~

කුමාරයාණෙනි, ආදරයේ උණුසුම මැද සුවසේ නිදන්න..! අනුන්ගේ නිදහසට දිවිදුන් අපේ කාලයේ වීරයෙකු පිළිබඳ ප්‍රමාද වූ සටහන..!

-ආනුභාවනන්ද ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.මාර්තු.30, ප.ව.10.30) දිනය වසර 2022 පෙබරවාරි 24 වන දා ය. අපේ කථානායකයා දිනයේ සේවය නිමකර පැමිණ සිය සුඛෝපභෝගී නිවසේ සුවපහසු පුටුවක් මත විවේක ගනිමින් රූපවාහිනිය නරඹමින්  සිටියි. තිරය මත Breaking News එකට ඔහුගේ ක්ෂණික අවධානය යොමු වෙයි. රුසියානු ජනාධිපති පුටීන් යුක්රේන ආක්‍රමණය  ආරම්භ කර තිබේ. රුසියානු ප්‍රහාරක ගුවන් යානා ඉවක් බවක් නොමැතිව යුක්රේනයට බෝම්බ ප්‍රහාර එල්ල කරයි. පාබල හමුදා කීව් නුවර අත්පත් කර ගැනීම සඳහා ගමන් ආරම්භ කර තිබේ. ඊලඟ පැය කිහිපය ඇතුළත යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ලෝක ප්‍රජාව අමතමින් න්‍යෂ්ටික බලවතෙකුගේ අනීතික ආක්‍රමණයකට ගොදුරු වී සිටින සිය රටට ආධාර කරන ලෙසට ආයාචනා කළේ ය.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම බරපතළ වරදක්..

විශේෂයෙන් රුසියානු හමුදා පිරිස් බලය ඉදිරියේ පැහැදිලි තර්ජනයකට මුහුණ  දී සිටින තම හමුදාව සමඟ එක්ව සටන් කිරීම සඳහා  යුක්රේනයට පැමිණෙන ලෙස ඔහු ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළු දෙනාගෙන් ඉල්ලා සිටියේ ය. අපේ කථානායකයා යුක්රේනයේ  ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා එහි යෑමට තීරණ කරන්නේ “රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම බරපතළ වරදක්. රටක ස්වෛරීභාවය අප පිළිගත යුතුයි. කිසිවකුගේ අත පෙවීමක් ස්වාධීන රටකට සුදුසු නැහැ” යන ප්‍රතිපත්තිය මතය. යුක්රේන යුද්ධය ආරම්භ වූ මොහොතේ සිට අප සිටින්නේ ද එම මතයේ ය.

පළමුවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ වැඩ්ඩා…

අපේ කථානායකයා නමින් සිල්වෙස්ටර් ඇන්ඩ්‍රො රනිෂ් හේවගේ හෙවත් කපිතාන් රනිෂ් හේවගේ ය. ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකයාට අනුව රනිෂ් හේවගේ ශ්‍රී ලංකා යුද හමුදාවේ පළමුවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ කපිතාන්වරයෙකි. ඔහු වසර දොළහක් සේවය කිරීමෙන් අනතුරුව වසර 2018 වසරේදී හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත්ව ගොස් තිබේ. අපේ හමුදා ආරංචි  මාර්ග අනුව රනිෂ් එල්.ටී.ටී.ඊට එරෙහි යුද්ධයේදී නිර්භීත සහ දක්ෂ ලෙස සටන් කළ “රණවිරුවෙකි”. හමුදා භාෂාවෙන් පැවසුවහොත් වැඩකාරයෙකි.

ගුවන් නියමුවකු වූ රනිෂ්…

හමුදාවෙන් ඉවත් වූ රනිෂ් ගුවන් නියමුවකු ලෙස පුහුණු පාඨමාලාවක් හදරා පසුව ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා ආයතනයන්හි සේවය කළේ ය.  පසුව ඔහු  ඩුබායිහි තාක්ෂණික ආයතනයක සාමාන්‍යාධිකාරිවරයකු ලෙස සේවය කිරීමට ගියේ ය. රනිෂ් යනු පොල් පිත්තෙන් කපාගත හැකි මට්ටමේ “ආමිකාරයෙක්” නොවෙයි. ඔහු පොතපත කියවන සමාජ, දේශපාලනය මෙන්ම භූදේශපාලය පිළිබඳ අවබෝධයක් සහිත චරිතයකි.

යුක්රේන අර්බූදයට පුටීන් මෙන්ම බයිඩන්ද වගකිව යුතුයි…

ඩුබායිහි විධායක මට්ටමේ රැකියාවෙන් ඉල්ලා අස්වී, එම වැටුපෙන් තුනෙන් එකක දීමනාවක් ලැබෙන යුක්රේන හමුදාවට එක්වන්නේ සාධාරණය සහ යුක්තිය පිළිබඳ ඔහුගේ ජීවන දර්ශනය, ප්‍රතිපත්තිය නිසාය. ඔහු අන්ධභක්තියෙන් යුක්රේනයට පැමිණියේ නැත. රනිෂ්ට යුක්රේනය ගැන මෙන්ම බටහිර ගැන විවේචනයක් තිබුණේය. යුක්රේන අර්බූදයට පුටීන් මෙන්ම බයිඩන්ද අඩුවැඩි වශයෙන් වගකිව යුතු බව ඔහු ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේ ය. එහෙත් කිසිම රටක ස්වෛරීභාවය විනාශ කිරීමට වෙනත් රටකට හෝ රටවල් සමූහයකට අයිතියක් නොමැති බව ඔහු තරයේ විශ්වාස කළේ ය.

නූතත ඩේවිඩ් ගොලායත් සටනට …

වසර 2022 මාර්තු 22 වන දා ඔහු යුක්රේන හමුදාවේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස සේවයට එක්විණ. ඒ යුක්රේන යුද්ධයට මාසයක් ගතවීමටත් පෙරය.  ශ්‍රී ලංකා හමුදාවේ නිළධාරියෙකු වශයෙන් සේවය කළ ඔහු යුක්රේන හමුදාවේ “විදේශීය හමුදා ලීගයට” එක්වන්නේ නිළධාරියකු වශයෙන්  නොවෙයි. යුක්රේන හමුදාවේ නිළධාරියෙකු විය හැක්කේ යුක්රේන පුරවැසියෙකුට පමණි. එසේ නොමැති නම් ජනාධිපතිවරයා විසින් විශේෂ පත්වීමක් ලබාදිය යුතුය.

කොමාන්ඩෝ දස්කම් යුක්රේනයෙන් යළි මතුවෙයි…

“විදේශීය හමුදා ලීගයට” එක්වී සති කිහිපයකින්ම රනිෂ් සිය දස්කම් දැක්වීමට පටන් ගත්තේ ය. රුසියානු ඉදිරි වළල්ලට ප්‍රහාර එල්ල කරන දුෂ්කර  ක්ෂණික මෙහෙයුම් කිහිපයකට ඔහු සහභාගී විය. කිහිප අවස්ථාවකම  සටන් බිමේදී තුවාල ලැබීය. රනිෂ්ගේ යුධබිමේ ප්‍රදර්ශනය නිර්භීතභාවය මෙන්ම දක්ෂතා හඳුනාගන්නා යුක්රේන හමුදා ප්‍රධානීන්, වීර පදක්කම් සඳහා ඔහුගේ නම කිහිපවරක්ම නිර්දේශ කළේ ය.

ජනාධිපති සෙලෙන්ස්කි රනිෂ්ව කපිතාන් ධූරයට උසස් කරයි…

අවසානයේ යුක්රේන ජනාධිපතිවරයා සිය සෘජු මැදිහත්වීම යටතේ රනිෂ්ව කොමිෂන්ලත් නිලධාරියෙක් ලෙස පත්කර  කපිතාන් ධූරයට උසස් කළේය.  “විදේශීය හමුදා ලීගයේ” එක් අනු ඛණ්ඩයක් රනිෂ්ට භාර දී ඔහුව වැඩ බලන අණ දෙන නිලධාරියා වශයෙන් පත්කරන ලදී. ඔහු වාර්තා කළයුතු වූයේ පළාතේ බුද්ධි නිලධාරියාට පමණ ය. රනිෂ් යටතේ විවිධ රටවලින් පැමිණි හැට දෙනෙකුට අධික පිරිසක් සේවය කළේ ය. රනිෂ්ගේ මෙන්ම “විදේශීය හමුදා ලීගයේ” රණබිමෙහි දස්කම් යුක්රේන මාධ්‍යවල විටින් විට පල විය.

යුක්රේන ජනතාවගේ ආදරයට සහ රුසියාවේ ඝාතන ලැයිස්තුවට..

ඉතා කාරුණික, සංවේදී පුද්ගලයෙකු වන රනිෂ්, රුසියන් බෝම්බ ප්‍රහාර හේතුවෙන් අසරණව සිටින යුක්රේන ජනතාවට ද උපරිමයෙන් උපකාර කළේ ය. ඒ නිසාම ඔහු ජනතාව අතරේ ආදරයට ලක්විය. මේ හේතු නිසා රුසියානුවන්ගේ ඉක්මන් ඝාතන ලැයිස්තුවට රනිෂ්ගේ නම ඇතුලත් කෙරිණි. ඔවුන් රනිෂ්ව හැඳින්වූයේ “කළු සතුරා” (black enemy) නමිනි.

සරෝජ්ගේ පුවත් ඉවට අසුවූ රනිෂ්..

රනිෂ් යුක්රේනයේ සටන් කරන බවට පළමුවරට වාර්තා කළේ බීබීසීයේ හිටපු මාධ්‍යවේදීයෙකු සරෝජ් පතිරණ ය. ඒ ඔහුගේ යූ ටියුබ් නාලිකාව හරහා. හොඳ පුවත් ඉවක් තිබෙන දක්ෂ මාධ්‍යවේදියෙකු වන සරෝජ්, රනිෂ්ව WhatsApp මගින් සම්බන්ධ කරගෙන යුක්රේන සටන් බිමේ තොරතුරු,“විදේශීය හමුදා ලීගයේ” මැදිහත්වීම සහ රනිෂ්ගේ භූමිකාව ඇතුළු වැදගත් තොරතුරු රැසක් විටින් විට ඉදිරිපත් කළේ ය.

අනෙකා වෙනුවෙන් දිවි පුදයි...

පසුගිය 2023 දෙසැම්බර් 4 වන දා යුක්රේනයේ බක්මුත් හිදී රුසියානු ෂෙල් ප්‍රහාරයකින් කපිතාන් රනිෂ් හේවගේ ඉතා අවාසනාවන්ත ලෙස මිය ගියේ ය. යුක්රේන ඉදිරි ආරක්ෂක වළල්ලට ඔබ්බෙන් මෙහෙයුමකට එක් වූ රනිෂ් යටතේ සිටින භට කණ්ඩායමට අයත් ශ්‍රී ලාංකික භටයකු වූ එම්. එම්. ප්‍රියන්ත සටන් පෙරමුණ් දී එදින මිය ගියේ ය. දැඩි රුසියානු ප්‍රහාර හේතුවෙන් ප්‍රියන්තගේ සිරුර ගැනීම සඳහා ඉදිරි ආරක්ෂක වළල්ලට යෑමට කිසිවෙකු ඉදිරිපත් නොවූ අවස්ථාවේ රනිෂ් ස්වේච්ඡාවෙන් ඒ සඳහා ඉදිරිපත් විය. එහිදී ඔහුගේ සහායට තවත් ශ්‍රී ලාංකික භටයන් තිදෙනකු එක් වී තිබේ. රනිෂ් ඉතා අවාසනාවන්ත ලෙස මිය ගියේ මේ ගමනේදී එල්ල වූ රුසියානු ප්‍රහාරයකිනි.

රාජපක්ෂ බයියන්ගේ වියරු ප්‍රතිචාර...

කපිතාන් රනිෂ් හේවගේ මරණය පිළිබඳ අපේ සමාජ මාධ්‍යයේ කිය වුණේ ඔහු කුලී හේවායෙක් (mercenary) බවත්, ඔහු මුදලට සටන් කළ බැවින් ඒ මරණය සාධාරණ බවයි. කොහේදෝ තිබෙන “බටහිර කුමන්ත්‍රණයකට” ද ඔහුගේ නම එකතු කර තිබිණි. රනිෂ්ගේ මරණය පිළිබඳ ප්‍රසිද්ධියේ සතුටුවන්නෝ ද සිටියහ. රාජපක්‍ෂ බයියන්ගේ මේ ප්‍රතිචාර පිළිබඳ පුදුම විය යුතු නැත. රනිෂ් යුක්රේනය වෙනුවෙන් සටන් කිරීම ඔවුන්ගේ කෝපයට හේතුවී තිබිණි.  

රනිෂ්ගේ මවට තර්ජන කළ බයියෝ..

රනිෂ් ජීවතුන් අතර සිටියදී ඔහුගේ මහගෙදරට පැමිණි බයියෝ ඒ ගැන ඔහුගේ මවගෙන් තර්ජනාත්මක ප්‍රශ්න කළහ. රාජපක්ෂ දේශපාලනය යනු ජාතිවාදී, වර්ගවාදී, ෆැසිස්ට් මතවාදයකි.

රාජපක්ෂලාට අමතරව බයියන්ගේ ලෝකයේ වීරයන් වන්නේ පුටීන්, ඩොනල්ඩ් ට්‍රම්ප්,  එර්දෝගන්, ෂි ජින්පින්, ඉරාන අයතුල්ලා වැනි ඒකාධිපති ෆැසිස්ට් නායකයන්ය. යුක්රේන යුද්ධයේදී රාජපක්ෂ බයියෝ ආක්‍රමණිකයා වන පුටීන් සමඟ සිටගෙන සිටිති. එබැවින් පුටීන්ගේ ආක්‍රමණික හමුදාවට එරෙහිව රනිෂ් නිර්භීත ලෙස සටන් කිරීම රාජපක්‍ෂ බයියන්ට දරා ගැනීමට නොහැකිය.

තම පියා ගෙදර සිටියදී කොහේදෝ යන එකෙකුට 'අප්පච්චී' යැයි කියූ පොලොස් කොට්ටෝරුවන්..

මියගිය පුද්ගලයන් විවේචනය නොකිරීමේ ලෝක සම්මතයක් තිබේ. සිය දෙමව්පියන් සහ අධ්‍යාපන ආයතන විසින් හික්මවනු ලැබූවෝ මියගිය පුද්ගලයන්ට අපහාස නොකරති. චෝදනා එල්ල නොකරති. එසේ කරනුයේ මිය ගිය පුද්ගලයන්ගේ පවුලේ සාමාජිකයන් අපහසුතාවයට  පත් වන නිසා සහ මිය ගිය පුද්ගලයන්ට තමන්ට එල්ල වන චෝදනාවන්ට පිළිතුරු දිය නොහැකි බැවිනි. එහෙත් පාදඩ, ලුම්පන් දේශපාලනය නියෝජනය කරන රාජපක්ෂ බයියන්ගෙන් එවැනි සදාචාරයක්, සංස්කෘතිකයක් බලාපොරෙත්තු විය නොහැකිය. තම පියා ගෙදර සිටියදී කොහේදෝ යන එකෙකුට අප්පචී යැයි කියූ පොලොස් කොට්ටෝරුවන් ගැන කවර කථාද?

කපිතාන් රනිෂ් හේවගේ ගේ මයිල් ගහක් තරම් වටින්නේ නැති “කී බෝඩ් වීරයන්”...

කපිතාන් රනිෂ් හේවගේ තම භද්‍ර යෞවනයේ  වසර දොළහක කාලයක් තම රටවෙනුවෙන් කැප කළේ ය. දිවිපරදුවට තබා එල්.ටී.ටී.ඊ සංවිධානය එරෙහිව සටන් කළේ ය. එවැනි “රණවිරුවෙකුට” රාජපක්ෂ බයියෝ  සැලකූ ආකාරය අපූරුය. රාජපක්ෂ බයියන්ට බලය ලබා ගැනීමට නම් “රණවිරුවන්” ට වඩා සම්පතක් නැත! එහෙත් මේ “කීබෝඩ් වීරයන්” කපිතාන් රනිෂ් හේවගේ ගේ මයිල් ගහක් තරම් වටින්නේ නැති බව ඔහුට කරන ගෞරවයක් වශයෙන් සටහන් කරමු.

සැබෑ කුලී හේවායා කවුද?

රාජපක්ෂ බයියන්ට කුලී හේවායන් දැන ගැනීමට අවශ්‍ය නම් අපිට නිදසුනක් ලබාදිය හැකිය. ඒ රුසියානු හමුදාව වෙනුවෙන් සටන්  කර පසුගිය දා ඩොනෙට්ස්ක්හි මියගිය සෙබල නිපුන සිල්වා ය. සෙබල සිල්වාගේ බිරිඳ “අල් ජසීරා” රූපවාහිනියට පවසන පරිදි සිය සැමියා රුසියානු හමුදාවට එක්වී ඇත්තේ ලංකාවේ ජීවත්වීමට හරිහමන් ආදායමක් නොමැති නිසාය. එම වාර්තාවේ සිංහල පරිවර්තනයට  මෙතැනින් පිවිසිය හැකිය. "රටේ ජීවත් වෙන්න බැරිව රුසියානු යුක්රේන යුද්ධයට ගොස් අකාලයේ මිය යන අපේ කොල්ලෝ..!"

නිපුන සිල්වාට අපි ගරු කරමු..

එහෙත් සෙබල නිපුන සිල්වාගේ මෙන්ම කපිතාන් රනිෂ් හේවගේ මරණ පිළිබඳ අපට ඇත්තේ කණගාටුවකි. ඔවුන් දෙදෙනාටම තරුණවියේදී මොලොව හැරයෑමට සිදුවීම ඛේදවාචකයකි. නිපුනගේ කුඩා දරුවා තවත් ඔහු දුරකතනයෙන් අමතන තූරු බලා සිටියි!  විශේෂයෙන් සෙබල සිල්වාට කුලී හේවායෙකු වශයෙන් කටයුතු කිරීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඒ ඔහුගේ තෝරා ගැනීමේ නිදහසයි.

යුක්රේන හමුදා ගෞරව මැද රනිෂ් අවසන් ගමන් යයි...

කපිතාන් රනිෂ් හේවගේ ගේ දේහය යුක්රේන හමුදා ආචාර ගෞරව මැද පසුගිය දෙසැම්බර් 15 වන දා යුක්රේනයේ ම්ලිනිෆ්හිදී මිහිදන් කෙරිණි. හිම වැටෙන ඉතා ශීතල කාලගුණය මධ්‍යයේ වුවද දේහය ගෙනයන කිලෝමීටර් තුනක් පමණ වන මග දෙපස රැස්ව සිටි යුක්රේන වැසියෝ  කපිතාන් රනිෂ් හේවගේ ගේ දේහයට අවසාන ගෞරව දැක් වූහ. යුක්රේනය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවි දුන් වීරයෙක් හැටියට යුක්රේන රජය සහ එරට මාධ්‍ය ඔහුව හඳුන්වාදෙනු ලැබීය. ඔහුගේ අවසන් කටයුතූ සඳහා රනිෂ්ගේ මව හා සහෝදරිය වන අයෝනා හේවගේ එක්ව සිටියහ.

කපිතාන් රනිෂ් හේවගේ යනු ගෝලීය පුරවැසියෙකි..

රනිෂ්ගේ දේහය ලංකාවට ගෙන නොයෑමට ඔහුගේ මව සහ සොහොයුරිය දැඩි සහ දුෂ්කර තීරණයක් ගත්හ.  කපිතාන් රනිෂ් හේවගේ යනු ගෝලීය පුරවැසියෙකි. ඔහුව ලංකාව වැනි අන්ත පසුගාමී, ග්‍රාමීය, අසංස්කෘතික දූපතක මිහින්දන් කරනවාට වඩා යුක්රේනයේ අවසන් කටයුතු කිරීම ඔහුට ලබාදිය හැකි ඉහළම ගෞරවයයි.

අනුන්ගේ නිදහස වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කළ වීරයා…

ඔහු අනුන්ගේ නිදහස වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කළ වීරයෙකි. ඔව්, ඉතා පැහැදිලිව ඔහු අපට වීරයෙකි. රනිෂ් වැනි පරාථකාමී සටන්කාමීන් දහස් ගණනක් අවශ්‍ය මොහොතේ ඔහු අපට අහිමිවීම විශාල දුකකි.

රනිෂ් සුවසේ නිදන්න!  ඔබ වටා සිටින්නේ ඔබව හදවතින් වැළඳගත්, ඔබට අසීමිතව ආදරය කළ සහ අදටත් ආදරය කරන මිනිසුන්ය. ඔවුන්ගේ හදවතේ ඔබ සදා අමරණීය ය. කුමාරයාණෙනි,  ආදරයේ උණුසුම මැද සුවසේ නිදන්න!

-ආනුභාවනන්ද

[email protected]

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33

---------------------------
by     (2024-03-30 17:05:31)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links