකි වූයේ මේ වන විට කතරගම දෙවොල් බිමට අරක් ගත් මැදමුලන හොරමුලේ නායක මහින්ද රාජපක්ෂ බහිරවයාගේ අත පෙවීම් නිසා බස්නායක නිලමේවරයා මෙතෙක් ඊට පසු බා තිබූ බව ය.

අන්ධ බැතිමතුන් නිසා කතරගමට නිතිපතා එක් වන රන්, රිදී, මුතු, මැණික් ආදී වටිනා භාණ්ඩ ඇතුළු රුපියල් කෝටි ගණනක ධනස්කන්ධය හමුවේ මෙසේ කපුවන් එකි'නෙකා සහ ඇතැම් කපුවන් බස්නායක නිලමේ අතරේ ගැටුම් ඇති වන පසුබිමක මහින්ද රාජපක්ෂ බහිරවයා මෙසේ දෙවියන් ගේ සල්ලි වලට සෘජුවම අත පොවන ලද්දේ, ඔහු 2005 වසරේ බලයට පත් වූ පසු 2006 වසරේ සිට ය. ඒ කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුරට තම ඥාති පුතු ශෂීන්ද්‍ර රාජපක්ෂ පත් කිරීමෙනි. ඉන්පසු 2015 වසර තෙක්ම ඔහු එම තනතුර දැරූ අතර එම කාලය තුළ දේවාලයට ලැබෙන අති මහා ධනස්කන්ධයෙන් මුල් කොටස මැදමුලනටත් දෙවැන්න කපු පවුල් වලටත් ඉතිරි කොටස දේවාලයටත් ලැබෙන හිමිවන අන්ත දූෂිත යාන්ත්‍රණයක් ක්‍රියාත්මක විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ශෂීන්ද්‍ර රාජපක්ෂ 2015 එම බස්නායක නිලමේ තනතුරින් ඉවත් කරන විට කතරගම දේවාලය ද බංකොලොත් වන තැනට කරුණු සැලසී තිබීමය. ඒ අනුව අපට ඉතා හොඳින් පැහැදිලි වනුයේ කතරගම හොර කපුවන් සහ මැදමුලනේ හොරමුල එක්ව කළ ඒකාබද්ධ ගසා කෑම් යාන්ත්‍රණය ගජ රාමෙටම සිදු වී ඇති බවය.

හොර කපු ඉතිහාසය...

අප විසින් ඓතිහාසික වශයෙන් තහවුරු කර ගත් අන්දමට වත්මන් කතරගම හොර කපුවන්ට කතරගම දෙවොලට කිසිදු සම්බන්ධයක් නැත. ඒ අනුව ඔවුන් 19 වන සියවසේ අග භාගයේ එම ප්‍රදේශයේ කුඹුරු ගම් වැව් ආශ්‍රිතව  කුඹුරු සහ හේන් ගොවිතැන් කළ අන්ත දිළිඳු ගැමි පරම්පරා කිහිපයකට අයත් වූවන් බවටත් එවක කතරගම ඇසල උත්සව සමයට කතරගම පැමිණි සීමිත බැතිමතුන් හමුවේ කපුවන් මෙන් පෙනී සිට ඔවුන් රැවටීමට ලක් කළ පවුල් කිහිපයක් බවටත් මානව විද්‍යාත්මක සාක්ෂි තිබේ. ඉදිරියේ දී අවශ්‍ය පරිදි ඒවා ද එළි දැක්විය හැක. මොවුන් අද වන විට මෙම ජාවාරමට එක්කර ගෙන ඇත්තේ වීරකැටියේ බුද්දියාගම වලව්වේ මුරකරුවකු ලෙස සේවය කරමින් සිට පසුව ඒ වලව්ව උපායශීලීව අත්පත් කර ගත් ඒ ජාතියේම කපටි රජෙකු ගෙන් පැවත එන මැදමුලනේ රාජපක්ෂලා ය.

අදිකාරමලාගේ මානිස් අප්පු; සත්‍ය කපු ඉතිහාසය..

තත්වය මෙසේ වුවද කතරගම ඓතිහාසික කපු පරම්පරාවක් පිළිබඳ තොරතුරු මූලාශ්‍ර ද තිබේ. එහි අවසන් කපුවා ලෙස හැඳින්වෙනුයේ එක්දහස් නවසිය හතලිහ, පනහ යන දශකවල එහි සේවය කළ කතරගම අවට ගැමියන් ‘මහ රාළහාමි’ යනුවෙන්  හඳුන්වන ලද අදිකාරමලාගේ මානිස් අප්පුය. වත්මන් හොර කපුවන් ගේ ඉතිහාසයක් පිළිබඳ "බස් ටිකට් එකක ප්‍රමාණයේ ලියැවිල්ලක්" වත් නැතත් මානිස් අප්පු නියෝජනය කළ අදිකාරම් කපු පරම්පරාවේ ඓතිහාසිකත්වය සනාථ කෙරෙන සාක්ෂි කොතෙකුත් තිබේ. එම පරපුර සතුව කතරගම කටගමුව ප්‍රදේශයේ නින්දගමක් තිබී එය 1927 ඉංග්‍රීසි ආණ්ඩුව විසින් පවරා ගත් බවට ද පිළිගත හැකි සාක්ෂි තිබේ. මෙම තත්වය යටතේ එම වර්තමානයේ එම පරපුර නියෝජනය කරන පද්මසිරි රංජිත් අදිකාරම් නැමැත්තා කතරගම දේවාලයේ කපු පදවියක් දැරීමට තමන්ට ඇති පාරම්පරික හිමිකම දක්වා අධිකරණයේ නඩුවක් ගොනු කොට ඇතත් වර්තමාන හොර කපුවන් ගෙන් සැදුම් ගත් පාලනාධිකාරිය ඊට වරින් වර බාධා පමුණුවා තිබේ. නමුදු පද්මසිරි රංජිත් අදිකාරම් සතු ඒ නීතිය හා යුක්තිය පදනම් කර ගත් හිමිකම මත පදනම්ව ඔහු විසින් අධිකරණය වෙත ගොනු කොට තිබූ රිට් පෙත්සම් දෙකක් සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පද්මසිරි රන්ජිත් අදිකාරම්ට ද මාසයක කාලයක් කතරගම දේවාලයේ බස්නායක වරයාට තනියම කරන ලදුව එම නියෝගය බාර දීමට කතරගම දේවාලයේ බස්නායක වලව්වට පැමිණි පිස්කල් නිලධාරීන්ට එම නියෝගය ඊට ඇතුළු වන දොරටුවේ අලවා යාමට සිදුවිය. ඒ එම අවස්ථාවේ බස්නායක නිලමේ වරයා එහි නොසිටීම මත හා ඒ මොහොතේ එහි සිටි කිසිවකුත් එම නියෝගය බාර ගැනීමට ඉදිරිපත් නොවීමය. 

එහෙත් වඩාත් විස්මය වනුයේ එම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සහිත පත්‍රිකාව පිස්කල් නිලධාරීන් දේවාල බිම පසු කිරීමටත් පෙර කීතු කීතු වලට ඉරා කසල ගොඩට දැමීමට එහි පැමිණි ලාල් අරාපක්ෂ කපු බෑණා ඉදිරිපත් වීම ය. එමෙන්ම නොම්බර එකේ ගොබ්බයකු වන ඔහුට ඒ චණ්ඩිකම කිරීමට ඒ මොහොතේම දුරකථන ඇමතුමක් මගින් ශක්තිය ධෛර්යය ලබා දී ඇත්තේ කතරගම දෙවියන්ටත් ඉහලින් ගොස් දෙවියන් සතු දේ කඩා වඩා ගන්නා මැදමුලනේ මහින්ද රාජපක්ෂ බහිරවයා බව කතරගම දේවාලයේ සෙසු කපුවෝ කියති.

දොන් පියතිස්ස කුමාරගේ බස්නායක නිලමේට සිදු වූ දේ..

ශෂීන්ද්‍ර රාජපක්ෂ වසර නවයක් බස්නායක නිලමේ පදවිය දැරීමෙන් නට්ටං කොට දැමූ කතරගම දේවාලය ගොඩනැඟීමේ ඊළඟ වගකීම පැවරුණේ මහනුවර කෝටිපති ව්‍යාපාරික දොන් පියතිස්ස කුමාරගේට ය. 2015 අප්‍රියෙල් 28 වන දින මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවැති රැස්වීමක දී ඒකඡන්දයෙන් කතරගම බස්නායක නිලමේ ධූරයට පත් ඔහු ඒ වන විට කතරගම දෙවාලයේ නඩත්තු වියදම් දරා ඇත්තේ තම පෞද්ගලික ධනයෙනි. මැදමුලනේ සොර මුල කතරගම දේවාලයට කඩා වැදී කළ ගසා කෑම මොන තරම් බරපතල දැයි ඔබට මින් වැටහෙනු ඇත. නමුත් දොන් පියතිස්ස කුමාරගේ ගේ මෙම පත්වීම සොමිපාල - ලාල් මාමා බෑණා මුල් කොට ගත් කතරගම හොර කපුවන්ට සේම ඔවුන් නියාමනය කරන මැදමුලනේ මහ හොර මුලට හිසරදයක් විය. ඊට හේතුව එතෙක් කතරගම දේවාලය තුළ ක්‍රියාත්මක වූ "කැළෑ නීතිය"වෙනුවට විහාර හා දේවාලගම් පනතට අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ගේ අධීක්ෂණයෙන් හා නියාමනය යටතේ තම බස්නායක නිලමේ පදවියේ කටයුතු කිරීමට ඔහු ඉදිරිපත් වීම ය. ඒ අනුව එතෙක් කපුවන්ට දේවාලයේ සම්පූර්ණ මූල්‍ය භාරකාරත්වය දී දේවාලයේ පරිපාලන සහ නඩත්තු කටයුතු වෙනුවෙන් බස්නායක නිලමේ කොමිස් මුදලක් ගන්නා "විකෘති ක්‍රමය" නිමා කළ යුතු යැයි ඔහු කළ ප්‍රකාශය සොමිපාල - ලාල් හොර කපු මාමා බෑණා සමාගමේ දැඩි විරෝධය එල්ල විය. ඒ අනුව ලාල් කපුවා “අන්න දේවාලෙට නුවරින් මිනිහෙක් ඇවිත් මේ සේරම වෙනස් කරන්න යනවා” කියමින් කතරගම පූජා නගරයේ පූජා වට්ටි ඇතුළු වෙළඳුන් කිහිප දෙනෙක් මත් වතුරින් නහවන්නට වූයේ "ඒකාව කතරගමින් පන්නා දමන්නට උඹලත් ඉදිරිපත් වෙන්න ඕනෑ" යැයි පවසමිනි.

නිලමේ භාරයේ තිබූ යතුර බලෙන් ගනී..

කතරගම දේවාලයේ යතුර තියන ලෙසම බස්නායක නිලමේ ගේ භාරයේ තිබී සාධාරණ පදනමක් යටතේ ඔහු ගේ අභිමතය පරිදි මාසිකව කපුවන් අතට පත් කිරීම අන්වාර්යෙන් විය යුත්තකි. එහෙත් 2017 අගෝස්තු 22 දා අලුයම කතරගම බස්නායක නිලමේ ගේ නිල නිවසට මැර පිරිසක් සමඟ කඩා වැදුණු ලාල් කපුවා එම යතුර බලහත්කාරයෙන් උදුරා ගැනීමට වෙර දරනු ලදුව බස්නායක නිල නිවසේ සිටි දෙදෙනකුට ඔවුන්ගෙන් පහර කා  රෝහල් ගත වීමට පවා සිදු විය. එනිසා එය කතරගම දේවාලයේ අලුයම තේවාව සිදුකිරීමට නොහැකි වූ ඓතිහාසික දිනයක් ලෙස වාර්තා විය. එමෙන්ම ලාල් කපුවා ලවා කතරගම බස්නායක නිලමේ කාර්යාලයට පහර දී දේවාලයේ යතුරු උදුරා ගන්නා ලෙස සිදු කළ මෙහෙයුමේ මහ මොළකරු ද කතරගම දෙවොලට අරක් ගත් මැදමුලනේ බහිරවයා වන මහින්ද රාජපක්ෂ බව මේ වන විට කතරගම සෙසු කපු පවුල් අතරේ ප්‍රසිද්ධ රහසකි.

මේ සියලු තත්වයන් යටතේ කතරගම දේවාලය ගසා කෑම පිළිබඳ මාමා බෑණා සංයෝගය සහ මැදමුලනේ හොරමුල එක් වූ ඒකාබද්ධ ගසාකෑම් යාන්ත්‍රණය තව දුරටත් පවත්වා ගෙන යාමට නොහැකි වීම මත දොන් පියතිස්ස කුමාරගේ බස්නායක නිලමේ වරයාට එරෙහිව අභූත චෝදනා එල්ල කළ මැදමුලනේ මහින්ද රාජපක්ෂ බහිරව පාර්ශවය බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ලවා කතරගම දේවාලයේ ආදායම අතිශයින් සරු සාර වන සිංහල අලුත් සමයක් "කට මුල" තිබියදී 2018 අප්‍රියෙල් 10 වන දා දොන් පියතිස්ස කුමාරගේ ගේ බස්නායක නිලමේ තනතුර තාවකාලිකව අත් හිටුවනු ලැබීය. එසේම ඒ සමඟම මැදමුලනේ රාජපක්ෂ සොර දෙටුවන් ගේ සමීතමයකු ආයුධ අලෙවිය වෘත්තිය කොට ගත් ඒ වන විට මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ද ගොනුව තිබූ දිල්රුවන් රාජපක්ෂ නම් දූෂිතයා බස්නායක නිලමේ ධූරයේ වැඩ බැලීම පිණිස පත් කරන ලද්දේ මහින්ද රාජපක්ෂ සොර දෙටුවාම ය.

මහින්ද රාජපක්ෂගේ 'වැඩ බලන' කපුවා..

දේවාල හා විහාරගම් පනත යටතේ කිසියම් දේවාලයක බස්නායක නිලමේ තනතුරක් පුරප්පාඩු වුවහොත් ඒ සඳහා වැඩබැලීමට පත් කරන පුද්ගලයා බස්නායක නිලමේ වරයකු ලෙස නොහැඳින්වෙන අතරේ ඔහුගේ උපරිම ධූර කාලය මාස තුනකට සීමා විය යුතු ය. එහෙත් රාජපක්ෂ සොමිපාල ලාල් සහ සොරුන්ට එක් වූ මෙම දිල්රුවන් රාජපක්ෂ හොරා ඉන්පසුව නිරතුරුවම එම තනතුරේ රැඳී සිටිමින් දේවාලයේ උත්සව සහ ආගමික වත් පිළිවෙත් වලදී නිලමේ ඇඳුම ඇඳීමට පවා ලජ්ජා නැති තත්වයට පත් විය. 

මේ අතරේ 2019 මාර්තුවේ මහනුවර රෝයල් මෝල් ශ්‍රවණාගාරයේ පැවැති සමස්ත ලංකා බස්නායක නිලමේ වරුන් ගේ සංගමයේ මහා සභා රැස්වීමට සිංහ සමක් පොරවා ගත් හිවලෙකු මෙන් අනාරාධිතව ගිය මෙම මැද මුලනේ හොර ඒජන්තව "තමුසේ කොහොමද බස්නායක නිලමේ කෙනෙක් වෙන්නේ" කියා පන්නා ගත් පුවත අදත් බොහෝ දෙනෙක් නොදනිති. මේ සියළු තත්වයන් යටතේ එවක තාවකාලිකව තනතුර අත්හිටුවා සිටි දොන් පියතිස්ස කුමාරගේව නැවත තනතුරේ පිහිටුවන මෙන් අධිකරණය මගින් නිකුත් කළ  නියෝගය ද ක්‍රියාත්මක නොවී ඔහුගේ නිල කාලය ද නිමා විය.

අංගොඩ ලොක්කාගේ බිරිඳ දේවාලයට පිදූ රන් තැටිය මැදමූලනෙන් මතුවේ..

කතරගම දේවාලයට පුජා කෙරෙන වටිනා භාණ්ඩ කිසිවක් එහි කපුවන්ට හිමි නොවේ. ඒවා දේවාලයේ ගබඩාව භාර නිලය විසින් බස්නායක නිලමේ වෙත පත් කොට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය මත පිළිගත් රාජ්‍ය බැංකුවක් මගින් එහි වටිනාකම තක්සේරු කළ යුතුය. පසුව ඒ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගේ ද නියාමය මත ඒ රන් භාණ්ඩ පිළිබඳ විස්තර දේවාලයේ බස්නායක කාර්යාලයේ ඇති ලේඛනයක සටහන් කොට ඒවා දේවාලය තුළ සුරක්ෂිතව ගබඩා කළ යුතුය. එහෙත් එම ලේඛණයට අනුව බලන විට කතරගම දේවාලයට රන් භාණ්ඩයක් ලැබුණු දිනයක් සොයා ගැනීම පවා අසීරු බව දේවාලයේම පාර්ශව අනාවරණය කරයි. කතරගම හොර කපුවන් ගේ ගසා කෑම් වල සැබෑ තත්වය කෙතරම් බරපතල ද යන්න මින් ඔබට වැටහෙනු ඇත.

මේ අතර අංගොඩ ලොක්කා නම් වන පාතාල අපරාධකරුගේ බිරිඳ  ඇගේ මුල් විවාහයේ පුතුගේ ග්‍රහ අපල දුරුවීමට යැයි කියමින් කතරගම දේවාලයට කැරට් 22 රත්‍රන් පවුම් තිස් අටකින් තැනූ රන් තැටියක් කතරගම දේවාලයට පූජා කරනුයේ 2019 වසරේ ය. එහෙත්, එම රන් තැටියට සිදු වූ දේ පිළිබඳව යම් සැකයක් ඇති වූ කිහිප දෙනකු ඊට පසුව එනම් 2020 සැප්තැම්බර් 22 දා බස්නායක තනතුරට පත් ඩිල්ෂාන් වික්‍රමරත්න ගුණසේකර දැනුවත් කරන ලදුව ඔහු ඒ පිළිබඳව විමසුමක් කරන ලද්දේ 2021 වසරේය. එහෙත් එය අබිරහස් ලෙස අතුරුන් වූ බවක් පෙනී යන නිසා ඔහු ඒ සම්බන්ධයෙන් කොළඹ විශේෂ දූෂණ මර්දන ඒකකය වෙත පැමිණිලි කරනු ලදුව 2021 ඔක්තෝබර් 26 වන දා තවත් අපූරු යමක් සිදුවී තිබේ. එනම් සොමිපාල කපුවා වැඩිදුර ආරක්ෂාව පිණිස එම රන් තැටිය තම නිවසේ ගෙන ගොස් තබා ගෙන සිටි බව කියමින් එල්.එම්.ජී අජිත් පුෂ්ප කුමාර නම් පුද්ගලයකු කතරගම බස්නායක නිලමේ කාර්යාලයට කිසියම් තැටියක් ගෙනැත් බාර දීමය. එහෙත් මේ වන විට ඒ තැටියේ ලෝහ සංයුතිය පරීක්ෂා කිරීම පිණිස අධිකරණය මගින් රස පරීක්ෂක වෙත යොමු කොට ඇති අතර මෙම සොරකම සම්බන්ධයෙන් අංගොඩ ලොක්කා ගේ බිරිඳ ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් පොලීසිය මෙතෙක් එම සොරකමට සෘජුවම සම්බන්ධ බවට පැහැදිලිවම පෙනෙන සොමිපාල කපුවා අත්අඩංගුවට ගන්නේ නැත. ඒ එම රන්තැටිය දේවාලයට හොරෙන් සොමිපාල කපුවා මැද මුලනේ මහින්ද රාජපක්ෂ බහිරවයාට පූජා කොට ඉන් කොටසක වටිනාකම ලබා ගත් නිසා යැයි කියනු ලැබේ. කතරගම ආරංචි මාර්ග දක්වන අන්දමට සොමිපාල කපුවා නැවත දේවාලයට එවා ඇත්තේ මැදමුලනින් ඔහු වෙත එවා ඇති බොරු රන්තැටියක් බව කියනු ලැබේ.

මේ තත්වය යටතේ කතරගම බස්නායක නිලමේ සතුව තිබිය යුතු කතරගම මහ දේවාලයේ යතුරු පසුගිය ජුනි 29 දා සිට  පැහැර ගෙන සිටින සොමිපාල - ලාල් මාමා බෑණා හොර කපු සංයෝගය එහි ගබඩා කොට තිබූ කෝටි ප්‍රකෝටි ගණනක මහා ධනස්කන්ධයේ අග්‍ර භාගය මහින්ද රාජපක්ෂ බහිරවයා ඇතුළු මැදමුලනේ මහ සොරමුල හා බෙදා හදා ගන්නට ඇත. ඔවුන්ගේ මෙම බරපතල චෞර යාන්ත්‍රණය මත  සිය බලතල කුනුකානු පල්ලේ යවා මෙවර ඇසල උත්සව සමයේ බස්නායක වරයා කපුවන් ගෙන් ඉල්ලා ගත යුතු රුපියල් ලක්ෂ දෙසීයේ "කොමිස් මුදල" ඉල්ලා සොමිපාල හොර කපුවාට එරෙහිව සාපරාධී විශ්වාසය කඩකිරීමේ චෝදනාව මත නීතිය හමුවට යාමට කතරගම බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකරට සිදු වීම මැදමුලනේ මහින්ද රාජපක්ෂ බහිරවයා ඇතුළු සොරමුලේ කල් ක්‍රියාවන් පිළිබඳ තවත් එක් නිදසුනක් පමණි.

-LeN පර්යේෂන අංශයේ වාර්තාවකි

සබැඳි පුවතක්
නීල කාස හොරෙකුට කතරගම දේවාලයේ මසුරං පෙට්ටිය බාර දෙයි..!

---------------------------
by     (2022-08-28 11:39:43)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links