~

වෙන්ඩ පොලිස්පතිලාගේ කෙරුවාවල් ගැන අප පළකළ පුවත ගැන ජ්‍යෙ.නි.පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පිළිතුරු දෙයි..!

(ලංකා ඊ නිව්ස් -2024.අ‍ගෝ.16, ප.ව. 11.00) "ටිරාන් හුලස්ගේ පොලිස්පති සට්ටැඹියා ගෙදර ගිය පසු මීළඟට වෙන්ඩ පොලිස්පතිලාගේ කෙරුවාවල් මෙන්න " ශීර්ෂය යටතේ 2024.07.25 දින ලංකා ඊ නිව්ස් පළ කරන ලද ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් එහි නම් කියැවුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය දිගු කරුණු පැහැදිලි කිරීමක් අප වෙත එවා ඇත. එය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

ප්‍රියන්ත වීරසූරියගේ පිළිතුර..

ප්‍රධාන කර්තෘ,
ලංකා ඊ නිවුස්.

ඔබ වෙබ් අඩවියේ පළ කර ඇති ශීර්ෂ ගත ප්‍රවෘත්තිය විදේශයක සිටින මාගේ මිත්‍රයෙකු විසින්  මා වෙත එවා ඇත. මෙම ප්‍රවෘත්තියේ "ටෙන්ඩර් වලින් හොඳ හැටී ගැසූ ප්‍රියන්ත විරසූරිය" යන අනු ශීර්ෂය යටතේ මා හට එරෙහිව  සඳහන් කර ඇති චෝදනා සම්බන්ධයෙන් පහත කරුණු ඉදිරිපත් කරමි.  

01.     පොලිසියේ සිටින විශාලතම ධනවතා මා බවට සඳහන් කර ඇති චෝදනාව, මෙම ප්‍රවෘත්තිය සඳහා තොරතුරු ලබා දුන් අයෙකු ගේ හිතලුවක් මිස සත්‍යයක් නොවේ. මා විසින් මාගේ වත්කම් බැරකම් වාර්තාව වාර්ෂිකව ඉදිරිපත් කර ඇති අතර අදාළ තොරතුරු සංසන්දනාත්මක ව පරීක්ෂා කළ හොත් වත්කම් අතින් ගත් කල මා සිටින ස්ථානය තහවුරු කර ගැනීමට හැකි වනු ඇත. මා සේවා කාලය තුල 2007 වර්ෂයේ නැගෙනහිර ටිමෝරයේ ද, 2010 වර්ෂයේ හයිටි රාජ්‍යයේ ද වශයෙන් අවස්ථා 02ක දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විදේශ සාම සාධක රාජකාරි වල නිරත වී ඇති අතර  ඒ තුලින් අත් කරගත් උපයා ගැනීම් ඇතුළුව නීත්‍යනුකූල ඉපයීම් හැරුණු කොට අනීතික ව ඉපයීම් සිදු කර නැත.

02.    මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ගිණුම් අංශයේ පොලිස් ටෙන්ඩර් පිළිබඳ ව කටයුතු කරනු ලබන්නේ මා විසින් ස්ථාන ගත කළ පොලිස් පරීක්ෂකවරයෙක් බව සහ එම නිලධාරියා හරහා ප්‍රසම්පාදන කමිටු වලට සාමාජිකයින් නම් කරනු ලබන්නේ මා විසින් බවට සඳහන් කර ඇති චෝදනාව ද අසත්‍ය වේ. මා විසින් කිසිදු පොලිස් නිලධරයෙක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ගිණුම් අංශයට අනුයුක්ත කර නැත. එලෙස සිදු කිරීමට මට බලතල  ද පැවරී නැත. රජයේ ආයතන වල ප්‍රසම්පාදන කටයුතු, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය ඇතුළු අදාළ මූලාශ්‍රවල විධිවිධාන අනුව සාමූහිකව සිදු කරන ක්‍රියාවලියක් වන අතර තනි පුද්ගලයෙකුට හෝ පුද්ගලයින් කිහිප දෙනෙකුට ප්‍රසම්පාදන කමිටු සඳහා තමන්ට රිසි පරිදි සාමාජිකයින් පත් කිරීමට හැකියාවක් නැත. එසේම අදාළ ප්‍රසම්පාදන කමිටු සාමාජිකයින් පත් කරනු ලබන්නේ ද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසිනි.

03.    අ). මා සැපයුම් කොට්ඨාසයේ අධ්‍යක්ෂ වශයෙන් සිටිය දී එම කොට්ඨාසයට  අනුයුක්ත කාන්තා පොලිස් කොස්තාපල්වරියන් හා උප පොලිස් පරීක්ෂවරුන් ලවා සමාගම් අටවා ගෙන තිබි නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට අසුවූ නමුත් එකල සිටි ඉලංගකෝන් මහතා විසින් ඒවා යට ගැසූ බවට දක්වා ඇති කරුණ ද අසත්‍යයකි.  මා සැපයුම් කොට්ඨාසයේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරමින් සිටිය දී හෝ වෙනත් අවස්ථාවක කිසිදු නිලධරයෙකු මගින් හෝ වෙනත් ආකාරයකින්  සමාගම් ස්ථාපිත කිරීමක් සිදු කර නැත.

    ආ). මෙහි සඳහන් හිටපු පොලිස්පතිවරයෙකු වන  ඉලංගකෝන් මහතා රටේ පවතින නීතියට හා අනෙකුත් විධිවිධාන වලට අනුගත ව මිස ඉන් බැහැරව ක්‍රියා නොකල කීර්තිමත් පොලිස්පතිවරයෙක් බව පොලිස් නිලධරයන් පමණක් නොව බහුතර බාහිර පාර්ශව ද දන්නා කරුණක් වේ. මා එවැනි වරදක් සිදුකරන ලද්දේ නම් ඒ මහතා එකී වරද යට ගැසීමක්  සිදු නොකරන බව මෙන්ම මා හට එරෙහිව අවශ්‍ය පියවර ගනු ලබන බව ද ඒ මහතාගේ කටයුතු සම්බන්ධයෙන් අවබෝධයක් ඇති සියලු පාර්ශවයන් දන්නා කරුණකි.  එසේම ඒ මහතා විසින් ලබා දෙන ලද උපදෙස් හා මග පෙන්වීම් අනුව ශ්‍රී   ලංකා පොලිසියේ ප්‍රසම්පාදන කටයුතු ඉහළ මට්ටමකින් සහ වඩාත් විනිවිදභාවයෙන් යුතු ව පවත්වා ගෙන ගිය බව ද මෙහි ලා සඳහන් කළ යුතු ව ඇත.

    ඇ). කෙසේ වෙතත් මා අධ්‍යක්ෂ / සැපයුම් වශයෙන් රාජකාරි කරමින් සිටිය දී සැපයුම් කොට්ඨාසයට නොව පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරියකගේ පියාට අයත් ආයතනයක් සැපයුම් කොට්ඨාසයේ ප්‍රසම්පාදනයකට සම්බන්ධ වී ඇති බව අනාවරණය වී ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අවශ්‍ය පියවර ගැනීම් සිදු වූ අතර එම සිද්ධිය විකෘති කර ඉහත චෝදනාව ගොඩනගා ඇති බව තහවුරු වේ.

04. මා රාජක්ෂවාදියෙක් බවට සඳහන් කර ඇති කරුණ ද අසත්‍ය බව කිව යුතු ය.   මා රජයේ සේවකයෙකු වශයෙන් ඒ ඒ වකවානුවල පැවති  රජයන්ට පක්ෂපාතී ව රාජකාරි කිරීම මිස කිසිදු දේශපාලන පක්ෂයකට හෝ දේශපාලනඥයෙකුට විශේෂ ලැදියාවකින්  කටයුතු කර නැත. මා 2020 වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ ව ශ්‍රී ලංකා පොලිසියේ මැතිවරණ විෂය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පති වරයා වශයෙන් අදාළ  පොලිස් රාජකාරි අපක්ෂපාතීව නිසි අන්දමින් මෙහෙයවීම හා අධීක්ෂණය කිරීම සිදු කල අතර එම කර්තව්‍යය අදාළ මැතිවරණයෙන් ජය ගත් මෙන්ම පරාජය වූ පාර්ශවයන්ගේ ද පැසසුමට ලක් විය. එසේම එවකට සිටි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති තුමා විසින් ද මා සිදුකළ රාජකාරිය විශේෂ ඇගයීමට ලක් කරන ලදී. තවද එවකට සිටි පොලිස්පති තුමා විසින් ද මා වෙත විශේෂ වැටුප් වර්ධකයක් සහ පොලිස්පති ප්‍රශංසාවක් ද පිරිනමා එම රාජකාරිය ඇගයීමට ලක් කරන ලදී. එම කරුණ ද මා නිශ්චිත දේශපාලන පක්ෂයකට හෝ දේශපාලනඥයෙකුට ලැදිව ක්‍රියා නොකරන බවට තහවුරු කිරීම සඳහා උදාහරණයක් වේ.

05.    මා කාමිනී සේනාරත්න නිලධාරිණිය  සමග අනියම් සබඳතාවක් පැවති බවට හුවා දැක්වීම සඳහා  සඳහන් කර ඇති කරුණු අසත්‍ය වන අතර එය අභූත චෝදනාවක් බව කිව යුතු ය.  මා නියෝජ්‍ය  පොලිස්පති / ප්‍රවර්තන දිසාව වශයෙන් රාජකාරි කළ වකවානුවේ ඇය මාගේ අධීක්ෂණය යටතේ පැවති ගොඩනැගිලි කොට්ඨාසයේ අධ්‍යක්ෂවරිය වශයෙන් කටයුතු කරන ලද අතර  මා ඇය සමග හෝ ශ්‍රී  ලංකා පොලිසියේ කිසිදු නිලධාරිණියක සමග කිසිදු අවස්ථාවක අනියම් සම්බන්ධතා පවත්වා නැත. මා හට එරෙහිව මෙම ප්‍රවෘත්තියෙන් හැර වෙනත් කිසිදු අවස්ථාවක එවැනි චෝදනාවක් ද එල්ල වී නැති බව සඳහන් කරමි.   

06.    රනිල් රාජපක්ෂගේ ඉතා සමීපතයෙකු හරහා මීළඟ පොලිස්පති වීම සඳහා තරඟයට පිවිස ඇති බවට කර ඇති චෝදනාව ද අසත්‍ය චෝදනාවක් බව ප්‍රකාශ කරමි. මා පොලිස්පති ධූරය සඳහා කිසිදු නිලධාරියෙකු සමග තරඟයකට පිවිස නොමැති වසර 35කට අධික සේවා කාලය තුල ද තනතුරක් සඳහා කිසිදු නිලධාරියෙකු සමග තරඟයකට පිවිසියේ  නැත. එසේම තනතුරක් සඳහා දේශපාලනමය වශයෙන් හෝ වෙනත් බාහිර පාර්ශවයක ගේ හෝ සහායක් ලබා ගැනීමට ද ක්‍රියා කිරීමක් සිදු කර නැත. මේ දක්වා මා වෙත ලබා දෙන ලද තනතුරු වල කාර්ය හා කර්තව්‍යය මාගේ උපරිම ශක්තියෙන් ඉහළ මට්ටමකින් ඉටු කර ඇති අතර ඉදිරියේ දී ද ලබා දෙනු ලබන ඕනෑම තනතුරක කටයුතු එලෙස සිදු කිරීමට කැප වී සිටින බව සඳහන් කරමි.

07.    අ). මා සෑම විටම පොලිසියේ අභිමානය සහ අභිවෘද්ධිය  සඳහා කැප වී ක්‍රියා කළ අතර පොලිස් කොස්තාපල්වරයෙකු වශයෙන් සේවයට බැඳී මේ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා පැමිණීමට එකී මාගේ ක්‍රියා කලාපය හේතුසාධක වූ බව ද සඳහන් කරමි. මාගේ වසර 35 කට අධික සේවා කාලය තුල එවකට සිටි පොලිස්පතිවරුන් විසින් මා විසින් සිදු කර ඇති සුවිශේෂි රාජකාරි ඇගයීම් කර මේ වන විට පොලිස්පති ප්‍රශංසා 09ක්  පිරිනමා ඇත. එසේම මාගේ සේවා කාලය තුල මා හට  කිසිදු අවස්ථාවක චෝදනා පත්‍රයක්  නිකුත් කර නැති අතර අවම වශයෙන් ලඝු විනය කාර්ය පටිපාටිය යටතේ විනය ශාලාවට ඉදිරිපත් කිරීමක් හෝ සිදු කර නැත. එම කීර්තිමත් සේවා වාර්තාව මා විසින් විනයානුකූලව සහ පවතින විධිවිධාන වලට යටත් ව කැපවී ක්‍රියා කිරීමෙන් හිමි වී  ඇති අතර  කෘතිමව නිර්මාණය කර ගන්නා ලද්දක් නොවන බව ද සඳහන් කල යුතු ව ඇත.    

    ආ). මා ප්‍රවර්තන විෂය ට අදාළ අධ්‍යක්ෂ / සැපයුම්, නියෝජ්‍ය පොලිස්පති /  ප්‍රවර්තන දිසාව සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති / සහයක සේවා තනතුරු වල වසර 10කට වැඩි කාලයක් සේවයේ යොදවා සිටි අතර එම තනතුරු වල සිටිය දී ප්‍රවර්තන විෂයට අදාළ තනතුරුවලින් බැහැර ප්‍රාදේශීය ක්ෂේත්‍ර රාජකාරි සඳහා මුදවා හරින ලෙසට එවකට සිටි පොලිස්පතිවරුන් වෙත අවස්ථා 07 ක දී අභියාචනා ඉදිරිපත් කළ නමුදු මා විසින් ප්‍රවර්තන විෂයට අදාළ රාජකාරි කටයුතු ශ්‍රී  ලංකා පොලිසියට ඉහළ ඵලදායිතාවක් අත් වන පරිදි අවංකව හා විනිවිදභාවයකින් යුතු ව උසස් මට්ටමින් ඉටු කර තිබීම හේතුවෙන් සහ සේවා අවශ්‍යතාව මත අදාළ අභියාචනා ප්‍රතික්ෂේප කර වසර 10කට වැඩි කාලයක් ප්‍රවර්තන විෂය ට අදාළ තනතුරු වල රාජකාරි යෙදවීමට ක්‍රියා කළ බව ද මෙහි ලා සඳහන් කරමි.

08.    ඡේද අංක 07 (අ) හි සඳහන් කරුණු තහවුරු කිරීම සඳහා මා ප්‍රවර්තන විෂයයට අදාළ තනතුරු වල රාජකාරි යෙදී සිටිය දී මාගේ මූලිකත්වය යටතේ පොලිසියේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කළ සුවිශේෂි ව්‍යාපෘති කිහිපයක් සහ මා විසින් සිදු කළ නව හඳුන්වා දීම් යටතේ නිලධරයන්ට නිකුත් කරන අයිතම පහත සඳහන් කරමි.

ක්‍රියාත්මක කළ ව්‍යාපෘති මගින් ලබාගෙන ඇති අයිතම

i. ජපන් රජයෙන් පරිත්‍යාගයක් වශයෙන් KDH වෑන් - 10ක්ද, ලෑන්ඩ් කෲෂර් ජිප් රථ - 58 ක්ද,  බස් රථ (කුඩා) – 04 ක්ද, PRADO ජිප් රථ - 02 ක්ද, XT 250 යතුරු පැදි (250 CC ධාරිතාව) – 150 ක්ද, නවීන තාක්ෂණයෙන් යුතු සෝදිසි කිරීමේ උපකරණ තොගයක් ද ලබා ගැනීම. එවකට මෙම අයිතම වල වටිනාකම රු. මිලියන 2000ක් පමණ වේ. මෙම කර්තව්‍යය එවකට සිටි පොලිස්පති තුමා විසින් ඇඟයීමට ලක් කර මා වෙත විශේෂ වැටුප් වර්ධකයක් සහ පොලිස්පති ප්‍රශංසාවක් ද පිරිනමා ඇත.

i. මහජන චීන සමූහාණ්ඩුවෙන් නවීන තාක්ෂණයෙන් යුතු රු. මිලියන 750ක් වටිනා සෝදිසි උපකරණ පරිත්‍යාගයක් වශයෙන් ලබා ගැනීම. මෙම කර්තව්‍යය ඇගයීමට ලක් කර එවකට සිටි පොලිස්පති තුමා විසින් මා හට පොලිස්පති ප්‍රශංසාවක් පිරිනමා ඇත.

ii. මහජන චීන සමූහාණ්ඩුවෙන් රු. මිලියන 530ක් වටිනා නිල ඇඳුම් රෙදි පරිත්‍යාගයක් වශයෙන් ලබා ගැනීම. මෙම කර්තව්‍යය ඇගයීමට ලක් කර එවකට සිටි පොලිස්පති තුමා විසින් මා හට පොලිස්පති ප්‍රශංසාවක් පිරිනමා ඇත.

iii. ඉහත කාර්යයන් වලට අමතරව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රමුඛ ව විදේශ තානාපති කාර්යාල කිහිපයක් සමග සම්බන්ධීකරණය වී ශ්‍රී ලංකා පොලිසියේ යටිතල පහසුකම් වැඩි කිරීම සඳහා  ඉහල වටිනාකමකින් යුතු අයිතම පරිත්‍යාග පදනමින් ලබා ගැනීමට ක්‍රියා කර ඇත.

iv. පොලිස් නිලධරයන්ගේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කොට දීප ව්‍යාප්තව වැසිකිලි / කැසිකිලි 2000ක් පමණ අලුතින් ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීම

v. අක්‍රීයව පැවති පොලිස් වෛද්‍ය සේවා අරමුදල  සහ පොලිස් සුඛ විහරණ අරමුදල ඒකාබද්ධ කර පොලිස් නිලධරයන් ඇතුළු ප්‍රතිලාභීන් ගේ අසනීප සඳහා මෙන්ම සෞඛ්‍ය තත්වය නිසි පරිදි පවත්වා ගෙන යාම සඳහා ප්‍රතිලාභ වැඩි කර " පොලිස් සෞඛ්‍ය සුබසාධක යෝජනා ක්‍රමය " ආරම්භ කිරීමට පියවර ගැනීම. මේ සම්බන්ධයෙන් පොලිස්පති චක්‍රලේඛ අංක 2757/2023 (2023.08.29) නිකුත් කර ඇත.

නව හඳුන්වා දීම්

ක්‍රීඩා ඇඳුම, ක්‍රීඩා සපත්තු, ගමන් බෑගය (කාන්තා සහ පුරුෂ වශයෙන් වෙන් වෙන්ව), ඇඳ ඇතිරිලි, තුවා, රථ වාහන හැසිරවීමේ රාජකාරි නියුතු නිලධරයන් සඳහා අව් කණ්ණාඩි, නවීකරණය කළ වැහි කබාය,  කාන්තා නිලධාරිණියන් සඳහා අංක 04 නිල ඇඳුම (දිග කලිසම සහිත),  අවශ්‍ය උපාංග සහිත නව බඳ පටිය (Full Equipment Belt)

09.    අ). මා පොලිසියේ පහළ ම තැන සිට පැමිණි බැවින් සෑම තනතුරක් සම්බන්ධයෙන් ම අවබෝධයක් ඇති බව මා විසින් පවසන බවට මෙම ප්‍රවෘත්තියේ සඳහන් කර ඇති කරුණ සම්බන්ධයෙන් කීමට ඇත්තේ පොලිස් කොස්තාපල්වරයෙකු වශයෙන් සේවයට බැඳුනු මා සේවයේ සිටිය දීම  අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරාලීමෙන් පසුව සහ අවශ්‍ය අනෙකුත් සුදුසුකම් සපුරා තිබීම මත  නිසි ක්‍රමවේදය යටතේ  උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස ද, ඉන් පසුව සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස ද ඉඳුරාම බැඳුනු පසුබිම යටතේ  කනිෂ්ඨ ශ්‍රේණිය, පරීක්ෂක ශ්‍රේණිය සහ  ජ්‍යෙෂ්ඨ  රාජ්‍ය නිවේදිත ශ්‍රේණිය යන පොලිසියේ පවතින සියළුම ශ්‍රේණි නියෝජනය වන තනතුරු වල රාජකාරි කළ නිලධාරියෙකු වශයෙන් මා හට පොලිසියේ සෑම තනතුරක් සම්බන්ධයෙන් ම  ප්‍රායෝගික අත්දැකීම් සමග දැනුමක් ඇති බව ය.

    ආ). මා කොළඹ විශ්ව විද්‍යාලයෙන් LLB උපාධිය ලබා නීතිඥයෙකු වශයෙන් දිවුරුම් දී ඇති අතර  ඊට අමතරව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් LLM පශ්චාත් උපාධිය ද, කොළඹ විශ්ව විද්‍යාලයෙන් MBA (HRM) පශ්චාත් උපාධිය ද,  ලබා ගෙන ඇත. එලෙස උසස් අධ්‍යාපනය තුලින් ලත් දැනුම ද, ඡේද 10 (අ) හි සඳහන් පරිදි ලබාගත් ප්‍රායෝගික දැනුම ද, ඡේද අංක 08 හි සඳහන් ආකාරයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සහ  නව හඳුන්වා දිම් සිදු කිරීමට ද, මාගේ මැදිහත් වීම යටතේ පොලිස් නිලධරයන්ගේ ආර්ථික තත්වය උසස් කිරීම සඳහා  සිදු කර ඇති පහත සඳහන් කාර්යයන් සඳහා ද පිටුවහලක් විය.

i. පොලිස් නිලධරයන්ගේ ආහාර හා නවාතැන් දීමනාව ගෙවීම් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා  මූලිකත්වය ගෙන කටයුතු කිරීම.

(මා නියෝජ්‍ය පොලිස්පති / ප්‍රවර්තන දිසාව වශයෙන් රාජකාරි කල වකවානුවේ සිට සමීක්ෂණ පවා සිදුකර  අවශ්‍ය තොරතුරු රැස් කොට පොලිස් නිලධරයන් වෙත මෙම දීමනාව ලබා දීමේ අවශ්‍යතාව සාධාරණීකරණය කිරීම සඳහා සාධනීය මට්ටමින්  කරුණු ඉදිරිපත් කළ අතර පොලිසිය වෙනුවෙන් අමාත්‍ය  මණ්ඩල සංදේශය ද කෙටුම්පත් කරන ලද්දේ මා විසිනි.)

ii. රථ වාහන රාජකාරි වල නියුතු නිලධරයන් සඳහා ගෙවනු ලබන මාසික ත්‍යාග මුදල වැඩි කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කිරීම
(පොලිස්පති චක්‍රලේඛ අංක 2778/2024 (i) – 2024.06.24  මගින් රථ වාහන
රාජකාරි වල යොදවා සිටින නිලධරයන්ට ගෙවනු ලබන මාසික ත්‍යාග මුදල ඉහල අගයකින් වැඩි කර ඇති අතර මා විසින් කරුණු අධ්‍යනය කර ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව එලෙස අදාළ ත්‍යාග මුදල් වැඩි කිරීම සිදු කර ඇත.)

iii. පොලිස් නිලධරයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශ කෙටුම්පතක් ද සමග යෝජනාවක් ඉදිරිපත් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කිරීම

(මෙම කාරණය සම්බන්ධයෙන් ද සමීක්ෂණ පවා සිදු කර  අවශ්‍ය තොරතුරු රැස් කොට පොලිස් සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා  පොලිසියට අනන්‍ය වන පරිදි වැටුප් තල සකස් කිරීමේ අවශ්‍යතාව සාධාරණීකරණය කර අදාළ යෝජනාව, අමාත්‍ය මණ්ඩල සංදේශය කෙටුම්පතක් ද සමග රේඛීය අමාත්‍යාංශයට යොමු කිරීම සඳහා ඉදිරිපත් කරන ලද්දේ මා විසිනි.)  

10.    ඡේද අංක 08 සහ 09 (ආ) හි  සඳහන් ආකාරයේ මා විසින් පොලිසියේ හා පොලිස් නිලධරයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදු කර ඇති  සුවිශේෂිත කාර්යයන් සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ලබා ගැනීම වැනි ක්‍රියා තුලින් ජනප්‍රිය වීමේ  ක්‍රියා මාර්ග මා විසින් අනුගමනය නොකළ අතර මේ අවස්ථාවේ ද සඳහන් කරන ලද්දේ විෂය ගත  ප්‍රවෘත්තියට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි.

ද්වේෂ සහගත ව මාගේ චරිතය ඝාතනය කිරීමේ අරමුණ ඇති ව

11.    අදාළ ප්‍රවෘත්තියේ මට එරෙහිව සඳහන් කර ඇති චෝදනා සමග ඉහත මා විසින් ඉදිරිපත් කර ඇති කරුණු සාපේක්ෂව සැසඳු කල රටේ පවතින වාතාවරණය යටතේ පොලිස්පති ධූරයට නිලධාරියෙකු පත් කිරීමට සලකා බැලීමක් සිදු කළ හොත්  දැනට මාගේ ජ්‍යෙෂ්ඨතාව අනුව මා සම්බන්ධයෙන් ද අවධානයක් යොමු කරනු ඇතැයි යන උපකල්පනය මත පිහිටා එවැනි තත්වයක් ඇති වූවහොත් ඊට මග ඇහිරීමේ අරමුණෙන් යුතු ව ප්‍රතිවාදියෙකු හෝ අනුගාමිකයෙකු හෝ විසින් මට මඩ ගැසීමේ අරමුණෙන්  මෙම අසත්‍ය කරුණු ද්වේෂ සහගත ව ඉදිරිපත් කර ඇති බවත්,  මෙම ප්‍රවෘත්තිය "පොලිස් පොඩ්ඩා ලියයි " යනුවෙන් සඳහන් කර තිබුණ ද, අදාළ අසත්‍ය  තොරතුරු  ඔබ වෙත ලබා දී ඇත්තේ පොලිසියේ කනිෂ්ඨ නිලධරයෙකු නොව පොලිස්පති ධූරය ඉලක්ක ගත ව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් බවත්, නිරීක්ෂණය වේ.

12.    කිසිවෙකු විසින් මාධ්‍ය ආයතනයකට සපයන ප්‍රවෘත්ති, අදාළ මාධ්‍යයේ ප්‍රසිද්ධ කිරීමට පෙර  සත්‍ය අසත්‍යතාව මෙන් එම ප්‍රවෘත්ති කිසියම් පුද්ගලයෙකුගේ චරිත නිර්දය ලෙස ඝාතනය සඳහා ගොතන ලද ප්‍රබන්ධයක් ද යන්න සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදු කිරීම සදාචාර සම්පන්න මාධ්‍ය ආයතනයක වගකීමක් වන අතර   මෙම ප්‍රවෘත්තිය පළ කිරීමේ දී එම ක්‍රියා මාර්ගය අනුගමනය කර නැති බව තහවුරු වේ. මෙවැනි ක්‍රියා  තුලින් ඔබ වෙබ් අඩවිය කෙරෙහි ඇති විශ්වසනීයත්වය පරිශීලකයින් ගෙන් ගිලිහී යනු ඇත. විශේෂයෙන්ම ඡේද අංක 05හි සඳහන් පරිදි විවාහක කාන්තාවකට එවැනි අභූත චෝදනාවක් එල්ල කිරීම තුලින් ඇති වන අගතිගාමි තත්වය සුළු පටු නොවන බව පැහැදිලි කරුණකි.

13.    පටු පරමාර්ථයක් වෙනුවෙන් ද්වේෂ සහගත ව මාගේ චරිතය ඝාතනය කිරීමේ අරමුණ ඇති ව කිසිවෙකු විසින් ඔබ ආයතනය වෙත ඉදිරිපත් කළ  අදාළ ප්‍රවෘත්තියේ සත්‍ය අසත්‍යතාව විශ්ලේෂණය කිරීමකින් තොර ව  ඔබ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් මාගේ කනගාටුව ප්‍රකාශ කරමි.

14.    මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන්  නෛතික ක්‍රියා මාර්ගවලට අවතීර්ණ වීමේ  අවශ්‍යතාව මා තුල ඇතත් ඔබ වෙබ් අඩවිය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාව තුල නොව විදේශයක සිට බැවින් ඒ සඳහා අවස්ථාවක් නොමැත. මේ සම්බන්ධයෙන් පිළිතුරු සැපයීමට මා බැඳී නැති නමුත් මා සම්බන්ධයෙන් අසත්‍ය  තොරතුරු ඇතුළත් අදාළ ප්‍රවෘත්තිය මගින් ඔබ වෙබ් අඩවිය පරිශීලනය කරන්නන් තුල මා පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය වීමෙන් වසර 35කට අධික අඛණ්ඩ සේවා කාලයක් තුල මා උපයා ගෙන ඇති කීර්ති නාමයට හානියක් සිදුවීම වළක්වා ගැනීම සඳහා පියවර ගැනීමේ හිමිකමක් මා හට ඇත. ඒ අනුව  අදාළ ප්‍රවෘත්තියේ මා සම්බන්ධයෙන් සඳහන් කර ඇති කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් වශයෙන් ඉදිරිපත් කරන  මෙම ලිපිය, ඔබ වෙබ් අඩවියේ පළ කර  අදාළ පරිශීලකයින්ට නිවැරදි තතු දැන ගැනීමට අවස්ථාව සලසන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.  

ප්‍රියන්ත වීරසූරිය,

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති,
උතුරු මැද පළාත.

සබැඳි පුවත
ටිරාන් හුලස්ගේ පොලිස්පති සට්ටැඹියා ගෙදර ගිය පසු මීළඟට 'වෙන්ඩ පොලිස්පතිලාගේ' කෙරුවාවල් මෙන්න..!

---------------------------
by     (2024-08-16 19:27:28)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links