-Captain-10 හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2025.සැප්.13, ප.ව.11.30)
2004 සුනාමියෙන් අවතැන් වූ උතුරු නැගෙනහිර ජනතාවට නිවාස ඉදිකිරීමේ ''ජයලංකා'' නම් රාජ්‍ය ව්‍යාපෘතියේ කොටසක් ලෙස ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශවල නිවාස ඉදිකිරීම සඳහා, උතුරු නැගෙනහිර ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ඒජන්සිය (Reconstruction And Development Agency - RADA) නම් ආයතනයක් පිහිටුවා, කිසිදු නිවසක් ඉදි නොකර රුපියල් මිලියන 124 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යන චෝදනා එල්ලකොට නීතිපතිවරයා විසින් පොදු දේපොළ පනත යටතේ 2016 වසරේ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කොට නඩු පවරා තිබුණේ RADA ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස්, RADA හිටපු ප්‍රධාන මෙහෙයුම් නිළධාරී සාලිය වික්‍රමසූරිය, RADA හි හිටපු ගණකාධිකාරී ජයන්ත ඩයස් සමරසිංහ සහ හිටපු කොටි සාමාජික ඇන්තනි එමිල් කාන්තන්, යන සිව් දෙනාට එරෙහිවය.
2004 දෙසැම්බර් 24 වන දින ශ්‍රී ලංකාවට දරුණු ලෙස බලපෑ සුනාමි ව්‍යසනය නිසා උතුරු නැගෙනහිර ප්‍රදේශ සංවර්ධනය කිරීම පිණිස යැයි කියමින් 2005 නොවැම්බර් 19 දා ශ්‍රී ලංකාවේ 5 වන ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දෙන මහින්ද රාජපක්ෂ ඊට දින දින 09 කට පසු එනම් නොවැම්බර් 28 දා සොරකම් සඳහා වංගු ගැසිය හැකි මෙකී RADA ආයතනය පිහිටුවා එහි සභාපතිවරයා ලෙස රාජපක්ෂ ආණ්ඩුවේ ලඟම හිතවතෙකු වූ එවකට ව්‍යාපාරික ටිරාන් අලස් පත්කරනු ලැබීය. (2005 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජයගත් බවට අවසන් ඡන්ද ප්‍රථිපල නිකුත් වූ සැනින් මහින්ද, ටිරාන්ව බදාගත්තේ "මල්ලි උඹ මාව ගොඩ දැම්මා" කියමිනි.)
RADA ආයතනය පිහිටුවීමේ මූලික අරමුණ සේ දැක්වුයේ සුනාමියෙන් විනාශ වූ උතුරු නැගෙනහිර නිවාස නැවත ගොඩනැගීමය. එහෙත් විමර්ශනයෙන් හෙළිවී තිබෙන්නේ නිවාස 1200 ක් ඉදිකිරීම සඳහා රජය මුදල් වෙන්කර මුදා හැරිය ද එකදු නිවසක් සාදා නැති බවය. ඒ අනුව ඒ මුදල්වලින් කොටසක් කොටි සංවිධානයට ද තවත් කොටසක් ටිරාන් අලස්ගේ සාක්කුවට ද ගොස් ඇති බවට දේශපාලන අංශ වල සැකයක් තිබිණි.
අගමැති මහින්ද රාජපක්ෂ විසින් 2005 ජනාධිපතිවරණයට පෙර LTTE ය හා සම්බන්ධතාවක් ගොඩනගා ගත හැකි කිසිවෙකු බැසිල් රාජපක්ෂ හට මුණගස්වන ලෙස ටිරාන් අලස්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව, ටිරාන් ගේ මිත්‍රයෙකු වූ LTTE සාමාජික එමිල් කාන්තන් හා මහින්දගේ සොහොයුරු බැසිල් රාජපක්ෂ අතර හමුවක් සංවිධානය කරන්නට ටිරාන් අලස් හට හැකිවී තිබේ.
මහින්ද රාජපක්ෂගේ 2005 ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානියා වූ බැසිල් රාජපක්ෂ හා කොටි සාමාජික එමිල් කාන්තන් අතර හමුව ටිරාන් අලස් ගේ වෝඩ් පෙදෙස කාර්යාලයේදී පවත්වා තිබු අතර එහිදී බැසිල් රාජපක්ෂ LTTE සංවිධානයට යෝජනා කර තිබුණේ තම සහෝදරයා වන එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් උතුරු නැගෙනහිර ජනතාව ඡන්ද වර්ජනයකට යොමු කිරීමට ( උතුරු නැගෙනහිර ජනයා ඡන්දය දුනහොත් ඒවා ජනාධිපතිවරණයේ මහින්දගේ ප්‍රතිවාදියා වූ එවක අගමැති රනිල්ට වැටෙනු ඇතැයි අනුමානයක් තිබිණ.) හා රාජපක්ෂ පවුලේ කිසිවෙකුට ප්‍රහාරයක් එල්ල නොකිරීම සඳහා LTTE සංවිධානයට අවශ්‍ය ඕනෑම දෙයක් ලබා දිය හැකි බවයි.
ඒ අනුව LTTE සංවිධානයට මුදල් හා බෝට්ටු අවශ්‍ය බව එමිල් කාන්තන් බැසිල් රාජපක්ෂ හට දන්වා ඇති අතර මුලින්ම අත්තිකාරම් වශයෙන් අති විශාල මුදල් ප්‍රමාණයක් විශාල ප්‍රමාණයේ ගමන් මලු (Travelling Bag) වල බහා තම කාර්යාලයේදී එමිල් කාන්තන්ට ලබා දුන් බව ටිරාන් අලස් විසින් 2010 ජනවාරි 22 ඔහුගේ නිවසට එල්ලවූ අත් බෝම්බ ප්‍රහාරයකින් පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් හෙළිදරව් කරන ලදී.
කෙසේ වෙතත් 2005 දී මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් LTTE යට අති විශාල මුදලක් හා වෙනත් දේ අල්ලස් වශයෙන් ලබා දුන් බව පළමුව හෙළිකළේ එම මැතිවරණයේදී ඡන්ද 1,80,786 කින් මහින්දට පරාජය වූ රනිල් වික්‍රමසිංහ විසිනි. එම චෝදනාව ඊට වසර 02 කට පසුව මහින්දගේ ආණ්ඩුවේ ප්‍රබල සාමාජිකයින් වූ මංගල සමරවීර හා ශ්‍රීපති සුරියආරච්චි ද මහින්දගේ ආණ්ඩුවෙන් විසි වූ පසු ප්‍රසිද්ධියේ හෙළිකරනු ලැබීය..
RADA ආයතනය පිහිටුවීමෙන් මසකට පසු 2005 දෙසැම්බර් 30 වෙනිදා ටිරාන් අලස් සහ සාලිය වික්‍රමසූරිය එල්ටීටීඊ පාර්ශවය වෙනුවෙන් කටයුතු කළ එමිල් කාන්තන් සමග කිලිනොච්චියට ගොස් 'පූවන්නන් ඉනියවන්' නමැති කිලිනොච්චියේ එල්ටීටීඊ ප්‍රාදේශීය නායකයා සමග සාකච්ඡා කර තිබේ.
ඉන්පසු ඉනියවන් සමග ගොස් කිලිනොච්චි, වවුනියා, මුලතිව්, ත්‍රිකුණාමලය සහ මඩකලපුවේ ප්‍රාදේශීය ලේකම්වරු සමග ද සාකච්ඡා කර සුනාමියෙන් විපතට පත් ජනතාවට නිවාස සෑදීම සඳහා නාම ලේඛන ඉල්ලා ඇත.. එම නම් වලට නිවාස සෑදීම සඳහා කොන්ත්‍රාත්කරුවෙක් තෝරා ගැනීම රජයේ ක්‍රියා පටිපාටියෙන් බැහැරව පූවන්නන් ඉනියවන් නමැති එල්ටීටීඊ ප්‍රාදේශීය නායකයා සහ RADA සභාපති ටිරාන් අලස් විසින් සිදු කර තිබේ.
ටිරාන් අලස් හා එමිල් කාන්තන්, 'ආනන්ද ශාන්තිකුමාර්' නමැති අය සමග එක්වී මෙම ව්‍යාපෘතියේ උපදේශන සමාගම ලෙස B & K Holdings නමැති ආයතනයක් පිහිටුවා ගත්හ. එහි අධ්‍යක්ෂවරුන් ලෙස 'ආනන්ද ශාන්තිකුමාර්' හා ඔහුගේ දරුවන් වන 'ගජන් කුමාර්', 'කිෂෝ කුමාර්', සහ 'බාර්කව් ශාන්තිකුමාර්' නමැත්තන් පත් කරන ලදී. මෙම සමාගම 2005 දෙසැම්බර් 27 වෙනිදා සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇත්තේ ටිරාන් අලස් ගේ අනෙකුත් සමාගම් ලියාපදිංචි කරනු ලැබූ ලේකම් වරුන් වන L.M. Management නම් ආයතනය විසිනි.
2005 දෙසැම්බර් 27 දා ලියාපදිංචි කරනු ලැබූ B & K Holdings ආයතනය දෙසැම්බර් 30 වෙනිදාම කිලිනොච්චියේ පැවැති නිවාස සැදීම පිළිබඳ සාකච්ඡාවට සහභාගී කරගෙන තිබේ.
රජයේ ආයතන විසින් කොන්ත්‍රාත් පිරිනමද්දී අනුගමනය කළ යුතු ටෙන්ඩර් ක්‍රියා පටිපාටි කිසිවක් නොතකමින් ව්‍යාපෘතියේ උපදේශන සමාගම ලෙස B & K Holdings ආයතනය පත් කර ගැනීමට RADA ආයතනය කටයුතු කර ඇත. මේ අතර B & K Holdings ආයතනය හැටන් නැෂනල් බැංකුවේ සහ කොමර්ෂල් බැංකුවේ ගිණුම් දෙකක් ද ආරම්භ කර තිබේ.
සුනාමි නිවාස ව්‍යාපෘතියේ උපදේශන සමාගම ලෙස B & K Holdings නම් සමාගම RADA ආයතනය හා කටයුතු කරගෙන යන අතර තුරදීම 2005 දෙසැම්බර් 30 වෙනිදා G S Builders & Consultant නමින් තවත් සමාගමක් නිවාස ඉදි කිරීමේ කොන්ත්‍රාත් පිරි නැමීම සඳහා ආරම්භ කර තිබේ. එම සමාගම ලියාපදිංචි කර නැත. නමුත් එහිද හවුල් කරුවන් ලෙස යොදා ගෙන ඇත්තේ පෙර කී 'ශාන්ති කුමාර්' සහ 'ගජන් කුමාර්' දෙදෙනාම ය.
ඉන් අනතුරුව ඉදිරි සංවර්ධන කටයුතු සඳහා උපදේශන සමාගමක් ලෙස කටයුතු කිරීමට මෙකී G S Builder & Consultant සමාගම තෝරා ගෙන ඔවුන්ගෙන් නිවාස ඉදිකිරීම් කටයුතු සඳහා සමාගම් 3 ක් නම් කරන ලෙස රාඩා ආයතනය විසින් ඉල්ලා තිබේ.
අපූරු නාටකය එන්නේ මෙහිදී ය. ඉහත කී ඉදිකිරීම් කටයුතු සඳහා G S Builders & Consultant සමාගම විසින් සමාගම් 3 ක් නම් කිරීමේ දී ඔවුන් තෝරන්නේ B & K Holdings සමාගම සහ තවත් ලියාපදිංචි නොකළ සමාගම් දෙකකි. පසුව රාඩා ආයතනය විසින් B & K Holdings සමාගම නිවාස ඉදිකිරීම සඳහා තෝරා ගෙන තිබේ.
ටෙන්ඩර් මණ්ඩලයට රජයේ නිලධාරියා වශයෙන් සිටි 'ඩිල්ස් අබේසූරිය' නමැති අය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ මෙම ටෙන්ඩරය ප්‍රදානය කිරීමේ දී නියමිත රජයේ ටෙන්ඩර් පටිපාටින් අනුගමනය කර නොමැති හෙයින් මෙම ටෙන්ඩරය ප්‍රදානය කළ නොහැකි බවත්, අවම මිල ගණන් නිර්දේශ කිරීමට පමණක් හැකි බවත් ය. එම ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති ලෙස RADA ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (COO) සාලිය වික්‍රමසූරිය කටයුතු කර තිබෙන අතර 'කෞෂල්‍ය රාජපක්ෂ' නම් අයෙකු හා රජයේ නිලධාරියා ලෙස ඩිල්ස් අබේසූරිය ද සෙසු අය ලෙස ක්‍රියා කර තිබේ.
පසුව කිසිවක් නොතකා B & K Holdings නමැති සමාගම මෙම ටෙන්ඩරය ප්‍රදානය කිරීමට තෝරා ගෙන ඇති අතර ඔවුන් කිසිදු ඉදිකිරීමක් නොකර රජයෙන් අරමුදල් ලබා ගෙන තිබේ. රාඩා ආයතනයේ මුදල් අධ්‍යක්ෂ වූ 'ජයන්ත ඩයස් සමරසිංහ' යන අය විසින් වවුචර් සඳහා චෙක්පත් ලබා දී තිබෙන අතර ඒ සඳහා කිසිදු රජයේ මූල්‍ය රෙගුලාසියක් අනුගමනය කර නැත.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නිවාස 400 ක් ඉදිකිරීම සඳහා ව්‍යාපෘතියක් 2006 පෙබරවාරි මස සිට අප්‍රේල් මස දක්වා සිදුකර ඇතැයි සඳහන් කර වවුචර් ඉදිරිපත් කර චෙක්පත් 4 කින් මුදල් ලබා ගැනීමට කටයුතු කර තිබේ. නමුත් ඒ එකදු නිවසක් හෝ ඉදි කිරීමට පස් පිඩැල්ලක් හෝ කපා නැත.
මඩකලපුවේ නිවාස හැදීම සඳහා යැයි කියමින් තවත් මෙවැනිම ව්‍යාජ සමාගමක් පිහිටුවා තිබේ. එහි නම Everest Civil Engineering වේ. එය බස්නාහිර පළාත් සභාවේ හවුල් ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර ඇති අතර එම දිනය වන්නේ 2006 පෙබරවාරි 23 දා ය. එහි හවුල්කරුවන් වන්නේ 'කන්දසාමි සෝතිරාජන්' සහ 'කරුපයියා සසිකුමාර' ය. මේ දෙදෙනාම එල්ටීටීඊ සාමාජිකයන් වන අතර ඔවුන් වවුනියාවේ පදිංචිව සිටි එමිල් කාන්තන් ගේ පාසැල් මිතුරෝ වෙති.
මෙකී Everest Civil Engineering සමාගමට ද හැටන් නැෂනල් බැංකුවේ සහ කොමර්ෂල් බැංකුවේ ගිණුම් දෙකක් තිබී ඇත.
ඉහත ආකාරයටම මෙම Everest Civil Engineering සමාගමට ද රජයේ ටෙන්ඩර් පටිපාටි කිසිවක් අනුගමනය නොකරමින් මඩකලපුවේ නිවාස 400 ක් හැදීමට කියා ටෙන්ඩරයක් ප්‍රදානය කර තිබේ. ඔවුන්ද එකදු නිවසක් හෝ නොහදා ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර චෙක් පත් 9 කින් රු.මිලියන 125 ක පමණ මුදලක් ලබාගෙන තිබේ.
මේ සඳහා ප්‍රාදේශීය ලේකම්ලාගේ අත්සන් සහ නිර්දේශ ලබාගෙන ඇත්තේ බලහත්කාරයෙනි. ටිරාන් අලස්ගේ දේශපාලන බලවත් කම් නිසා සහ එල්ටීටීඊ සංවිධානයට ඇති බිය නිසා ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් අදාල අත්සන් සහ නිර්දේශ ලබා දීමට කටයුතු කළේ යැයි එම ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් පොලිසියට ලබා දුන් කට උත්තර වල දැක්වේ.
2006 ජුනි මාසය වෙද්දී කිසිදු ඉදි කිරීමක් සිදුකර නොමැති බවත් රජයේ දේපොල හා රජයේ මුදල් අවභාවිත කර ඇති බවත් කියමින් රාඩා ආයතනයට චෝදනා එල්ල වී ඇති අතර චෝදනා නැගෙද්දී සාලිය වික්‍රමසූරිය රාඩා ආයතනයෙන් ඉවත් වී වරාය අධිකාරියේ සභාපති ධූරය ලබා ගෙන තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ හා එවකට ආර්ථික සංවර්ධන ඇමති ලෙස පත්වූ බැසිල් රාජපක්ෂ විසින් 2006 අගෝස්තු 26 දින විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර රුපියල් මිලියන 757කට අධික මුදලක් RADA ආයතනය වෙත මහා භාණ්ඩාගාරය හරහා ලබා දී තිබේ.
පසුව RADA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළ 'චන්ද්‍ර කාන්ති ප්‍රනාන්දු' විසින් Everest Civil Engineering සමාගම සමග සාකච්ඡා කර 2006 සැප්තැම්බර් 23 දා ඔවුන් සමග එතෙක් තිබූ ගිවිසුම් අවසන් කිරීමට කටයුතු කර තිබේ. එම අවසන් කිරීමේ ගිවිසුමට අත්සන් කර ඇත්තේ 'සාලිය වික්‍රමසූරිය', 'ජයන්ත ඩයස්' සහ 'ගජන් කුමාරන්' නමැති අය පමණක් වන අතර අනෙක් තිදෙනා සඳහා යොදා ඇත්තේ ව්‍යාජ අත්සන් වේ.
මේ බරපතල වංචාව පිලිබඳව ප්‍රථමයෙන් පැමිණිල්ල ගොණු කරන ලද්දේ මහින්ද රාජපක්ෂ පරාජය කර මෛත්‍රීපාල-රනිල්ගේ යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු 2015 පෙබරවාරි 28 වෙනිදා ය. ඒ අනුව මාර්තු 26 වෙනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට B/642/2015 දරණ බී වාර්තාව මගින් කරුණු වාර්තා කරන ලදී.
පොලිසිය වැඩිදුර විමර්ශන වාර්තා අධිකරණයට ඉදිරිපත්කිරීමට පෙර ''හොරාට පෙර කෙසෙල් කැණ වැට පනිනවා'' යන කියමන සත්‍ය බව නැවත පසක් කර, ටිරාන් අලස් අභියාචනාධිකරණය ද 'බයිපාස් 'කර කෙලින්ම රටේ ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාලන නියෝගයක් දෙන්නැයි ඉල්ලා සිටි අතර එම මුලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරනතුරු ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන්නේ ය.
ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි පුදුමාකාර අතුරු තහනම් නියෝගයක් ලබා දුන්නේ ටිරාන් අලස් විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමිනි. පහළ මහෙස්ත්‍රාත් අධිකරණයකින් මේ තරම් විශාල හොරකමක් ගැන මූලික විමර්ශන කෙරෙද්දී එම නඩුවේ ප්‍රධාන චුදිතයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළ හැකිද යන්නත්, එසේ ඉදිරිපත් කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අලස්ව අත්අඩංගුවට නොගන්නා ලෙසත්, නඩුවේ මහෙස්ත්‍රාත් විභාගය අවසන් වනතුරු අධිචෝදනා භාර නොදෙන ලෙසත්, අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ද එකල දැඩි කතාබහට ලක්විය.
මේ ආකාරයට රටේ ඕනෑම හොරෙකුට මිනීමරුවෙකුට තමාට එරෙහිව පහල අධිකරණයේ නඩුවක් විභාග වෙද්දී ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර අත් අඩංගුවට ගැනීමෙන් සහ දඬුවම් ලැබීමෙන් වැළැකී සිටිය හැකි වීමේ අතුරු තහනම් නියෝගයක් ටිරාන් අලස් ලබා ගැනීම එකල දේශපාලන හා නීති අංශවල ප්‍රබල කතාබහකට ලක් විය.
ටිරාන් අලස් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අංක SC/FR/171/2015 දරණ මූලික අයිතිවාසිකම් නඩුව මුල්වරට 2015 මැයි 27 මුල්වරට කැඳවූ අතර ඉන් පසු තීන්දුවක් නොදී 2016 ඔක්තෝම්බර් 10 දක්වා 16 වතාවක් කල් තබන්නට එම නඩුව විනිශ්චය කළ ඊවා වනසුන්දර හා රෝහිණී මාරසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියන් කටයුතු කළ බව එකල "ලංකා ඊ නිව්ස්" වෙබ් අඩවිය කරුණු සහිතව වාර්තා කළේය.
මේ මහා හොරකමේ අනෙකුත් සැකකරුවන් වන 'ශාන්තිකුමාර් ගජන් කුමාර්', 'ආනන්දි ශාන්ති කුමාර්', 'කන්දසාමි සෝදිරාජා', 'රොහාන් සාලිය අබේසිංහ වීර වික්‍රමසූරිය', 'පොන්මුඩී ශ්‍රී හර සුදන්', 'එමිල් කාන්තන්' හා 'ජයන්ත ඩයස් සමරසිංහ' යන අයවලුන් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර පසුව ඇප මත නිදහස් කර තිබියදී ටිරාන් අලස් නමැති ප්‍රධාන සැකකරුවා පමණක් අත් අඩංගුවට ගැනීමෙන් වලකා ගැනීම සඳහා පමණක් නොව අධි චෝදනා බාර දීමෙන් පවා බේරා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියා කර තිබුනි.
මෛත්‍රී-රනිල් යහපාලන ආණ්ඩු සමයේ රාජපක්ෂ පාලන සමය තුළ කළ මුල්‍ය,වංචා දුෂණ සෙවීමට පිහිටවූ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය කළ විමර්ශන වලින් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් මහාධිකරණයේ පැවරු නඩුවෙන් ගැලවීමට ශ්‍රේෂ්ඨාධිකරණය හරහා කෙතරම් උප්පරවැට්ටි දැම්මත්, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් 'නියෝජ්‍ය සොලිසිටර් යසන්ත කෝදාගොඩ' කළ කරුණු දැක්වීම් අනුව අගවිනිසුරු ප්‍රමුඛ විනිසුරු මඩුල්ලේ අවසාන තීරණය වුයේ ටිරාන් අලස් ඇතුළු පිරිසට අධිචෝදනා භාරදීම නිත්‍යාණුකූල බවයි.
ඒ අනුව RADA ආයතනයේ සභාපති ටිරාන් අලස්, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමසූරිය, ගණකාධිකාරී ජයන්ත ඩයස් සමරසිංහ සහ කොටි සාමාජික ඇන්තනි එමිල් කාන්තන්, යන සිව් දෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය ඉදිරියේ 2016 නොවැම්බර් 02 වැනිදා අධි චෝදනා භාරදී එමිල් කාන්තන් හැර සෙසු තිදෙනා රිමාන්ඩ් භාරයට පත් කරන්නට කොළඹ මහාධිකරණ විනිසුරුවරිය වූ කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය නියෝග කළා ය. කොටි සාමාජික එමිල් කාන්තන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ නිසා ජාත්‍යන්තර පොලිසිය හරහා ඔහුට රතු වරෙන්තු නිකුත්කර තිබිණි.
ටිරාන් අලස්ගේ පුද්ගලික නීතිඥ ජනාධිපති නීතීඥ නලින් ලද්දුවහෙට්ටි හා ටිරාන් වෙනුවෙන් නඩුවට පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා ගේ ක්‍රමය හරි වෙනස්ය. නීති තර්ක ගෙනෙන ගමන් ඔවුන් තමන්ගේ සේවාදායකයාගේ නඩුව අසනා අධිකරණයේ තමන්ට අවශ්‍ය විනිසුරුවරුන් තෝරාගැනීම හෙවත් අධිකරණ භාෂාවෙන් කිවහොත් Bench fixing වලටත් ඉතාමත් දක්ෂයින්ය.
මේ අනුව වහාම ඇප ලබා ගැනීම සඳහා ප්‍රතිශෝධන ඇප අයදුම්පතක් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරන්නට ටිරාන්ගේ නීතීඥයින් කටයුතු කළ අතර ඒ සඳහා අභියාචනාධිකරණයේ Bench Fixing වලට නම් දරා සිටි අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු කුප්‍රකට 'නිශ්ශංක බන්දුල කරුණාරත්නගේ' සහය නොමසුරුව ලැබී තිබුණි. ඒ අනුව ඇප අයදුම්පත ලැබුණු වහාම එය පසුදිනම විභාගයට ගත් අභියාචනාධිකරණයේ විනිසුරුවන් දෙපළ වූ H.C.J.මඩවල හා C.T.B.දෙහිදෙනිය දින 06 ක් පමණක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි ටිරාන් අලස් ඇතුළු සෙසු දෙදෙනා 2016 නොවැම්බර් 08 වැනිදා වහාම ඇප මත නිදහස් කරන ලෙස මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මියට නියෝග කළහ
RADA කොල්ලකරුවන් 2016 නොවැම්බර් 08 ඇප ලබා ඊට දින 02කට පසුව නැවත මහාධිකරණය ඉදිරියේ කැඳවූ නඩුවේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර සිටි රජයේ ප්‍රධාන සාක්ෂිකාරිය වූයේ RADA සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය (CEO) ලෙස කටයුතු කළ 'චන්ද්‍ර කාන්ති ප්‍රනාන්දු' නමැත්තියයි.
මෙම නඩුව මහාධිකරණයේදී විටින් විට දීර්ඝ ලෙස කල් දැමෙමින් තිබියදී , යහපාලන ආණ්ඩුව මහා කුමන්ත්‍රණයකින් පරාජය කර 2019 නොවැම්බර් 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමට ටිරාන් අලස් ප්‍රධාන කොටගත් පාස්කු ප්‍රහාරයේ මහමොළ කරුවන්ට හැකිවිය.
ගෝඨාභය ජනාධිපති වීමෙන් පසු සියල්ල කණපිට හරවන්නට ටිරාන් අලස්ට හැකිවිය. පොලිසියේ මුල්‍ය අපරාධ කොට්ඨාශය අහෝසි කර නීතිපති දෙපාර්තමේන්තුව සියතට ගන්නටත්, රාජපක්ෂලා ට හා ඔවුන්ගේ හිතවතුන්ට එරෙහිව පවරා තිබු නඩු සියල්ල යට ගසන්නටත්, නීතිපති දෙපාර්තමේන්තුව හරහා කටයුතු සිදුවිය.
ගෝඨා ගේ ආණ්ඩුව පත්වී මාස 08 කට පසු 2020 ජුලි 10 දින මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි ඉදිරියේ රජයේ සාක්කිකාරිය ලෙස සිය මුල් ස්ථාවරය වෙනස් කරමින් සාක්ෂි දුන් RADA හි හිටපු ප්‍රධාන විධායක නිලධාරීනි 'චන්ද්‍ර කාන්ති ප්‍රනාන්දු' පැවසුවේ විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා එල්ල කිරීමට පාදක වූ චෙක්පත් වල මුල් චෙක්පත් (Originals) කිසිවක් තමා දැක නැති බවත්, දැක ඇත්තේ එම ලේඛනවල ඡායා පිටපත් පමණක් බවත්ය.
පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකාරියක් ඇගේ පෙර ස්ථාවරය වෙනස් කර ඇති නිසා එය පැමිණිල්ලේ නඩුවට බලපා ඇති බවත්, නීතිපති දෙපාර්තමේන්තුවට නඩුව ඉදිරියට ගෙන යා නොහැකි බවත් සඳහන් කළ දිලීප පීරිස් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මුලින් රජයේ සාක්ෂිකාරිය වී පසුව සිය ස්ථාවරය වෙනස් කළ මෙම සක්ෂිකරියට විරුද්ධව ගත හැකි පියවර නීතිපතිවරයා සොයා බලන බව මහාධිකරණයට පැවසීය.
කෙසේ වෙතත් RADA ප්‍රධාන විධායක නිලධාරිනි චන්ද්‍ර කාන්ති ප්‍රනාන්දුගේ සාක්ෂිය මත නඩුව තවදුරටත් ඉදිරියට ගෙන නොයන බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් මහාධිකරණයට දැන්වීමෙන් පසු ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් සියලු දෙනා මහාධිකරණය විසින් නිදහස් කළේය.
එහෙත් රාජ්‍ය මුදල් අවභාවිතය වෙනුවෙන් ටිරාන්ලාට එරෙහිව පැමිණිල්ල ගොනු කළ නීතිපති දෙපාර්තමේන්තුවම පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකාරිය සිය මුල් ස්ථාවරය වෙනස් කරමින් විත්තිකරුවන් හට වාසි සහගත අයුරින් සාක්ෂි දීම පිළිබඳව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. කෙසේ නමුත් විත්තිකරුවන් නිදහස් කිරීමේ අරමුණින් චන්ද්‍ර කාන්ති ප්‍රනාන්දුගේ සාක්කිය විත්තියට වාසි වන ලෙස පැමිණිල්ලේ නීතිඥයා වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මෙහෙයවූ බව මෙම නඩුව පිලිබඳ අවධානයෙන් සිටි ඕනෑම අයෙකුට වැටහෙන බව පෙනෙන්නට තිබුණි.
පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකාරිය අධිකරණයේදී සිය මුල් ස්ථාවරය වෙනස් කරද්දී ඊට විරෝධය පළ කළ හැකි කරුණු ඕනෑ තරම් තිබියදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කිසිදු විරෝධයක් එල්ල නොකිරීම කැපී පෙනුනි. (අද බුද්ධ පූජාව සේ වූව ද ගෝඨාගේ කාලයේ දිලීප පීරිස් හැසිරුනේ එලෙස බව සැලකුව මනා ය)
RADA නඩු විභාගය පැවති ජූලි 10 වෙනිදා කුප්‍රකට 'නාකොටික්' පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ටිරාන් අලස්ගේම පුවත්පත වන ''මව්බිම'' පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදී අඛිල ජයවර්ධන බලහත්කාරයෙන් කොළඹ මහාධිකරණයේ පොලිස් මුරපොළ වෙත ඇදගෙන ගොස් තර්ජනය කර කැමරාවේ Memory card පත ගලවාගැනීමේ නාටකයක් රඟ දැක්වීය.
කලින් සැලසුම් කර උපක්‍රමශීලීව රඟ දැක්වූ මෙම නාටකය ප්‍රධාන හා සමාජ මාධ්‍යවල මුල් පුවතක් වීම නිසා එදින මහාධිකරණයේ විභාග වූ RADA නඩුවේ තීන්දුවට මාධ්‍ය හරහා ලැබුනේ ඉතා අඩු අවධානයකි. නියෝමාල් රංගජීව කුප්‍රකට වැලිකඩ සිරගෙදර සිරකරුවන් මරාදැමීමේ නඩුවේ ප්‍රධාන සැකකරුවෙකි. ඔහු ජූලි 10 දා කොළඹ මහාධිකරණ පරීශ්‍රයට එන්නේ එම නඩු විභාගය සඳහා සහභාගී වීම සඳහාය. රංගජීව යනු ටිරාන් අලස් ගේ මිතුරෙකි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසු පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන හා රාජපක්ෂලාට හා ඔවුන්ගේ හිතවතුන්ට එරෙහිව යහපාලන ආණ්ඩුව විසින් පවරා තිබු සියලු නඩු කටයුතු අත්හිටවූ අතර නීතිපති දෙපාර්තමේන්තුව ද ඊට විරුද්ධව කිසිදු පියවරක් ගත්තේ නැත. එහෙත් යටගසා ඇති ලක් ඉතිහාසයේ සුවිශාලම අල්ලස් හෝ දූෂන පිළිබඳ නඩුව වන RADA නඩුව සියළු සාක්ෂි තිබියදී නැවත විභාගයට ගන්නට අවශ්‍යනම් නීතිපති දෙපාර්තමේන්තුවට හැකිය.
පැමිණිල්ලේ එක් සාක්කියක පරස්පරයක් නිසා RADA නඩුව අහක දැම්මා නම් එසේ අහක දැමූ නඩු නැවත විභාගයට ගත් අවස්ථා ඇති පදම් තිබෙන බව අප නොකීවාට නීතිපති දෙපාර්තමේන්තුව දැනගෙන සිටිය යුතු ය. උදාහරණයක් ලෙස අපි එක් නඩුවක් පමණක් මතක් කර දෙන්නෙමු. ඒ නම් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩුව ය.
මෙම RADA නඩුව යට ගැහුවේ එකල දේශපාලන වුවමනා අනුව ය. ඒ දේශපාලන වුවමනාවන් දැන් ජනතාව විසින් අවසන් කර තිබේ. ඒ අනුව මෙම ලක් ඉතිහාසයේ සුවිශාලම අල්ලස් සහ දූෂන නඩුව යලි විභාගයට ගැනීමේ ජනතා අභිලාෂයන් සන්තෘප්ත කරවන දේශපාලන වුවමනාව වත්මන් මාලිමා ආණ්ඩුවට තිබිය යුතුය. ජනතා අභිලාෂයන් නිසි ලෙස කියවා ගන්නවානම් නීතිපති දෙපාර්තමේන්තුවට ද ඒ අවශ්‍යතාවය තිබිය යුතුම ය.
මාලිමා ආණ්ඩුව ටිරාන් අලස්ට විරුද්ධව කිසිදු පියවරක් ගන්නේ නැතැයි ජනතාව අතර තිබෙන 'මූසල මතය' බිඳ දැමීමට අනුර දිසානායක ජනාධිපතිවරයා ඇතුලු මාලිමා ආණ්ඩුවට සැබෑ අවශ්‍යතාවක් තිබේ නම් මෙම ලක් ඉතිහාසයේ සුවිශාලම අල්ලස් සහ දූෂනයට එරෙහිව ප්‍රායෝගිකව ක්‍රියා කළ යුතුම ය. නීතිපතියෙන් නඩු දැමීමට පැකිලෙන්නේ නම් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාවට ද ඒ හැකියාව තිබෙන බව කාට කාටත් මතක් කර දෙන්නෙමු.
ලංකා ඊ නිව්ස් මෙම රාඩා දූෂනය ගැන අතීතයේ පළ කළ පුවත් කිහිපයක් කියවන්න
* කට්ටි පනිමින් සිටි රාඩා හොරා ටිරාන් අලස් රිමාන්ඩ්..!
* මේ ශත වර්ෂයේ සිදුකළ නීචතම හොරකමේ මහ මොළ කාරයා බේරාගන්න රටේ අධිකරණය මහජනතාවට ‘නීති සර්කස්‘ පෙන්වයි
* විනි-සොරු 2 ක් ඊයේ පෝදා පන්සලක රහසිගතව ටිරාන් අලස් හමුවී 11 දා තීන්දුව පන්සලේදීම දීලා: අල්ලස මිලියන ගණනක්: බ්‍රෝකර් නීතිඥයෙක් සහ චීවරධාරියෙක්
* රාඩා හොරා ටිරාන් අලස් සිංගප්පූරුවෙන් පිටුවහල් කරයි: තහනම් ත්‍රස්ත සංවිධාන සමග කළ හොර ගණු දෙනු, කළු සල්ලි සුදු කිරීම් ගැන පැය 12 ක් ප්‍රශ්න කරලා
---------------------------
by (2025-09-13 18:52:29)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි