-මාණ්ඩලික වාර්තාකරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.සැප්.30, ප.ව.11.00 -දෙවැනි සංස්කරණය ප.ව.11.45) මෘග චෞර රාජපක්ෂලාගේ වනචර පාලනයේ දරුණුතම කාලයක් වූ 2012 වසරේ සිදුකළ අමානුෂික ඝාතනයක් වූ ප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ දී, ඔහුගේ සිරුර හමු වූ අවස්ථාවේ දී ඔහු ගමන් කළ ඔහුගේ රථයට පිටුපසින් ඔහුගේ රථය හඹායමින් පසුපසින් ගමන්ගත් සැකකටයුතු රථයේ, පසුගියදා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ අරුණ ශාන්ත විදානගමගේ හෙවත් 'කජ්ජා' සිට ඇතැයි ඔහුගේ බිරිඳ අනාවරණයක් කළ බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් අද(30) පැවැති මාධ්‍ය හමුවක දී අනාවරණයක් කළේය.
"අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වසීම් තජුඩීන් මහතාගේ වාහනය ගමන් ගත් මාර්ගයේ තිබෙන සීසීටීවී දර්ශන ඉතාමත් පුළුල් ලෙස පරීක්ෂන කළා. එහිදී වසීම් තජුඩීන් මහතා හැව්ලොක් ප්‍රදේශයේ තිබෙන එක්තරා සුපිරි වෙළඳ සංකීරණයක් අසලට ඇවිල්ලා තමන්ගේ මෝටර් රථය නවත්තලා වතුර බෝතලයක් මිල දී ගන්න ගිහින් ඇවිල්ලා නැවත මෝටර් රථයේ නැගලා යනකොට ඔහුගේ කාර් රථය පසුපසින් තවත් රථයක් ගමන් කරනවා. එම රථය අසල තවත් පුද්ගලයෙක් සිටින බවට නිරීක්ෂනය වෙනවා. මේ සම්බන්ධ සීසීටීවී දර්ශන එවකට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මාධ්‍ය වෙත නිකුත් කළා. නමුත් කිසිම පුද්ගලයෙකුට මේ පුද්ගලයා කව්ද කියා හඳුනා ගැනීමට පුළුවන්කමක් තිබුනේ නෑ.
නමුත් පසුගිය කාලයේ ඉන්දුනීසියාවේ සිට සැකකරුවන් කිහිප දෙනෙක් රැගෙන ආවා. මේ අපරාධකරුවන් අතර සිටියා 'බැකෝ සමන්' කියලා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක්. මෙම බැකෝ සමන්ගෙන් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වෙනවා මොහු 'අරුණ ශාන්ත' හෙවත් 'මීගස්ආරේ කජ්ජා' නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ඝාතනයට මේ බැකෝ සමන් කියන පුද්ගලයාගේ ඍජුවම සම්බන්ධයක් තිබෙන බව හෙළිවෙනවා.
මේ මිද්දෙණියේ කජ්ජා කියන පුද්ගලයාගේ බිරිඳත් මේ සම්බන්ධව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ප්‍රකාශයක් ලබා දෙනවා, තමාගේ ස්වාමි පුරුෂයාගේ ඝාතනය සඳහා බැකෝ සමන් නමැති පුද්ගලයාගේ සම්බන්ධයක් තිබෙනවා කියා. කජ්ජා නමැත්තාගේ බිරිඳ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කරනවා මෙම කජ්ජා නමැත්තාට මරණ තර්ජන විශාල වශයෙන් තිබුනා කියලා. ඇය සඳහන් කරනවා 2023 වර්ෂයේ ලංකාවේ ප්‍රසිද්ධ එක්තරා යූටියුබ් නාලිකාවක් සමග කජ්ජා නමැත්තා සම්මුඛ සාකච්ඡාවක් පවත්වනවා. එම සාකච්ඡාවේ දී වසීම් තජුඩීන් නමැත්තාගේ ඝාතනය සඳහා අදාල වූ විශේෂිත වූ සිදුවීම් සම්බන්ධයෙන් ඔහු අනාවරණය කරනවා.
ඒ අනුව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම කජ්ජාගේ බිරිඳ ට 'වසීම් තජුඩීන් ඝාතනය සම්බන්ධව ඔබ දන්නා තොරතුරු මොනවා දැයි' විමසීමේ දී ඇය විසින් පවසා සිටිනවා 'මෙම යූටියුබ් නාලිකාවට මගේ ස්වාමි පුරුෂයා ප්‍රකාශ කරපු තොරතුරු තමයි දන්නේ' කියලා. ඒ අනුව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වසීම් තජුඩීන් මහතාගේ මෝටර් රථය පසුපස හඹා යන මෝටර් රථයට නගින පුද්ගලයාගේ සීසීටීවී දර්ශන ඇයට පෙන්වා ප්‍රශ්න කර සිටිනවා 'මොහු හඳුනාගන්න පුළුවන්ද?' කියා. එවිට ඇය විසින් දර්ශන පරීක්ෂා කරලා වැඩිදුරටත් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත මේවන විට ප්‍රකාශයක් ලබා දීලා තියෙනවා, හඳුනාගෙන තියෙවා, 'මේ ඉන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා' කියලා. ස්වාමි පුරුෂයා කියලා හඳුනාගත්තේ විශේෂයෙන්ම අංග ලක්ෂන වලින්. මොකද සීසීටීවී දර්ශන ඉතා පැහැදිලි ඒවා නොවෙයි. නමුත් ඔහුගේ අංග ලක්ෂන වලින් හඳුනාගෙන තියෙනවා 'මේ මගෙත් සමග අවුරුදු 17 ක් එකට ජීවත් වූ මගේ ස්වාමි පුරුෂයා' බව. එම සීසීටීවී දර්ශන තියෙනවා එම පුද්ගලවා ඉනට අත්දෙක තියාගෙන සිටින අවස්ථාවක්. ඒ අවස්ථාවේ දී ඇය ප්‍රකාශ කරලා තියෙනවා 'මගේ මහත්තයාට කොන්දේ අමාරුවක් තියෙනවා කාලෙක ඉඳන්, බොහෝ දුරට මේ ඉරියව්වෙන් බොහෝ අවස්ථාවලදී ඉන්නවා' කියලා. ඒ අනුව මෙම තජුඩීන් ඝාතනය සම්බන්ධව අරුණ ශාන්ත හෙවත් මිද්දෙණියේ කජ්ජාගේ බිරිඳගේ ප්‍රකාශය හමුවේ තවදුරටත් ඉදිරි විමර්ශන වෙත යෑමට අවස්ථාව උදාවෙලා තියෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රශ්න කරමින් විමර්ශන කටයුතු ආරම්භ කරලා තියෙනවා."
28 හැවිරිදි වියේ සිටි දක්ෂ රගර් ක්‍රීඩකයෙක් වූ මොහොමඩ් වසීම් තාජුඩීන් ගේ සිරුර නාරාහේන්පිට උද්‍යාන මාවතේ දී ගිනි ගන්නා ලද ඔහුගේ රියේ තිබී 2012 මැයි මස 17 දාට එළිවෙද්දී හමුවිය. තජුඩීන්ගේ සිරුර හමුවූ එදිනම මෙහි අද දැක්වෙන සේයාරූ පළ කරමින් ලංකා ඊ නිව්ස් එදිනම වාර්තා කෙළේ මෙය සැක කටයුතු බවයි. ඊට හේතු වූයේ මෙය රිය අනතුරක් නම් ඒ හා සමගම තිබූ පෙට්ටි කඩයට කිසිදු හානියක් සිදුව නොතිබීම නිසා ය. එය සැකකටයුතු මරණයක් බව බැලූ බැල්මට පවා පෙනුන ද ඒ සම්බන්ධයෙන් එවකට පැවැති රාජපක්ෂ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම කරුණු සැඟවූවා, විකෘති කළා පමණක් නොව ඉදිරිපත් වූ සාක්ෂි විනාශ කිරීමට ද ක්‍රියා කෙළේ ය. ප්‍රථමයෙන්ම සිද්ධිය වූ අවස්ථාවේ දී මරණ පරීක්ෂනය විකෘති කිරීමට ක්‍රියා කෙළේ රාජපක්ෂලාගේ බත්බැලයෙක් වූ එවක බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ අනුර සේනානායකගේ මෙහෙයැවීමෙනි. අනුර සේනානායක එවක දී නිල නොලත් පොලිස්පතිවරයා විය. අනුර සේනානායකගේ මෙහෙයැවීමෙන් මරණ පරීක්ෂනයේ මූලික විමර්ශන සිදුකළ නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා ව්‍යාජ වාර්තා ලබා දෙමින් එය 'ඇක්සිඩන්ට්' එකකින් සිදුවූ සාමාන්‍ය මරණයක් ලෙස වාර්තා කෙළේ ය. මරණ පරීක්ෂනය සිදුකළ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය ආනන්ද සමරසේකර ද ව්‍යාජ වෛද්‍ය වාර්තා ලබා දුන්නේ ය.
2015 දී යහපාලන ආණ්ඩුව බලයට පැමිණ වසීම් තජුඩීන් ගේ සැකකටයුතු මරණය ගැන යළිත් පුළුල් ලෙස විමර්ශන සිදුකරද්දී ඔහුගේ වළ දමන ලද සිරුර ද යලි ගොඩ ගෙන පරීක්ෂන කළ විට හෙළි කෙරුනේ එය ඇක්සිඩන්ට් එකකින් සිදු වූ මරණයක් නොව මරණයට පෙර දරුණු ලෙස වධ දී ඝාතනය කර පසුව සිරුර වාහනයට දමා ගිනි තබා සිදුකරන ලද්දක් බවයි. තජුඩීන්ගේ සිරුර තිබුනේ රථයේ රියැදුරු අසුනේ නොව ඊට යාබද අසුනේ ය. ඒ අනුව සාක්ෂි වසන් කළ, විකෘති කළ අනුර සේනානායක ද, සුමිත් පෙරේරා ද, ආනන්ද සමරසේකර ද අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි අතර පසුව ඇප මත නිදහස ලබා සිටිය දී අනුර සේනානායක සහ ආනන්ද සමරසේකර මිය ගියෝ ය.
ඒ කාලකන්නි දෙදෙනා මිය ගියේ අකාලයේ ය. අනුර සේනානායකට පිළිකාවක් වැළඳින. තජුඩීන්ගේ මරණය සම්බන්ධ තොරතුරු සටහන් සියළු ලිපි ගොණු අනුර සේනානායක ඒ කාලයේ දීම රැගෙන ගොස් විනාශ කර දමා තිබිණ. තජුඩීන් මරා දමා නාරාහේන්පිට උද්‍යාන පාරේ පුළුස්සා තිබිය දී ඔහුගේ පර්ස් එක කොළඹ බගතලේ පාරේ තිබී හමුවිය. එවිට බගතලේ පාරේ සිට නාරාහේන්පිට උද්‍යාන පාර දක්වා තිබූ සිසීටීවී කැමරා පටිගතවීම් සියල්ල පරීක්ෂා කරන්නැයි අධිකරණ නියෝගයක්ද තිබුණු නමුත් ඒ සියළු තොරතුරු අඩංගු ලිපි ගොනු අනුර සේනානායක විසින් තම භාරයට රැගෙන විනාශ කරන ලදී. ඇප මත සිටි අනුර සේනානායක කාලකන්නියා මුඛයේ පිළිකාවකින් වධ විඳ මිය ගියේ ය.
ආනන්ද සමරසේකර කෙතරම් නීච කාලකන්නියෙක් දැ යි කිවහොත් ඝාතනයේ වෛද්‍යමය සාක්ෂි වලට අදාල වන, තජුඩීන්ගේ මෘත දේහයෙන් ලබා ගත්, වධ දීමෙන් කැඩී ගිය පපු අස්ථිය හා කලවා අස්ථි කොටස් ඔහු විසින් අතුරුදහන් කර තිබිණ. ආනන්ද සමරසේකරගේ දරුවන් දැනට ජීවතුන් අතර සිටීනම් ඔවුන්ට ද ශාප විය යුතුම ය. මන්ද යත් අනුර සේනානායක නම් පොලිස් කාරයෙකි; ආනන්ද සමරසේකර හිපොක්‍රටීස් දිව්රුම ද දුන් වෛද්‍යවරයෙකු (විශේෂඥ වෛද්‍යවරයෙකු) ලෙස ඔහු කරන ලද නීච නිහීන පාහර වැඩේ නිසා ය.
කෙසේ වෙතත් අද මේ කතා බහට ලක් වූ සීසීටීවී දර්ශන සම්බන්ධයෙන් 2016 දී විමර්ශනය කරද්දී එය විදේශීය ආයතනයකට යවා විද්වත් විශ්ලේෂනයක් මගින් තහවුරු කර ගැනීමට ද අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තු කටයුතු කර තිබිණ.
ඒ අනුව පොලිසිය විසින් අදාල සීසීටීවී දර්ශන සම්බන්ධයෙන් අද සිදුකරන ලද අනාවරණය සමග ඉදිරියට සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් බලාපොරොත්තු සහගතව බලා සිටිය හැකිය.
'මීගස්ආරේ කජ්ජා' ගේ මරණයට පෙර ඔහු යූටියුබ් සාකච්ඡාවේ දී කියන්නේ තමන් මරා දැමුවහොත් ඊට හේතුව රාජපක්ෂලාගේ කෙරුවාවල් ගැන ඔහු සාක්කියක් නිසා එය සිදුවන බවයි. රාජපක්ෂලාගේ නම ගෑවුනු තජුඩීන් ඝාතනය සහ චන්ඩි මල්ලී ඝාතනය ගැන තමන් සතුව සාක්කි තිබෙන බවද තමන් මරා දැමුවද සාක්කි විනාශ නොවන බවද ඔහු එකී සම්මුඛ සාකච්ඡාවේ දී සඳහන් කෙරිණ. දැන් 'කජ්ජා' හෙළි වී ඇත. 'කජ්ජා' ඝාතනය කළ 'බැකෝ සමන්' ද හෙළි වී ඇත. බැකෝ සමන්ගේ උපදෙස් අනුව කජ්ජා ඝාතනයට අවි සැපයූවේ තමන් බව අත් අඩංගුවේ සිටින පොහොට්ටුවේ 'සම්පත් මනම්පේරි' පාපෝච්ඡාරණය කර ඇත. ඔහු යුද හමුදාවේ ද සිටි අයෙක් බැවින් අවි ප්‍රවාහනය කිරීමට සම්බන්ධ වී ඇති බවද ඔහු කියා ඇත. සම්පත් මනම්පේරි මහින්ද රාජපක්ෂගේ අංග ආරක්ෂක කණ්ඩායමේ ද සිටි අයෙක් වන අතර රවිරාජ් ඝාතනයට ද නම සඳහන් වූ අයෙකි. දැන් සාක්කි නැති කරන්නට, 'කජ්ජා' මරන්නට 'බැකෝ සමන්ට' 'සම්පත් මනම්පේරි' ට උපදෙස් දුන් එකා සොයා ගත යුතුය. එවිට ගොඩක් 'සාටක' පැටලෙනු ඇත. ගොඩක් අවුල් ලිහෙනු ඇත.
තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් පළ කළ අතීත පුවත් වාර්තා කිහිපයක් වැඩිදුර කියවන්න;
* රගර් ක්‍රීඩකයාගේ මරණය ගැන සීසීඩීය සිදුකළ පරීක්ෂනයේ තොරතුරු ලිපි ගොනු සියල්ල අනුර සේනානායක විනාශ කරලා: මිනීමරු ජ්‍යෙ.නි. පොලිස්පතියා අත් අඩංගුවට ගනු
* තජුදීන් ගැන හිටපු එස්ටීඑෆ් ප්‍රධානී නිමල් ලෙව්කේ කියන සංවේදී කතාවක්..!
* තජුඩීන් ඝාතනය: මහින්දගේ රියැදුරා, කෑම ටේස්ටර් ‘තිස්ස‘ ගැන සීඅයිඩිය සොයයි: ජානක-සිසිත සරසවි සිසු ඝාතනය, මාලකට, විනිසුරු මංජුල තිලකරත්නට පහර දීම කෙළේද ‘තිස්ස‘ බව ලංකා ඊ නිව්ස් කීවේ 2012 දී: රාජපක්ෂ වෙනුවෙන් ඝාතන 10 ක් කරලා
* තජුඩීන්ගේ ඇට සඟවා ඝාතනය ගැන බොරු මරණ සහතික දුන් ‘විශේෂඥ‘ වෛද්‍ය ආනන්ද සමරසේකර සුළු දඬුවමකින් ලිස්සා යවා කාලෝ ගෙදර යයි
* තාජුදීන් ශෝකාන්තය හෙවත් රාජපක්ෂ වික්‍රමාන්තය..!
---------------------------
by (2025-10-01 00:11:22)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි