-සුනිල් ගාමිණී ජයලත්ගේ හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2025.සැප්.20, ප.ව.11.30) ජාතික ජනබලවේග රජය යටතේ ද, වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තුවේ සිදුවෙමින් පවතින අන්ත දූෂිත ක්‍රියා පිළිබඳව පසුගිය සැප්තැම්බර් 02 වැනි දා සහ සැප්තැම්බර් 10 වැනිදා සාක්ෂි සාධක සහිතව අපි තොරතුරු හෙළිදරව් කළෙමු.
අප හෙළිදරව් කරනු ලැබූ දූෂන සම්බන්ධ තොරතුරු, අසත්‍ය තොරතුරු යැයි ප්‍රකාශ කොට ඊට විරුද්ධව ප්‍රතිචාර දැක්වීමට අදාළ ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරයා හෝ එම ආයතනය අයත්වන අමාත්‍යංශ බලධාරීන් හෝ මෙතෙක් කටයුතු කර නොමැති බව ද පළමුවෙන් සඳහන් කළ යුතුය. අප කළ හෙළිදරව්වෙන් අනතුරුව සිදුවූයේ, එම ආයතනයේ සිදුවන තවත් බොහෝ දූෂන පිළිබඳව තොරතුරු අප වෙත ගලා ඒමය.
අප වෙත ලැබුණු බොහෝ දූෂණ තොරතුරු අතුරින් එකක් වන්නේ, වෙරළ සංරක්ෂන ඉදිකිරීම් සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී හා රජයේ මුදල් පාවිච්චි කොට වෙරළ සංරක්ෂණ කටයුතු සිදු කිරීමේදී සිදුවන නින්දිත හා දූෂිත ක්‍රියාවලිය යි. මේ ලිපියේ අරමුණ වන්නේ එම දූෂිත ක්‍රියාවලිය සිදුවන ආකාරය සහ ඊට සම්බන්ධ වී සිටින නිලධාරී මාෆියාව කවුරුන්ද යන්න හෙළිදරව් කිරීම ය.
බලපත්‍ර ක්‍රියාවලියේ විශාල කොටසක් හසුරුවන බලය මේ වන විට ඇත්තේ වෙරළ සම්පත් කළමනාකරණ අංශයේ අධ්යක්ෂ 'නිමල් ශ්‍රී රාජරත්න' යටතේ ය. ඉතා විශාල වශයෙන් දූෂන ක්‍රියා සිදුවන මෙම බලපත්‍ර ක්‍රියාවලියේ දුෂන ක්‍රියා විශාල ප්‍රමාණයකට මොහුගේ සම්බන්ධයක් ඇති අතර මොහුට සහයෝගය ලබා දෙමින් මොහුගේ සහායකයා ලෙස ක්‍රියා කරනුයේ සංවර්ධන නිලධාරී 'අෆ්නාස්' යන අය ය. බලපත්‍ර ඉල්ලුම් කිරීමේ මාර්ගගත පද්ධතියේ සියලුම පාලනය තිබෙන්නේ මෙම නිලධාරියා අතේය. බලපත්‍ර ක්‍රියාවලියේ දූෂන ක්‍රියා පිලිබඳ සාක්ෂි විශාල ප්‍රමානයක් අප සතුව ඇතත් අද අප සාකච්ඡා කරන්නේ එහි එක් කොටසක් වන වෙරළ ආරක්ෂන ඉදිකිරීම් සඳහා බලපත්‍ර ලබා දීමේ දී සිදුවන දූෂන ක්‍රියා පිලිබඳව පමණ ය.
ශ්‍රී ලංකාව වටා ඇති මුහුදු කලාප භුමිය ආශ්‍රිතව සිදුවන, වෙරළ ඛාදනය වලක්වා ගැනීමට ඉල්ලුම් කරන්නන් කොටස් දෙකකට අයත්ය. අදාල ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ජනතා නියෝජිතයන් සහ අදාල ප්‍රදේශයේ පිහිටි වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉන් එක් කොටසක් ය. ඉල්ලීම් සිදුකරන අනෙක් පිරිස වන්නේ, පුද්ගලික ඉඩම් හිමියන්, මහා පරිමාන හෝටල් හිමියන් ඇතුළු ව්‍යාපාරිකයන් සහ ආගමික සිද්ධස්ථාන ප්‍රධානීන් වැනි අය ය.
පළමුවෙන් සඳහන් කළ කොටසට අයත් ඉල්ලීම් සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් සිදු නොවනවා සේම, එම ඉල්ලීම් අනුව සිදු කරනු ලබන වෙරළ ආරක්ෂන ඉදිකිරීම් සඳහා මුදල් වැය කරන්නේ ද රජයේ මුදලිනි. පුද්ගලික ඉඩම් හිමියන් සහ ව්‍යාපාරිකයන් විසින් ඉදිරිපත් කරන ඉල්ලීම් අනුව වෙරළ ආරක්ෂන ඉදිකිරීම් සිදු කළ හැක්කේ, වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන බලපත්‍රයක් තිබේ නම් පමණය.
වෙරළ ඛාදනය වැළැක්වීමට, වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන විධි ක්‍රම කිහිපයක් තිබේ. ඒවා නම්, රිවට්මන්ට් දැමීම, ගේබියන් බැමි ඉදිකිරීම, ග්‍රොයින ඉදිකිරීම සහ දියකඩන ඉදිකිරීම ය.
පුද්ගලික හෝටල් සහ වෙනත් ව්‍යාපාර ආශ්‍රිතව වෙරළ ඛාදනයක් සිදු වන විට එය හදිසි වෙරළ ඛාදනයක් ලෙස හඳුන්වා, එය වැලැක්වීම සඳහා කරණ වෙරළ ආරක්ෂන ඉදිකිරීම් ද රජයේ මුදලින් සිදු කිරීමට හැකියාව ඇත. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා දූෂිත නිළධාරීන් අදාළ ඉදිකිරීම රජයේ මුදලින් සිදු කොට, හෝටල් හිමියන්ගෙන් විශාල මුදලක් අත යට ගණුදෙණු ලෙස ලබා ගනිති. එසේම එම ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබාගන්නේ ද, වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට අයත් සමාගම් හෝ ඔවුන්ගේ හිතවතුන්ට අයත් සමාගම් ය. මෙම දූෂිත ක්‍රියාව බහුල වශයෙන් සිදුවන්නේ ලංකාවේ දකුණු පළාත සහ බස්නාහිර පළාත තුළ ය. එයිනුත් දකුණු පළාතේ මෙය බරපතල ලෙස සිදුවන්නේ ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක දෙක තුළ ය.
රජයේ වියදමින් සිදුකරන වෙරළ ආරක්ෂන ඉදිකිරීම් පිලිබඳ තීරණය කිරීම සහ වෙරළ ඛාදනයක් සිදුවූ විට එය හදිසි තත්වයක්ද නැද්ද යන්න තීරණය කිරීමේ බලය සතුව ඇත්තේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, වෙරළ සංවර්ධන අංශයේ ප්‍රධාන ඉංජිනේරු ලෙස කටයුතු කරන 'සකුන්ත පත්මසිරි' යන අයට ය. මොහු අතිශය දූෂිත නිලධාරියෙකි. ඒ බව සනාථ වූ මෑතකාලීන සිදුවීම වන්නේ, මොහු මීට මාස කිහිපයකට පෙර සිදු කරනු ලැබූ ටෙන්ඩර් මිල ගණන් කැඳවීමක දී, කූඨ ලේඛන සකස් කොට තමන්ට හිතවත් කොන්ත්‍රාත්කරුවෙකුට ටෙන්ඩරය ලබාදීමට උත්සාහ කිරීම ය. (ඊට අදාළ ලිඛිත සාක්ෂි අප සතුව ඇත) ආයතනයේ පැවැති අභ්‍යන්තර විගණන පරීක්ෂනයේ දී මොහුගේ මෙම වරද ඔප්පු වී ඇති අතර, එම පරීක්ෂන වාර්තාව පසු ගිය ජූලි මාසයේ දී ආයතනයේ අධ්යක්ෂ ජනරාල් 'ටර්නි ප්‍රදීප් කුමාර' ට ලබා දී ඇත.
සාමාන්‍යයෙන් රජයේ සේවකයෙකු කූඨ ලේඛන සැකසීමේ වරදට වරදකරුවකු වූ විට ආයතන සංග්‍රහයට අනුව වහාම ඔහුගේ වැඩ තහනම් කළ යුතු ය. සමාන්‍ය නීතිය යටතේ ඇප නොලැබෙන වරදකි, අවසානයේ සිර දඬුවම් නිසැකය. එසේ නමුත් වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුව විසින් පත් කළ අධ්යක්ෂ ජනරාල්වරයා මෙතෙක් අදාළ දූෂිත නිළධාරියාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතුවා පමණක් නොව ඔහුට තවදුරටත් දූෂිත ක්‍රියාවන් සිදු කිරීමට අවශ්‍ය අවස්ථාව නො අඩුව සලසා දී ඇත.
වෙරළ ඛාදනයක් සිදු වන විට හෝ එසේ විය හැකි යැයි අනුමාන කරන විට හෝ එය වලක්වා ගැනීම සඳහා පුද්ගලික ඉඩම් හිමියන් සහ ව්‍යාපාරිකයන්ට වෙරළාරක්ෂන ඉදිකිරීමක් සිදු කර ගත හැකිය. එවැනි ඉදිකිරීමකට අවශ්‍ය අවසරය වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතුය. ඒ සඳහා කරන ඉල්ලීම්, ඔවුන් විසින් මාර්ගගතව ඉදිරිපත් කරනු ලබයි. ඉන් අනතුරුව සිදුවන්නේ අදාළ ප්‍රාදේශීය වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තු කාර්ය්යාලයේ නිලධාරියකු අදාළ ස්ථානය පරීක්ෂා කොට එම ඉල්ලීම ප්‍රාදේශීය ඉංජිනේරුවරයාගේ නිර්දේශය සහිතව කොළඹ ප්‍රධාන කාර්යාලයට යොමු කිරීම ය.
මෙවැනි ඉල්ලීම් පරීක්ෂා කොට බලා බලපත්‍ර නිකුත් කිරීමට අවශ්‍ය නිර්දේශය ලබා දෙන්නේ කොළඹ කාර්යාලයේ ස්ථාපිත කර ඇති සැලසුම් කමිටුව ය. එම කමිටුවේ සමාජිකයන් ලෙස කටයුතු කරන්නේ නිර්මාණ හා පර්යේෂන අංශයේ ප්‍රධාන ඉංජිනේරු D.T. රූපසිංහ, වෙරළ සම්පත් කළමණාකරණ අංශයේ අධ්යක්ෂ නිමල් ශ්‍රී රාජරත්න, වෙරළ සම්පත් කළමණාකරණ අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ B. H. J. ප්‍රේමතිලක සහ නීති අංශයේ ප්‍රධානී පංචාලී ප්‍රනාන්දු යන පිරිස ය.
මෙම සැලසුම් කමිටුව සෑම බ්‍රහස්පතින්දා දිනකම රැස්වන නමුත්, මෙහි ඉංජිනේරුවරයකු ලෙස සිටින එකම සාමාජිකයා වන රූපසිංහ මෙම කමිටුවට සහභාගී වන්නේ ඉතාමත් කලාතුරකිනි. ඉතා ප්‍රචලිත වෙරළාරක්ෂන ඉදිකිරීමක් වන ගේබියන් බැමි ඉදිකිරීම සඳහා බලපත්‍ර ඉල්ලා ඇති සෑම අවස්ථාවකදීම පාහේ රූපසිංහ මෙම කමිටු රැස්වීමට සහභාගී නොවේ. අදාළ කමිටු රැස්වීමට ඔහු සහභාගි නො වූ විට කමිටුවේ අනෙක් සාමාජිකයන් සිදු කරන්නේ, ගේබියන් බැමි ඉදිකිරීම සඳහා බලපත්‍ර ඉල්ලා එවන ලද සියළු ඉල්ලීම් පරීක්ෂා කිරීමට රූපසිංහ වෙත යැවීම ය.
සැලසුම් කමිටුව නියෝජනය කරන එකම ඉංජිනේරුවරයා රූපසිංහ බැවින් මොහු එම කමිටුවට සහභාගී නොවන නිසා ඒ පිළිබඳව තීරණ ගැනීමේ තාක්ෂණික දැනුමක් අනෙක් සාමාජිකයින්ට නැතිවීම මෙයට ප්‍රධාන හේතුවය. බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලියේ දී දූෂිත නිළධාරී මාෆියාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නේ මෙතැන් සිට ය. මෙකී දූෂිත ක්‍රියාවලියත් බහුල වශයෙන් සිදුවන්නේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අදාළ බලපත්‍ර සඳහා ය.
රූපසිංහ වෙත අදාළ බලපත්‍ර ඉල්ලීම් යැවූ පසු, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇති ප්‍රාදේශීය කාර්යාලවල සේවය කරන දූෂිත නිළධාරීන් රූපසිංහට කතා කොට අදාළ ඉල්ලීම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද කිරීමට අවශ්‍ය කටයුතු යොදා ගනිති. ඒ අතර තුර කාලයේදී ප්‍රාදේශීය කාර්යාලයේ සේවයේ නියුතු තාක්ෂන නිළධාරියා හෝ වෙරළ ආරක්ෂන නිළධාරියා හෝ බලපත්‍ර ඉල්ලුම් කළ පුද්ගලයා මුණගැසෙයි. බලපත්‍ර ලබා ගැනීමේ ප්‍රමාදය ගැන බලපත්‍ර ඉල්ලුම්කරු මෙම නිලධාරීන් ගෙන් විමසූ විට මෙම නිලධාරීන් පවසන්නේ ප්‍රමාදයකින් තොරව බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය නම් අසවල් කොන්ත්‍රාත් කරුවාට ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දෙන ලෙස ය. ඉන් පසුව සිදුවන්නේ බලපත්‍ර ඉල්ලුම්කරු මීට පෙර වෙනත් අයෙකුගෙන් අඩු මිලකට සිදු කර ගැනීමට එකඟව සිටි කොන්ත්‍රාත්තුව, මෙම නිලධාරීන් විසින් හඳුන්වා දෙනු ලබන කොන්ත්‍රාත්කරුවාට ඊට වඩා ඉතාමත් වැඩි මුදලකට ලබාදීමට එකඟ වීම ය.
බලපත්‍ර ඉල්ලුම්කරු අලුත් කොන්ත්‍රාත් කරුවාට කොන්ත්‍රාත්තුව දීමට එකඟ වූ පසුව, ඒ බව ප්‍රාදේශීය කාර්යාලයේ නිළධාරී මාෆියාව විසින් කොළඹ ප්‍රධාන කාර්යාලයේ සිටින නිලධාරී මාෆියාවේ රූපසිංහට දැනුම් දෙයි. ඉන් අනතුරුව රාජරත්න විසින් අදාල බලපත්‍ර නිර්දේශ කොට අධ්යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර වෙත යොමු කොට ඔහුගේ අනුමැතිය ලබා ගනී. එතෙක් ප්‍රමාද වී තිබූ අදාළ බලපත්‍ර නිකුත් කිරීම දින දෙකක් යන්නට පෙර වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තුව විසින් බලපත්‍ර ඉල්ලුම්කරු වෙත නිකුත් වෙයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය කාර්යාලයේ මෙම නිළධාරී මාෆියාව ක්‍රියාත්මක කරන්නේ, සහකාර අධ්යක්ෂ ලෙස කටයුතු කරන W. K. G. පුෂ්ප කුමාර, තාක්ෂන නිළධාරියා ලෙස කටයුතු කරන ප්‍රියන්ත සුජීව සහ වෙරළ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරන කළුආරච්චි යන තිදෙනාම එකට එක්වය. මොවුන් තිදෙනා විසින් හඳුන්වා දෙන නව කොන්ත්‍රාත්කරුවා වන්නේ නාරංගොඩ නමැත්තෙක් ය. නාරංගොඩ යනු වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තුවේ මිනින්දෝරුවරයකු ලෙස දීර්ඝ කාලයක් සේවය කර විශ්‍රාම ගොස් සිටින අයෙකි. මොහුට අයත් ඉදිකිරීම් සමාගම S. A. L. Enterprises වන අතර, ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ තාක්ෂණ නිළධාරියා වන ප්‍රියන්ත සුජීව ද මෙම සමාගමේ කොටස්කරුවෙකු බව ප්‍රසිද්ධ රහසක් ය.
වෙරළ ආරක්ෂන ඉදිකිරීම් සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ මෙම දූෂිත ජාවාරමෙන් උපයාගන්නා මුදල් මෙම නිළධාරී මාෆියාව බෙදා ගන්නා නමුත්, බලපත්‍ර ඉල්ලුම්කරුවෝ මෙන්ම බලපත්‍ර ඉල්ලුම්කරුවන්ගෙන් කොන්ත්‍රාත්තුව ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටි අනෙක් ආයතනය ද දැඩි අපහසුතාවයකට පත් වෙති. මෙම දූෂිත ජාවාරම දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක වන්නකි. මේ සඳහා දැක්විය හැකි උදාහරණ බොහෝ තිබේ. ඒ අතරින් එක් උදාහරණයක් වන්නේ කළුතර ටැංජරින් හෝටලයේ සිදු කළ GEO bag ග්‍රොයින ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ය. එසේම ගාල්ලේ ලයිට් හවුස් හෝටලයේ කොන්ත්‍රාත්තුව ද එවැන්නකි.
මාතර දිස්ත්‍රික්කයේ වෙරළ ආරක්ෂන ඉදිකිරීම් සඳහා බලපත්‍ර ලබාදීමේ තත්ත්වය ද මීට දෙවැනි නොවේ. ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නේ ප්‍රාදේශීය ඉංජිනේරු සුරංග නන්දසේන ( B. G. S. C. නන්දසේන ) සහ ඔහුගේ බිරිඳ වන කළනී ප්‍රේමතුංග යන අය ය. කළණි ප්‍රේමතුංග ගේ තනතුර සංවර්ධන නිලධාරී වන අතර, ඇයට ලබා දී ඇති බලප්‍රදේශය වන්නේ දෙවුන්දර සිට පොල්හේන දක්වා ය. මොවුන් දෙදෙනා මේ දක්වා එකම ප්‍රාදේශීය කාර්යාලයේ වසර දහයකට වඩා වැඩි කාලයක් එකට සේවය කරති.
CLEAN SRILANKA ව්‍යාපෘතියට මුවා වී, මහමෝදර වෙරළ උද්‍යානය ව්‍යාපෘතියේ සිදු කළ දූෂනය පිළිබඳව අප විසින් මීට පෙර කරන ලද හෙළිදරව්වෙන් පසුව, අධ්යක්ෂ ජනරාල් ටර්නි විසින් මාතර සිටි සුරංග නන්දසේනව කොළඹ ප්‍රධාන කාර්යාලයට ගෙන්වාගෙන ඔහුට නිර්මාන හා පර්යේෂන අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ තනතුර ලබා දී ඇත. මෙම තනතුරට අමතරව සුරංග නන්දසේනව ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ වැඩ බලන ඉංජිනේරුවරයා ලෙස ද පත් කොට ඇත. මහමෝදර වෙරළ උද්‍යානය ව්‍යාපෘතියේ සිදු කර ඇති දූෂිත ක්‍රියා පිළිවෙත සැඟවීමට අවශ්‍ය කූඨ ලේඛන සැකසීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින්නේ සුරංග නන්දසේන සහ සකුන්ත පත්මසිරි යන දෙදෙනා යටතේ බවට වූ තොරතුරු ද අප වෙත ලැබෙමින් ඇත.
මාතර දිස්ත්‍රික්කයේ වෙරළ ආරක්ෂන ඉදිකිරීම් කොන්ත්‍රාත් ගැනීම පිටුපස සිටින්නේ සුරංග නන්දසේන බව එම ප්‍රදේශයේ ජනතාව දන්නා ප්‍රසිද්ධ රහසකි. එය සිදු වන්නේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ විධික්රමය ම භාවිතා කරමින් ය.
මෙම බලපත්‍ර නිකුත් කිරීමේ දූෂිත ක්‍රියාවලිය හේතුවෙන් බොහෝ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් සේම හෝටල් ඇතුළු ව්‍යාපාර හිමිකරුවන් විශාල අපහසුතාවයකට පත්වී තිබේ. ඒ නිසාම ඔව්හු වත්මන් ආණ්ඩුව කෙරෙහි ද දැඩි කනස්සල්ල සහ අප්‍රසාදය පළ කරමින් සිටිති. දූෂනය පිටු දකින බවත්, ඒවාට කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් ජනාධිපතිවරයා සහ නව රජයේ මැති ඇමතිවරු පුන පුනා කීවත්, ඇතැම් රාජ්‍ය ආයතන සඳහා මේ රජය විසින් පත් කර ඇති ඇතැම් බලධාරීන් දූෂිත නිළධාරීන් සමඟ එකට එකතු වී පැරණි දූෂිත ක්‍රියාවලිය දිගට ම පවත්වා ගෙන යන බව ඔව්හු කියා සිටිති.
ඕනෑම පුද්ගලයෙකුට කිසිදු බලපෑමකින් තොරව නිදහසේ බලපත්‍රයක් ලබා ගැනීමට ඇති ඉඩකඩ සලසා ගැනීමටත්, අදාල බලපත්‍රය නිකුත් කිරීම ඇදහිය නොහැකි තරම් කාලයක් පමා කිරීම වලක්වා ගැනීමටත් අවශ්‍ය ඉඩකඩ සලසා දෙන ලෙසත්, ඔවුන් ජනාධිපතිවරයා ප්රමුඛ මේ රජයේ ඉල්ලා සිටිති. විශේෂයෙන් ඔවුන්, වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තුව භාර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති මන්ත්‍රීවරුන්ගෙන්ද ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් කඩිනම් මැදිහත්වීමක් සිදු කොට මෙම නිළධාරී මාෆියාවේ ග්රහණයෙන් තමන්ව මුදවා දෙන ලෙස ය.
මෙම දූෂිත ක්‍රියාව සිදු වී ඇති අවස්ථා ප්‍රමාණය අති විශාල ය. ඒ සඳහා වූ සාක්ෂි සාධක අප සතුව මෙන්ම තවත් බොහෝ අය සතුව ද ඇත. දැනටමත් ඇතැමුන් මෙම දූෂිත නිලධාරීන්ගේ වත්කම් පිලිබඳ තොරතුරු අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසමට යොමු කර තිබේ. තවදුරටත් සාක්ෂි සාධක සහිතව එම තොරතුරු යොමු කරමින් පවතින බව ද දැන ගන්නට තිබේ.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව රාජ්‍ය ආයතන වලට පත් කළ ඇතැම් ප්‍රධානීන් ඉතා විශිෂ්ට අන්දමින් රජයේ අපේක්ෂාව සංතෘප්ත කරමින් සිටිති. එසේ කටයුතු කළ නොහැකි ප්‍රධානීන්ව ඉවත් කිරීමට දෙවරක් නොසිතාම කටයුතු කරන විශිෂ්ට ඇමැතිවරු ද සිටිති. ඒ පිළිබඳව පොදු මහජනතාව මෙන්ම අදාල ආයතනයේ අදූෂිත සේවකයන් ද පසුවන්නේ සතුටිනි.
එනමුත් වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තුව ගැන නම් පොදු ජනතාවටත්, එහි සේවය කරන අදූෂිත සේවකයන්ටත් ඇත්තේ අපුලකි. දැඩි කලකිරීමකි. ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරයා, ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි මෙන්ම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ ආදිය ගැන කිසිවක් නොදනී. ඒ නොදැනීම පිළිබඳව දන්නා දූෂිත නිළධාරීන් අධ්යක්ෂ ජනරාල්වරයාගේත් සහයෝගය සහිතව තමන්ට රිසි සේ දූෂනයේ යෙදෙති.
මෙවැනි දූෂිත ආයතන පාලනය කළ හැක්කේ දේශපාලන අධිකාරිය විසින් පත් කරනු ලබන ආයතන ප්‍රධානියා, රජයේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා සෘජු ලෙස ක්‍රියා කළ හොත් පමණි. ඔහු කරන්නේ කුමක්ද යන්න පිළිබඳව නිරන්තර සොයා බැලීම් සිදු කළ යුත්තේ අදාල ආයතනය භාරව සිටින ඇමැතිවරයා සහ නියෝජ්‍ය ඇමැතිවරයා ය. රජයේ ප්‍රතිපත්තියට අනුව දූෂනය පිටු දකින්නට පත් කළ බලධාරියා ක්‍රියා නොකරන්නේ නම්, ඔහු වෙනුවෙන් සෘජු තීරණ ගැනීමට ඇමැතිවරු පසුබට නොවිය යුතුය. ප්‍රවාහන අමාත්‍යාංශය භාර ඇමැති බිමල් රත්නායක සහ නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඊට හොඳම උදාහරණයක් ලෙස දැක්විය හැකි ය.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දූෂිත ක්‍රියා ගැන අපි මීට පෙර අවස්ථා දෙකක දී තොරතුරු හෙළිදරව් කර ඇත්තෙමු. නමුත් ඒවා සම්බන්ධයෙන් සොයා බැලීමට හෝ ඒවා වැළැක්වීමට දේශපාලන අධිකාරිය හෝ ආයතන බලධාරීන් හෝ ක්‍රියාත්මක නොවන්නේ නම්, අප සතු සියලු සාක්ෂි නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අදාළ ආයතන වෙත යොමු කිරීමට ද පසුබට නොවෙමු.
සබැඳි ලිපි
* ජනාධිපතිගේ CLEAN SRILANKA ව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව DIRTY කරළා..! දූෂිත නිලධාරීන්ගේ නම් ගම් මෙන්න..!!
* ජනපති පරීක්ෂනය එන්න පෙර වෙරළ සංරක්ෂණ ලොක්කෝ කූඨ ලේඛන හදන්න පටන් අරන්...! දෙවැනි කොටස මෙන්න..!
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/106
---------------------------
by (2025-09-20 19:26:45)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි